Saturday, December 4, 2010

තෙරුවන් නමදිමු.... උවදුරු දුරලමු.....

හිතවත, ජීවිතය යනු පුදුමාකාර දෙයක් බව ඔබට අමුතුවෙන් වටහා දීම අවශ්‍ය නැත.ජීවිතය ජීවත් කරවීමට ඔබ මා උදේ හවා සිදුකරන වෙහෙස මහන්සිය දන්නේ දෙවියන් පමණි. ඒ දුක්බර ජීවිතයේ අප මොහොතක් සතුටු වන විට සිය වාරයක් දුක්වෙමු. අප බලාපොරොත්තු වන යහපත් හෝ අයහපත් දේවලින් අපට ලැබෙන්නේ කීයෙන් කීයද? යහපත් දේ ලැබීනම් එහි අන්තයට යාමටද අයහපත් දේ ලැබීනම් එයට දඩුවම් වදීමටද සිදුවේ.
මේ දුබර ජීවිතයේ අයහපත් දෑ කෙසේ උවද යහපත් චේතනාවන් මුදුන් පමුණුවාගැනීමට ඔබට සහනදායී පිලිතුරක් ලබාදීමට මට හැකිවෙතැයි සිතමි. විශේෂයෙන්ම මේ ‍වෙබ් පිටුව ආරම්භවූයේද ඒ නිසාමය.
ඔබගේ ජීවිතයේ සියලු කරදර හිරිහැරයන් කම්කටොලු වෙනුවෙන් බුදු දහමින් ලැබිය හැකි විසදුම් අනන්තය. එහෙත් අවාසනාවකට මෙන් එම විසදුම් වෙනුවෙන් ගැටලු ඉදිරිපත් කිරීමට බොහෝ විට ස්ථානයක් නොමැතිය. අද බොහෝ පන්සල් වාණිජකරණය වී ඇත. ගරු ස්වාමීන් වහන්සේලා ටික නමක්ද චීවරධාරීන් විශාල ගණනක්ද ශාසනය තුල ජීවත්වීම නිසා අපට සත්‍ය සොයාගැනීමටත් ලබා ගැනීමටත් අවකාශ නැත.

එහෙත්.... අප තවම අවාසනාවන්ත නොමැත. මා ඒ ශුද්ධ භූමියේ පහස ලැබුවෙමි. දෙවියනි, සත්‍යවශයෙන්ම මා ඒ ශුද්ධ භූමියේ පහස ලැබුවෙමි. සැබෑ ලෙසින්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තෙරැවන් වැඩසිටින ඒ උත්තරීතර භූමියට මාහට යාමට අවස්ථාව සැලසුනි. මතුගම මහින්ද විජේතිලක මහතා සිලුමිණ පුවත් පතට රචනා කරන "පියවි ඇසින් ඔබ්බට " (http://www.silumina.lk/2010/11/07/_art.asp?fn=aw1011071 )විශේෂාංගය දැකීමෙන් මටද එම ස්ථානය දැක බලාගැනීමට සිත්විය. සැබැවින්ම ආශ්චර්ය මත්ය. අද්භූතය, මාතලේ ඤාණානන්ද හිමියෝ ගරු ස්වාමීන්වහන්සේ සදුදා හා අගහරැවාද දෙදින හැර සෑම දිනකම පවත්වනු ලබන බෝධිපූජා පිංකමට සහභාගි වීමට ගාල්ල මාතර, මහියන්ගණය වැනි පෙදෙස්වලින් පවා සහභාගි වී සිටියහ. බුදුදහම විකුණා මුදල් රැස්කරන මෙවන් කලියුගයක අතිපූජනීය ස්වාමීන්වහන්සේ ජාති, ආගම්, කුල, දුප්පත් පොහොසත් භේද නොසලකමින් සියලු දෙනාගේ ගැටලු වෙනුවෙන් බුදු දහමින් විසදුම් ඉිදිරිපත් කිරීම පමණක් නොව ඒවා ඉටු වූ උවසුඋවැසියන්ට ජීවිතය ඉිදිරියටත් සාර්ධක කරගන්නා අයුරැ පෙන්වා දෙති.
බෝධිපූජා පවත්වමින් යැදීම පුරුදුකල වාණිජ වාදී සමාජයක බෝධිපූජාවෙන් නියම ඵල ලබාගන්නා ආකාරය මනාව පෙන්වා දෙති. මේ උත්තම පින්බිම පිහිටියේ පොල්ගහවෙල වදාකඩ නාගනේ නම් ස්ථානයේය. සියලු දුක් කරදර කම්කටොලු මගහරවා ජීවිතය සාර්ථක කරගැනීමට අති ජූජනීය ස්වාමීන් වහන්සේ මග පෙන්වා වදාරන අතර අමනුෂ්‍ය උවදුරු මෙන්ම බෙහෙත් මගින් සුවනොවන සමහර රෝග සිය චිත්ත බලය වර්ධනය කරගනිමින් යටපත් කරගැනීමටද උන්වහන්සේ මග පෙන්වති. එහෙත් මෙය බුදුදහමින් හො පිරිතෙන් ලෙඩ රෝග සුවකරන ස්ථානයක් නොවනබව කරුණාවෙන් සිහිපත් කරමි. ස්ථානයේ වැදගත්බව තවදුරටත් පැහැදිලි කිරීමට මතුගම මහින්ද විජේතිලක මහතා සිලුමිණ පුවත් පතට රචනා කරන "පියවි ඇසින් ඔබ්බට " ලිපි කිහිපයක් මේ සමග ඵලකරමි.

සියලු සත්වයෝ නිදුක් වෙකත්වා.... නිරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා...

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

මේ ලෝකයේ මිනිසාගේ පියවි ඇසට පමණක් නොව පංචේන්ද්‍රියනට ම ගෝචර නොවන්නා වූ ක්‍රියාකාරී කම් පවතී. මේවා අතින්ද්‍රිය(ර්‍ථඒඅඒව්ර්‍ණඅර්ඒඹ්) යනුවෙන් හැඳින්වේ. සාමාන්‍ය ඉන්ද්‍රියයන්ගෙන් පිටස්තර වූ, විද්‍යාත්මක නීතීන්ට පරිබාහිර වූ සාමාන්‍ය වාස්තවික පරීක්ෂණ සීමාවන් ඉක්මවූ නිශ්චිත හා සංයුතීන් ඉක්ම වූ ආදී අරුතින් ‘අතින්ද්‍රීය’ වචනය විග්‍රහ කොට ඇත.

මේ වචනය නිර්මාණය වූයේ 1915 - 1920 අතර කාල සීමාවේ දී ය. සාමාන්‍ය අත්දැකීම් පරාසයට හා විද්‍යාත්මක තේරුම් කිරීම්වලට පරිබාහිර වූ අසාමාන්‍ය අත්දැකීම්, සම්ප්‍රදායික විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි සිද්ධීන් හා හැකියා පිළිබඳව මේ අතීන්ද්‍රිය විෂය අධ්‍යයනය කරන විද්‍යාව PARAPSYCHOLOGY යන නමින් හැඳින්වේ.

තමන් උගත් විද්‍යාවන්ට හෝ තමන් ගේ මනසට තේරුම් ගත නොහැකි සිද්ධීන් ‘ඕවා මනෝවිකාරය, බොරුය, මිත්‍යාවන්’ යැයි මඟ හැරීමට, නොතකා හැරීමට හෝ අතහැර උඩින් පැන යෑමට නොහැකි ය. ලෝකයේ බුද්ධිමත්හු මේවා පිළිබඳ විමර්ශනාත්මකව ගවේෂණය කරති. පොත් පත් ලියති.

මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනුයේ ඇස්වහ කටවහ පිළිබඳ සිද්ධියකි. මෙවැනි අසාමාන්‍ය සිද්ධීන් පිළිබඳව අප ද ගවේෂණයේ යෙදෙන අතර අඩු තරමින් මෙවැනි අතීන්ද්‍රීය සිද්ධීන් මිනිසා ගේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? එසේ ම මිනිසාට අහිතකර වූ අතීන්ද්‍රිය ශක්තීන්ගෙන් ආරක්ෂාවන්නේ කෙසේ දැයි කරුණු සාකච්ඡා කරමින් සිටිමු. මෙවැනි අත්දැකීම් පාඨක ඔබ ළඟ ද තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව කරුණාකර “මහින්ද විජේතිලක, 248 සිරි සාරානන්ද මාවත, බෝපිටිය, මතුගම’ ලිපිනයට, ඔබේ දුරකථන අංකය ද සහිතව සවිස්තරාත්මකව ලියා එවන්නේ නම් කෘතඥ වෙමි.

මේ කුරුණෑගල නාගනේ ශ්‍රී සීවලී විහාරාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියෝ අප සමඟ පැවසූ එවැනි සිද්ධියකි.

මෙය මාතලේ නාවුල ප්‍රදේශයේ සිදුවූ දෙයක්. මේ පවුලේ ඒ වන විට සිටියේ අම්මයි පුතයි දුවයි. පුතා විවාහ වී බිරියත් සම¼ඟ මහන මැෂින් ;දකක් තියාගෙන ඇඳුම් මැසීමේ යෙදුණා. මේ පුතයි ලේලියි හරිම උත්සාහ වන්තයි. ඒ වගේ ම දැහැමියි. අනුන්ගේ දේවල් හොයන්න කාලය නාස්ති කළේ නෑ. තමන්ගේ පාඩුවේ මැහුම් කර්මාන්තය කර ගෙන ගියා.

දුවත් විවාහ වී මේ මැහුම් සාප්පුවට අල්ලපු ගෙදර අම්මත් එක්ක ජීවත් වුණා. අම්මා නිතරම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්, ජීවත් වූ කෙනෙක්.

පුතයි ලේලියි දෙන්නගේ උත්සාහය, නිසා ඔවුන්ට පාසල්වල නිල ඇඳුම් මැහීමේ කොන්ත්‍රාත්තු පවා ලැබුණා. දැන් මේ අය මහන මැෂින් අටක් යොදා ගෙන අමතර සේවකයනුත් යොදාගෙන මැහුම් ව්‍යාපාරය පවත්වාගෙන ගියා. මේ අඹු සැමි දෙන්නා සේවකයින් සවස වැඩ ඇරී ගිය පසුවත් රාත්‍රි 12 - 1 වනතුරු වැඩ කළා. ඔවුන් කරන කියන හැම දෙයක් ම අම්මාට කියන්න ඕනෑ. නැත්නම් අම්මට කේන්තියි. අම්මගෙන් මේ අයට ලැබෙන සහයෝගයකුත් නෑ. ඒ වුණාට හැම දෙයක් ම ඇඟිලි ගගහා හාර අවුස්සමින් හොයනවා. මේ වැඩේ පුතාටත් ලේලිටත් හිරිහැරයක් කරච්චලයක්.

මේ අය දවසක් රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා රෙදි තොගයක් ලොරියකින් ගෙනැවිත් ටේලර් සාප්පුවට බෑවා. එදා ම රාත්‍රියේ ටේලර් සාප්පුව ගිනිගත්තා. මැෂින් අටත් සමඟ ම සම්පූර්ණයෙන් ගිනි ගත්තා. ගින්න නිවා ගන්න බැරි වුණා.

මේ ගිනි ගැනීම මහා ප්‍රහේලිකාවක් වුණා. පොලිසියට හේතුවක් හොයාගන්න තියා අනුමාන කරන්නවත් දෙයක් තිබුණේ නෑ. එදා හැන්දෑවෙ රෙදි තොගය ගෙනැත් බාපු නිසා වැඩ අධිකවීමෙන් සාප්පුවේ බුදු පහන දල්වා තිබුණේත් නෑ. විදුලි කාන්දුවකට හේතු තිබුණෙත් නෑ. ගින්න හට ගත්තේ කොහොමද කියලා හොයාගන්න විදිහක් නෑ.

මේ පුතයි ලේලියි දෙන්නා අපේ සේරුදණ්ඩාපොළ අක්කාත් එක්ක මා සොයා ගෙන ආවා. මේ වෙනකොට මම මේ සිද්ධීන් ගැන කිසි දෙයක් දැන හිටියේ නෑ. මේ අය ආවේ නිමිත්තක් බලන්න.

මම පළමුවෙන් ම මගේ නිමිති ශාස්ත්‍රයෙන් ඇහුවා “මේ අය අහන්නේ ගිනි ගැනීමක් පිළිබඳ නේදැ” යි කියා.

“එහෙමයි හාමුදුරුවනේ! අපේ ටේලර් සාප්පුවම ඉවරයි. මැෂින් අටයි. ඊයේ රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා ගෙනාපු රෙදි තොගයයි ඔක්කොම ගිනි ගත්තා හාමුදුරුවනේ. අපට උවමනා මේ ගින්න ඇති වුණේ කොහොමද? කියලා දැන ගන්නයි” කියා මේ දෙන්නා අඬ අඬා කීවා.

මම නැවතත් මේ ගින්නට හේතුව හෙව්වා. “මේ ගින්නට හේතුවක් පෙනෙන්නේ නෑ. හැබැයි දුෂ්ට හිතක චේතනාවක් පේනවා”යි මම කීවා. “එහෙම යම් කිසි දෙයක් සිද්ධ වුණා දැ” යි මතක් කර බලන්නැ” යි මම කීවා.

ඒ වේලාවේ කල්පනා කරමින් සිටි ලේලිය මෙහෙම කීවා. “ඔව්, හාමුදුරුවනේ! එදා රෙදි තොගය ලොරියෙන් බාලා ගොඩ ගහලා තියෙද්දී අම්මා ආවා එතැනට, “තොපිට හරි ගියා. තොපිට හරි ගියා. තුඞ නොදකින්” කියලා යන්න ගියා” යැයි කීවා.

මේ දෙන්නා නැවතත් රුපියල් ලක්ෂ එක හමාරක් ණය වෙලා මැෂින් ගෙනැවිත් නැවතත් ටේලර් සාප්පුව පටන් ගත්තා. දැන් මේ දෙන්නාට ළමයෙකුත් ලැබිලා.

ආයෙත් දවසක් මම රෝගීන් බලන වෙලාවේ පුංචි දරුවෙක් අඬනවා ඇහෙනවා. තොරතෝංචියක් නැතුව අඬනවා. රෝගීන් පෝලිමේ ඉන්දැද්දී මම කීවා අන්න අර අඬන දරුවාව එක්කර ගෙන එන්න කියලා.

ඇයි මේ දරුවා අඬන්නේ?” යි මම ඇහුවා.

“අනේ හාමුදුරුවනේ! අද උදේ ඉඳලා දරුවා කිරි බොන්නේ නෑ” යි ලේලිය කීවා.

“ඇයි කිරි නොබොන්නේ?” මම ඇහුවා.

“මට අද කිරි එරෙන්නේ නෑ” යි ඇය කීවා.

මට කාරණේ මතක් වුණා. “ඇයි? අත්තම්මා බලා ඉන්දැද්දි දරුවට කිරි දුන්නාද?” යි මම ඇහුවා.

“ඔව්! හාමුදුරුවනේ! මම දරුවාට කිරි දෙන කොට අම්මා එතැනට ආවා. බලා හිටියා විතරයි.”

ම වතුර ටිකක් උණු කරවා කහ මිශ්‍ර කොට බුද්ධ මන්ත්‍රයකින් පිරිත් කොට ඇයට දුන්නා. එයින් පපුව හෝදා ගෙන දරුවාට කිරි දෙන්න කියා. ඒ සැරේ දරුවා පැය බාගයක් විතර එක දිගට කිරි බිව්වා. මම උපදෙස් දුන්නා. එළියේ ඉඳගෙන අනිත් අයට පෙනෙන්න දරුවාට කිරි දෙන්න එපා ය කියා.

සතියක් ගියේ නෑ. ආයෙත් දවසක් අඬාගෙන ආවා. “අනේ! අපේ හාමුදුරුවනේ! දරුවා අදත් බඩගින්නේ අඬනවා. අද මම කාමරේට වෙලා දරුවාට කිරි පෙව්වා. අම්මා ඇවිත් දොර රෙද්ද මෑත් කර බලලා ගියා විතරයි. කිරි නැති වුණා” යි කීවා.

මම ඇයට කරුණු පැහැදිලි කළා. දුෂ්ට වෛර සිතුවිලි තියෙන අයගේ සංසාරේ පළි ගැනීම්, කළ අයගේ සිතුවිලි පවා දරුණුයි. දැන් නම් කරන්න දෙයක් නෑ. මේ අවනඩුව විශ්වයට කියන්න.

විෂ්ණු දෙවියෝ ය කියන්නේ මේ ලෝකය පවත්වාගෙන යන ආරක්ෂා කරන විශ්ව ශක්තියයි. කාටවත් වෛර සිතින් නොවෙයි. ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. මේ නංගීටත් දරුවාටත් දෙන්නාටම ඒ සාධාරණ අයිතිය තියෙනවා. දැන් අර විහාරයට ගිහින් තෙරුවන් වඳින්න. විෂ්ණු දෙවියන්ට මේ අවනඩුව කියන්න. හදවතින් ම කියන්න. අතීතයේ තමන් කල හොඳ වැඩ, පින්කම් මතක් කරමින් පින් දෙමින් කියන්න. කියා එදත් කහ දියර ටිකක් පිරිත් කර පපුවේ ගාන්න දුන්නා.

ඇයත් කහ දියෙන් පපුව සෝදාගෙන විහාරයට ගිහින් දරුවාට කිරි දෙන ගමන් ම මේ අවනඩුව විෂ්ණු දෙවියන්ට පවසන්න කිව්වා. ගෙදර යන කොට නැන්දම්මා දූගෙ ගෙදර හිරමණය උඩ වාඩි වෙලා පොල් ගාමින් ඉන්දැද්දී හිරමණෙන් වැටිලා අංශ බාධය හැදිලා. අහිංසක පැටවුන්ට දෙවියොත් ආදරෙයි. ඒ වගේ අහිංසකයන්ට පීඩා කරන කොට සොබාදහම දඬුවම් කරනවා යැයි ද පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

මේවා අපට නොපෙනෙන එහෙත් අප අතරම ක්‍රියාත්මක වන ශක්තීන්. මේ වගේ දේවල් තියෙනවා. මේ සිද්ධියත් ඒ වගේ ම දෙයක් යැයි උන් වහන්සේ තවත් කතාවක් පැවසූහ.

මේ මඩඋල්පත ප්‍රදේශයේ කෙනෙකු සම්බන්ධ සිද්ධියක්. ඔහු රැකියාව වශයෙන් කළේ සිඟා කෑම. බස් නැවතුම් පොළේ “අනේ නෝනා! අනේ මහත්තයා! මේ අන්ධයාට පිනට යමක් දෙන්න. කුසගිනි නිවාගන්න පිනට යමක් දෙන්නැ”යි ඔහු අන්ධයෙක් විදිහට හිඟා කෑවා. ඔහු ඇත්තටම අන්ධයෙක් නොවෙයි. දෑස් පියාගෙන අන්ධයෙක් විදිහට හිඟා කෑවා. බස් රථයක් ආපු හැටියේ බස් එකට ගොඩ වෙනවා. මේ විදිහට අවුරුදු ගණනාවක් හිඟා කෑවා. පාන්දර ගෙදරින් එනවා. හැන්දෑවට අන්තිම බස් එකේ ගෙදර යනවා. ගෙදර අඹුදරුවන් පෝෂණය වුණේ මේ ආදායමෙන්. ඔහුගේ බිරිය මේ ස්වාමියා දෙන මුදල් අර පරෙස්සමෙන් පරිහරණය කළා. දරුවන්ට ඉගැන්නුවා.

මෙහෙම අවුරුදු විසි දෙකක් ම මේ මනුස්සයා අන්ධයෙක් විදිහට හි¼ඟා කෑවා. ගමෙන් තරමක් ඈත බස් නැවතුම් පොළේ හිඟා කෑවා. දැන් ලොකු පුතාට වයස අවුරුදු විසි දෙකයි. හොඳ රස්සාවකුත් කරනවා.

තාත්තේ! දැන් තාත්තා දුක් විඳින්න ඕනෑ නෑ. මට පුළුවන් පවුලෙ අයට කන්න අඳින්න දෙන්න. දැන් තාත්තා ගෙදර නවතින්න. තවත් දුක් විඳින්න උවමනා නෑ” යි ලොකු පුතා කීවා. අම්මාත් කීවා.

ඒත් තණ්හාවක තරම. ලැබෙන ආදායම නතර කරන්න ලෝබයි. මේ මනුස්සයා දිගටම හිඟා කෑවා. තවත් අවුරුදු දෙකක් ගත වුණා. ඊළඟ පුතාත් මේ විදිහට ම රස්සාවකට ගිහින් තාත්තාට හිඟා කෑම නතර කරන්න කියා කීවා.

ඒත් මේ මනුස්සයා ඒ කීම ඇහැව්වේ නෑ. මේක තමයි අසීමිත තණ්හාව. හිඟා කෑම රස්සාවක් වශයෙන් කරගෙන ගියා.

ඇත්තට ම මොකද වුණේ. මේ මනුස්සයා ඉබේම ඇත්තට ම අන්ධයෙක් වුණා. දැන් ඇත්තටම අන්ධයෙක්. තවමත් හි¼ඟා කනවා.

සොබා දහම විශ්ව ශක්තිය ඉතාම සාධාරණයි. සුළු සුළු කපටිකම්වලින් ජීවත් වෙන්න උත්සාහ කරන කොට විශ්ව ශක්තිය හිනාවෙවී බලා ඉන්නවා. සීමාව ඉක්මවා යන විට දඬුවම් කරනවා.

අපේ පියවි ඇසට නොපෙනෙන එහෙත් අප අසල ම ක්‍රියාත්මක වන බොහෝ දේවල් තියෙනවා. ඒවා පිළිබඳ උගතුන් ගේ බුද්ධිමතුන් ගේ අවධානය යොමු වීම අඩුයි.

ඒ වගේ අප දන්නා ගුරුවරියන් හිටියා. පවුලේ අය ගෙනා යෝජනාවක් අනුව විවාහ වුණා. මේ ස්වාමි පුරුෂයා බොරු කාරයෙක්. තමන්ගේ නිවස අවට තිබුණු ඉඩකඩම් මේවා මගේයි පෙන්වා බොරු කියා තමයි විවාහ වුණේ. ගුරුවරියගේ ගෙදර අයත් රැවටුණා බෑණාට හොඳට ඉඩකඩම් දේපල තියෙනවා ය කියා ඉඩකඩම් දේපල තියෙන නිසා ටැක්ටරයක් හා ලොරියක් දෑවැද්දටත් දුන්නා.

ඒත් විවාහයෙන් පස්සෙ ඇයට සිද්ධ වුණේ ස්වාමියා බීමත් ව ඇවිත් කරන තාඩන පීඩනවලට මුහුණ දෙන්න. නිතර අඬ දබර වුණා. පහර දුන්නා. ඒත් ඇය ඇගේ වැදගත්කම තියාගෙන ඉවසුවා. ඇය ගෙදරින් එනවිට ගෙනා සාරි අට විතරයි ඇයට තිබුණේ. මේ මිනිහා සාරියක් පවා අරගෙන දුන්නෙ නෑ.

ඇය මේ සියල්ල ඉවසාගෙන උදේ පාන්දරින් නැගිට ඉවුම් පිහුම් කොට පාසලට යනවා. අන්තිමේ මේ මිනිහා කිසි දවසක දියුණු නොවන බව වටහාගෙන “මේ මිනිහා නම් හැදෙන මිනිහෙක් නම් නොවේ” යි යන නිගමනයට ඇවිත් තමන් ගෙ පාඩුවේ ඉවසීමෙන් කටයුතු කළා. අන්තිමේ මිනිහා අසනීප වුණා. මේකත් මගේ ම කරුමය යැයි සිතූ ගුරුවරිය ඔහුට කවා පොවා සාත්තු සප්පායම් කළා. කවන්න පොවන්න ළඟට ගියත්, කවා පොවා අවසන් වුණා ම කෙහෙවල්ලෙන් අල්ලා ගෙන ඇයට පහර දෙනවා.

සමහර දාට ඉස්කෝලෙට යන කොට උදේ පහරදීම් වලින් මුහුණ ඉදිමිලා. මේ ඉස්කෝලෙ ඉන්න ඉංග්‍රීසි ටීචර් බොහොම අහංකාරයි. අනුන්ට අපහාස උපහාස කරනවා. “ආ... අදත් උදේ පාන්දර ගුටි කාලා තියෙනවා” කියලා හිනාවෙනවා. අනිත් අය සමඟත් කියා හිනා වෙනවා. ඒත් ගුරු මණ්ඩලයේ අනිත් අය මේ දුක් විඳින ගුරුවරියට අනුකම්පා කළා. ඇගේ ප්‍රතිපත්ති වලට ගෞරව කළා.

දවසක් ස්වාමියාගේ පහරදීම් වලට ලක් වූ ගුරුවරිය පාසලට එද්දී “මොකද ඔයාගෙ මූණ ඉදිමිලා” කියලා ඉංග්‍රීසි ටීචර් නොදන්නවා වගේ ඇහුවා.

“ඔයාට ඕනෑ දෙයක් හිතාගන්න” කියා අහිංසක ගුරුතුමිය කීවා.

එදා ඉංග්‍රීසි ටීචර් ගෙදර යන කොට යතුරු පැදිය අනතුරකට ලක් වී කකුල කැඩී රෝහල් ගත කළා. මාස තුනක් පමණ දුක් විඳ ඇය දැන් නැවතත් පාසල් එනවා. හැබැයි ඉතාම කැත නොන්ඩියක් ඇයට තියෙනවා. කකුල සනීප වුණත් නොන්ඩියි.

“ඔයා සීමාව ඉක්මවලා අර මිස්ට හිනා වුණා. අපහාස කළා. ඒකට දඬුවම තමයි ඔය” යැයි අනිත් ගුරුවරු ඇගේ මූණටම කිව්වා. යැයි ද පඤ්ඤානන්ද හිමියෝ කීහ.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/12/05/_art.asp?fn=aw1012051

Wednesday, November 24, 2010

අනේ හාමුදුරුවනේ මං රිංගුවේ නෑ මාව රිංගෙව්වා

මිනිසුන් වශයෙන් අප සමඟ ජීවත් වී මරණයට පත්වන අපේ ඥාතීහු හෙවත් මළගිය ප්‍රාණකාරයෝ අපෙන් පිටස්තර වූ අමුතු ම ලෝකයක ඉපදී සිටිතැයි බොහෝ දෙනා සිතති. ඇත්තට ම ඒ මිය ගිය ප්‍රාණකාරයෝ ඉපිද සිටින්නේ අපෙන් බොහෝ ඈත ද? ධ්‍යානලාභීහු බ්‍රහ්ම තලයන්හි ඉපිද ධ්‍යාන සුවයෙන් වෙසෙති. අපේ මියගිය ඥාතීහු එසේ ධ්‍යාන භාවනා කළෝ නම් එසේ ඉපදිය හැකිය. ඊට අමතරව ත්‍රිහේතුක කුසලකර්ම කළෝ දෙව් මිනිස් සුගතීන්හි උපදිති. ඒ ඉතාම දුර්ලභ වූ අවස්ථාවකි. ලක්ෂයකින් එකක් තරම් වූ අවස්ථාවකි. මහරු බූමාටු දේවතාවුන්ව ඉපිද ගස්වල මල් කොළ මුල් ආදියේ සුවඳ ආඝ්‍රාණය කර අපට සමීපව යැපෙති. තවත් සමහරු දවසේ එක් වරුවක් දේවතාවකුව ඉපිද දිව්‍ය සුව වින්දනය කොට අනිත් වරුව ප්‍රේතයකු වී දුක් විඳිති. මේ ආදී ආකාරයෙන් පරලොව උපත් විවිධ ය.

මේ මගේ ඉඩම ය. මේ මගේ කුඹුර ය, මේ මගේ මායිම ය, මගේ ගෙදරය, මගේ අඹු දරුවෝ යැයි දැඩිව සිතින් අල්වා ගෙන සිටි අය මැරී ඒ ඒ ආශාවන් පැවැත්වූ ස්ථානයන්හි දුගති භාව ලබා දුක් විඳිති. මේ මගේ පෙම්වතිය ය, මගේ බිරිය යැයි දැඩි ආශාවෙන් බැඳී සිටියෝ එම ස්ත්‍රීන් ඇසුරු කොට ගෙන, ශරීරයට බාහිරව ද අභ්‍යන්තරව ද දුගති භාව ලබා වෙසෙති. ස්ත්‍රීහු ද එසේ ම පිරිමින් කෙරෙහි බැඳී සිට එවැනි උපත් ලබති. අනෙකුත් ඥාතීහු ද එසේ ම ය. ඇල්ම නිසා උපත ලබනවා සේ ම තරහින් ද්වේෂයෙන් මළෝ ද එසේ ම පළිගැනීමේ චේතනාවෙන් උපදිති. ඇල්මෙන් උපන්නත්, තරහින් උපන්නත් ඒ ඒ ආත්මභාවවලට ආවේණික වූ පරිදි ඔවුන් පවතින්නේ ඒ ඒ ශරීරවල අපද්‍රව්‍ය හෝ රුධිරය ආහාරයට ගැනීමෙනි. ගසක කඳේ උපන් පණුවා ඒ කඳ ම කා ජීවත් වන්නා සේ ය.

එසේ ම අතීතයේ විසූ ගුප්ත ශාස්ත්‍රධාරීහු ශබ්ද ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන මන්ත්‍ර ශාස්ත්‍රය නිපදවූහ. ඒ අක්ෂර ඛණ්ඩයන්ගේ බලයෙන් තවත් කෙනෙකුගේ ශරීරයට හෝ නිවසට භූතයන් බන්ධනය කරති. වරක් සක්‍ර දේවේන්ද්‍රයන් විසින් වේපචිත්ති අසුරේන්ද්‍රයන් පස් පොළකින් බැඳ දමන ලද බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. ඒ ඉතා සියුම් වූ දේවකායයන් තුළ පවත්නා ඉතා බලසම්පන්න චිත්ත ශක්තියෙන් (මනෝමය) කළ දෙයකි. සිතුවිලි තරංග ශක්තියෙන් එසේ කළ හැකි නම් අක්ෂර ශක්තිය හා ශබ්ද (උච්චාරණ) ශක්තියෙන් එවැනි දේ කළ හැකි බව ප්‍රායෝගික සිද්ධිවලට ද අනුව පිළිගත හැකිය.

දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩි මහල් පිරිමි දරුවා නීරෝගීව වැඩුණේය. කුඩා කල සිට ම පිනට දහමට ලැදි දරුවෙක් විය. නිතර පිරිත් හා ගාථා සජ්ඣායනය කළේය. පැවිදිවීමට කැමැති බව පවසමින් නිතර ඊට අවසර ඉල්ලා මව්පියනට ඇවිටිලි කළේය. පාසල් අධ්‍යාපනයේ දී ද දක්ෂ විය. තුන්මෝදර පාසලේ සිංහල මාධ්‍ය හොඳම නිවේදකයා විය. එහෙත් දැඩි ඉල්ලීම නිසා පහළොස් හැවිරිදිව සිටිය දී 2009 වර්ෂයේ දෙසැම්බර් 13 දින පැවිදි කරන්නට යෙදිණි.

පැවිදිවීමෙන් පසු කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි මේ පොඩි හාමුදුරුවෝ මුත්‍ර ආබාධයකින් රෝගාතුර වූහ. සිංහල ඉංග්‍රීසි ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබිණි. කෑගල්ල – මහනුවර - පේරාදෙණිය මහ රෝහල් හි නේවාසිකව ප්‍රතිකාර ලැබූවත් සුවයක් නොලැබිණි. අවසානයේ මුත්‍ර බටයක් දමා බාහිරව එහෙත් හිරිහැරකාරීව සුළු සහනයක් ලබාදුන්නේය. ඒ නමුත් මුත්‍ර දැවිල්ල වරින් වර පොඩි හාමුදුරුවන් පීඩාවට පත් කළේය.

මේ අතර පොඩි හාමුදුරුවෝ වරින් වර අමුතු ලෙසකින් හැසිරෙන්නට වූහ. කකුලක් කපා ඉවත් කළ පුද්ගලයකු සේ ද, දත් නැති, ලොඹු ගැහුණු පුද්ගලයකු කතා කරන විලාසයෙන් ද හැසිරෙන්නට වූහ.

”සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියැවූ කීප දෙනකු ගේ යොමු කිරීම මත මව්පියෝ අතුරුගිරියේ, ගස්නාවේ ඤාණානන්ද හිමියන් වෙත පොඩි හාමුදුරුවන් කැඳවා ගෙන පැමිණියහ.

ඤාණානන්ද හිමියෝ පළමුව ම මේ පිරිසට අතුරුගිරිය විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වෙත ගොස් පන්සිල් සමාදන් වී සබ්බ පාපස්ස ගාථාව සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේ පැදකුණු කොට, වන්දනා කොට පැය භාගයකින් පැමිණෙන ලෙස උපදෙස් දුන්හ. ඒ කටයුතු එසේ සිදු කොට නැවත පැමිණි විට පොඩි හාමුදුරුවන්ට ඉතා ම සරල බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවත් දුන්හ. එසේ සිදු කරන විට පොඩි හාමුදුරුවෝ ඤාණානන්ද හිමියන්ගේ මුහුණ නොබලා අහක බලා ගෙන ලොඹු ගැහුණු කටින් (හ¼ඩින්) කතා කරන්න වූහ.

”මොකදෑ මේ මට කලදල කොළන්නෙ?”යි කීහ.

”අපිත් අහන්නේ ඒක ම තමයි. මොකද මේ පොඩි හාමුදුරුවන් ගේ ශරීරයට රිංගා ගෙන කරදර කරන්නේ”යි ඤාණානන්ද හිමියෝ ඇසූහ.

”හඞ.. හෙඞ.. මම කලදල කොලන්නෙ නෑ. ඒ මගේ් හැටිනෙ.”

”තමුන් කවුද?”

”මම මේ පොදි හාමුදුලුවන්නෙ සීය නෙ. මම පොදි හාමුදුලුවන්ත ආදලෙයි”

”ආදරේ නම් මොකද මේ හිරිහැර කර පව් සිද්ධ කරගන්නේ?”

”අනේ! අනේ! හාමුදුලුවනේ මම පොදි හාමුදුලුවන්ගේ ඇඟට තිංගුවෙ නෑ. තිංගෙව්වා”

”කවුද? රිංගෙව්වේ”

”මගේ දූ පොදි හාමුදුලුවන්ගෙ නැන්දා. මගේ සොහොනෙන් ම මිනී අලු අලගෙන මතුලවලා බන්දනේ කොළා”

”ඇයි? එහෙම කළේ”

”ඒකි වස නපුලු ගෑනි. කුහක ඉත්තිලියාවි. මේ දලුවා හොඳට ඉගෙන ගන්නවාට ඉලිතියාවෙ මාව බන්දනේ කොළා”

”ඉතිං හිරිහැර කරන්නේ මොකද?”

”හිලිහැල කොළනවා නොවෙයි. ඒ මගේ හැති. මම මගේ දීවිතේ අන්තිම කාලෙ දියවැදියාව හැදිලා දුක්වින්දා. මගේ කකුලක් කැපුවා. ඉස්පිලිතාලේ දොත්තල මාත්තුලු. මුත්තලා බත දැම්මා. ඒ හැති තමයි පොදි හාමුදුලුවන්තත් මං පොදි හාමුදුලුවන්ගේ ඇඟේ ඉන්න කොත”

මේ අය සමඟ පැමිණ සිටි, තවත් කාන්තාවක් ඤාණානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මේ භූ®තාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූවාය.

”මාව අඳුරනවාද?”

”අනේ! අනේ! බං මම මොකදෑ උඹව අඳුලන්නෙ නැත්තෙ. උඹ මගේ බාල දූනෙ”

”ඇයි තාත්තා මේ පොදි හාමුදුරුවන්ගේ ඇඟට වෙලා දුක් විඳින්නේ?”

”ඇයි? බං උඹේ අක්කා, අර හැතිලි කළපු අපලාදෙනෙ”

”තාත්තෙ; අපේ ගෙදරත් දියුණුවක් නැහැනෙ. ඒ මොකද?”

”පස්පවෙන් මිදියල්ලා. වැලදි වැදවලින් ඈත් වෙලා පිං දහං කොළපල්ලා. උමලත දුක් කලදල එන්නේ පූලුවෙ පව් කළපු නිතා. දැන් පිං දහම් කොළපල්ලා. එතකොට කලුමෙ යත ගිහිං උඹලා දියුණු වේවි”

”අපේ ලොකු දූටත් කරදරයි නෙ තාත්තෙ”

”මොනවද බං උඹල මේ අහන්නෙ. ඇයි උඹලා මේ පොදි හාමුදුලුවන් ගැන අහන්නෙ නැත්තෙ. මේ පොදි හාමුදුලුවන් තුවපත් කළපල්ලා. හොඳත ඉගෙන ගන්න උදව් කොළපල්ලා. එතකොත පලම්පලාවත ම ගෞලවයක්, පිනක්. ඒ වගේම මාවත් මේ බන්ධනයෙන් නිදහස් කොළපල්ලා”

”හා.. හා... හොඳයි හොඳයි. එහෙම නම් මේ සීයාට අපි පින් දෙනවා. ඒ පින් අනුමෝදන් වෙලා හොඳ තැනකට යන්න ඕනෑ. ජයසිරිමා බෝධීන් වහන්සේ ළඟට යන්න කැමැති ද?”යි හාමුදුරුවෝ ඇසූහ.

”නැහැ හාමුදුලුවනේ! මම මනුස්ස ලෝකෙට යනවා. මට මනුස්සයෙක් වෙලා උපදින්න තියෙද්දියි මාව බන්ධනේක අල්ලා ගත්තේ. දානයක් දීලා මට පින් අනුමෝදන් කරවන්න. මම පොදි හාමුදුලුවන්නෙ සලීලෙන් නිදහස් වෙලා මනුස්ස ආත්මයක් ලබනවා”

”වෙන මොනවද කියන්න තියෙන්නේ?”

”අනේ හාමුදුලුවනේ! අපේ මේ පොදි හාමුදුලුවන් ඔබ වහන්සේගේ් පන්සලේ නතර කරගන්න. මෙතැන හොඳයි. කලින් හිටපු තැන ඉලිසියා කාලයො ඉන්නවා. තමුන්ගෙ ම නැන්දා කලපු අපලාදෙ පේනවා නේද?”

බෝධි පූජා විසි එකක් පවත්වා, පිරිත් කළ තැඹිලි ගෙඩි විසි එකක් බොන්නට දී පිළිවෙත් කීපයක් කරන විට පොඩි හාමුදුරුවෝ සුව අතට හැරෙන්නට වූහ.

දැන් මේ කුඩා ස්වාමීන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී ඥානවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව නතර වී ගස්නාවේ ඤාණානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි වැඩි දුර පිළිවෙත්වල යෙදෙති.

මේ සිද්ධියෙන් පැහැදිලි වන කාරණා කීපයක් වේ. තමන්ගේ ම සහෝදරයා ගේ දරුවකු වුවද හොඳින් ඉගෙන ගන්නවාට, සමාජයේ ඉහළ තැනකට පත් වෙනවාට අකමැති, අනුන්ගේ දියුණුව දකින්නට අකැමැති අය ඊර්ෂ්‍යාව නිසා අකුසල් සිදුකැර ගන්නා ආකාරය එකකි.

අනුන්ට විපතක් කිරීම සඳහා ආරක්ෂිත ක්‍රමයක් යැයි සිතා, රහසක් පරිදි පවතී යැයි සිතා ඇදුරන් ලවා අනුන්ට අණවින කිරීම අනිත් කාරණයයි. මේවා බරපතල අකුසල කර්ම වේ. එසේ ම එවැනි කටයුතුවලදී තමන්ගේ පියාගේ භූතාත්මය බන්ධනයකට ලක් කොට පියා දුකට පත් කිරීමකි. එසේ ම මිනිස් භාවයේ ඉපදීමට සූදානම් පියාගේ ගමන වළක්වා වෙනත් දුගතිගාමී ක්‍රියාවක යෙදවීමකි. මෙය ඉතා බරපතල සත්ත්ව හිංසාවකි.

බරපතල අකුසල්හි යෙදෙන මෙවැනි කාන්තාවෝ ද එවැනි හදි හූනියම් කරන ඇදුරෝ ද මරණින් මතු අනන්ත දුක් සහිත වූ දුගතීන්හි උපදිති. සමහරු ජාත්‍යන්ධයන්වී ඉපිද දුක් විඳිති.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/05/09/_art.asp?fn=aw1005091

මට යන්න බෑ මං යන තැන්වලින් මාව පන්නනවා

අප ජීවත්වන පරිසරය පුරා දුගතිගාමී වූ ප්‍රේත පිශාචාදී අමනුස්සයෝ විශාල වශයෙන් සැරිසරති. එසේ සිදුවන්නේ යම් යම් පුද්ගලයින්ට හා වස්තු දේපළවලට තණ්හාවෙන් මියයෑම නිසාය. ජීවිතයේ අවසාන අවස්ථාවේ “අපොයි මේ දේපළ මගේ. මම මහන්සි වී ගොඩනඟාගත් දේවල්. මට අයිති දේවල්. මම කොහොමද මේවා අතහැර යන්නේ? මේ මගේ බිරිය. මගේ දරුවෝ. මේ අය අතහැර යන්න බෑ. මේ මගේ සහෝදරයා. මූ මට සැලකුවේ නෑ. මම මළා ම මූ මගේ දේපළ භුක්ති විඳීවි. ඒකට ඉඩ තියන්න බෑ. මම මුගෙන් පළිගන්න ඕනෑ. මූව දාල යන්න බැහැ.” යැයි අවසාන චුති චිත්තය සමඟ සිතුවිලි පහළ වුවහොත් ඔහු හෝ ඇය ඒ දේපළ හෝ පුද්ගලයන්ට ඇලීමෙන් එහි ම උපදී. ඉන්පසු ඉන් කෙනෙක් ඒ දේපළ පිළිබඳ තණ්හාවෙන් බදාගෙන සිටිනවා මිසක ඉන් ප්‍රයෝජනයක් ගත නොහැකිව ද අනුන් ප්‍රයෝජන ගන්නවා දැක තරහෙන් ද මහත් දුක් විඳිති.

තවත් කෙනෙක් තමන් ගේ අකුසල කර්ම විපාක හේතුවෙන් ඒ ප්‍රේතාත්මයට ආවේණික වූ දුර්ගන්ධයෙන් එම පරිසරය අපවිත්‍ර කරමින් සිටිති. සමහර කෙනෙක් ඇල්මෙන් හෝ වෛරයෙන් සිටි පුද්ගලයාගේ සිරුරට රිංගා ගෙන ලෙඩ කරවති. ඒ දුගති භවයේ හෙවත් ප්‍රේතාත්මයේ ස්වභාවය අනුව එහි යැපීම සඳහා එම සිරුර අයිති පුද්ගලයාගේ කෙළ සෙම් සොටු පමණක් නොව රුධිරය ද උරාබීම නිසා එම රුධිරය විෂ වීමෙන් හා රුධිර හීනතාවයට ලක් වී රෝගියකු බවට පත්කරවයි.

ජීවත්වන කාලය තුළ මේ ජීවිතයෙන් පසු මරණයක් ඇතැයි ද, මරණයෙන් පසු තමන් ඊළඟ භවයක් ඇතැයි ද, ඒ භවය සකස්වන්නේ තමන් විසින් කරන ලද කුසල අකුසලයන්ට අනුව යැයි ද නොසිතන පුද්ගලයෝ තමන්ගේ ජීවිතය කෑමටත්, බීමටත්, මත්පැනටත්, පංචේන්ද්‍රියයන් පිනවීමේ විනෝදයටත් පමණක් සීමා කොට දුගතිගාමීව, ප්‍රේත පිශාචව උපදිති. ඔවුන් ජීවත් වූ කාලයේ කෙනෙකුට උදව්වක් යහපතක් සිදු නොකළ බැවින් ඔහු වෙනුවෙන් පිනක් දහමක් කොට අනුමෝදන් කරන්නට කෙනෙකු ඉදිරිපත් වන්නේ ද නැත. දුගතියෙහි උපන් පුද්ගලයා එයින් මිදීමට නොහැකිව අනන්ත වූ කාලයක් සා පිපාසාවෙන් පෙළි පෙළී ශාරීරිකව ද මානසිකව ද දැවි දැවී දුක්විඳිති.

ඇය කොළඹට නුදුරු කාන්තාවකි. සහෝදරයන් වෙනුවෙන් වෙහෙස මහන්සිව කාලය ගත කරන විට ඇයට විවාහයක් කැර ගැනීම පවා අතපසු විය. දැන් ඇගේ වයස අවුරුදු හැටට ආසන්නව ඇත. ඇය දැන් ආතෙරෙටීස් රෝගයෙන් දුක් විඳින්නී අත පය ඇඟිලි පවා නවන්නට දිග හරින්නට නොහැකි වේදනාවෙන් පෙළෙයි. හෘදය වස්තුවේ කපාටයක් පවා ඉවත් කොට පපුව කෘත්‍රිම මැසිමක් මඟින් ක්‍රියාත්මක කරයි. මේ රෝගී තත්ත්වයෙන්, යම් සහනයක් හෝ ලබාගැනීමේ අදහසින් ‘සිළුමිණ’ පියවි ඇසින් ඔබ්බට ලිපි පෙළ කියවා ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියා ය.

ඇගේ ශාරීරික දුර්වලතාව නිසා පළමු දිනයේ සුළු ප්‍රතිකාරයක් කොට බෝධි පූජා පවත්වා එන ලෙස එතැනින් උපදෙස් ලැබුණි. ඊළඟට නියම කළ දිනයේ ඇය සිය සහෝදරියන් සමඟ එහි පැමිණියාය. එදා ගුප්ත ගවේෂණයේදී ඇය හඬන්නට වූවා ය.

”අනේ! මාව පුච්චන්නට එපා” යැයි විළාප දෙමින් පිරිමි හඬකින් අඬන්නට වූවාය.

”හොඳයි, පුච්චන්න එපා නම් දැන් මම අහන දේවල්වලට සත්‍ය පිළිතුරු දෙන්න ඕනෑ. කවුද? මේ ස්ත්‍රී ශරීරයට රිංගාගෙන ඉන්නේ?” නාගොඩවිතාන මහතා ඇසීය.

”ම්..ම්..ම්..ම්...”

”ම්.. ම්.. කියල හරියන්නෙ නෑ. ඉක්මනින් කියන්න. අපට තව වැඩ තියෙනවා. නැත්නම් පිච්චෙන්න තමයි වෙන්නේ”

”මම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ නිසයි නම කියන්න අකැමැති”

”ඔය කතාවලින් වැඩක් නැහැ. මේ කාන්තාව දුක් විඳිනවා. ඇය මරාගන්න හදන්නෙ කවුද කියල අපි දැනගන්න ඕනෑ”

”මම..... සංස්ථාවෙ හිටපු සාමාන්‍යාධිකාරී. මට හොඳට සල්ලි තිබුණා. මට තරුණ කාන්තාවන්ගෙන් කිසි ම අඩුවක් තිබුණෙ නැහැ. ඒ නිසා ම අවිවාහකවයි හිටියේ. මම හොඳට බිව්වා. මත්පැන් නොබීපු දවසක් නැහැ.”

”හරි හරි ඉතින් නම කීවෙ නැහැනෙ”

”මගෙ නම ජයසිරි”

”ඉතින් මේ ගෑනු කෙනෙකුගෙ ඇඟට රිංගුවෙ මොකද?”

”මම ගැහැනුන්ගෙ ශරීරවලට ආසනෙ. මේ මගේ අක්කා. ඒ වුණත් මම රිංගුවා. මාව බලාගත්තෙ මට උදව් කළේ මේ අක්කා. ඒ නිසා මෙයා ළඟට ආවා.”

”ජයසිරි... තමුන් කරපු අකුසල්වලට දුගතියක ඉපැදුණා මදිවට දැන් අක්කවත් මරාගන්න ද හදන්නේ? මේක මහා අපරාධයක්. වහාම මේ ශරීරය අතහැර පිටවෙලා යන්න ඕනෑ. සිරිමා බෝධීන් වහන්සේ වගේ පුණ්‍යස්ථානයකට ගිහින් ඒ වගේ තැනක ආව තේව කර හොඳ ආත්මයක් ලබාගන්න”

”හොඳයි. හොඳයි එහෙනම් මම යන්නං” යැයි භූතාත්මය අක්කාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.

ඇය නැවතත් සති දෙකකින් “අනේ! ආයෙත් අමාරුයි” ගියාගෙන ආවාය. එදින ද භූතාත්මය සමඟ නාගොඩවිතාන මහතා සාකච්ඡා කෙළේය.

”ජයසිරි.... තමුසෙ අපිව රවටන්නද හදන්නේ? එදා යනව කියල ගිහින් ඇයි ආයෙත් ඇවිත් මේ අක්කට කරදර හිරිහැර කරන්නේ?”

”අනේ! මහත්තයෝ මට යන්න තැනක් නැහැ. මම ජීවත්ව ඉන්දැද්දි පිනක් දහමක් නොකළ නිසා මට සොහොනෙත් ඉඩක් නෑ. සොහොනට ගියාම එතන ඉන්න අය “පලයං පලයං උඹට මෙහෙ ඉඩ නැහැ” කියලා මාව පන්නා ගත්තා. මම ජීවත්ව ඉන්දැද්දි ගෑනුන්ටයි, බීමටයි වියදම් කළා මිසක් දානයක් මානයක් දුන්නේ නෑ. අනේ! මේ අපේ අක්කලට කියල සාංඝික දානයක් දී මට පිං අනුමෝදන් කරන්න කියන්න. එතකොට මට යන්න පුළුවන් වේවි”

”හොඳයි. දැන් යන්න” රෝගී තත්ත්වය නිසා දුර්වලයි. සතියක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස කාන්තාවට උපදෙස් දුන්නේය.

ඊළඟ සතියේ ද රෝගී කාන්තාව පැමිණියාය. භූතාත්මය ආවිශ්ට විය.

”මහත්තයෝ මට යන්න බෑ. මම යන යන තැන්වලින් මාව පන්නනවා. මම ඉස්සර කව්රු හරි ගෙදරට ආධාර පත්‍රයක් අරගෙන ආවොත් හැංගෙනවා. කවදාවත් ජීවිතේට පන්සලකට ගියේ නෑ. ඒ නිසා පිං දෙන කොට පිං අනුමෝදන් වෙන්න අත් දෙක උස්සලා සාදු සාදු කියන්න බෑ.”

”තමුන්ගෙ කරුම තමුන්ම ගෙවන්න වෙනවා. තමුන් ජීවත්ව ඉන්දැද්දි කරපු පාපකර්ම බරපතලයි. දැන් නම් තමුන් යන්නම ඕනෑ. නැත්නම් දඬුවම් කරන්න වෙනවා” යැයි කියා ඊළඟ සතියේ වැටකෙයා මලක් හා පලතුරු වට්ටියක් රැගෙන එන්නැයි රෝගී කාන්තාවට උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ඇය පලතුරු වට්ටියක් හා වැටකෙයා මලත් අරගෙන ස්ථානයට ඇතුළුවුණේ ම හඬාගෙන ය.

පලතුරු වට්ටිය මිදුලේ තබා වැටකෙයා මල ඒ අසලින් තබා භූතාත්මය අමතා “දැන් වැටකෙයා මල උඩට නගින්නැ”යි නියෝග කළේය.

”දැන් කළුතර බෝධීන් වහන්සේ ළඟට යන්න ඕනෑ. එතැන සිටින දෙවියන්ට කන්නලව් කොට උදව් ඉල්ලන්න.මෛත්‍රී බෝධිසත්ත්ව දෙවියන්ට වැඳ නමස්කාර කොට උන්වහන්සේ ඉදිරියේ නැවත මේ ශරීරයට ඇතුළු නොවන බවට පොරොන්දු වෙන්න. කළු දේවතා බණ්ඩාර දෙවියන්ට කියා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟින් ඉඩකඩක් ඉල්ලා ගන්නැ”යි භූතාත්මයට උපදෙස් දුන්නේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, කළු දේවතා බණ්ඩාර දෙවියන්ටත්, බාර හාර වී කිරි ආහාර පූජාවක්, සුදු නෙළුම් මල් වට්ටියක් හා සිවුරක් පූජා කරන බවට පොරොන්දු වී දානයක් දී මල්ලීට පින් අනුමෝදන් කොට සතියකින් ගොස් බාර ඔප්පු කරන ලෙස රෝගී කාන්තාවට උපදෙස් දුන්නේය.

මිදුලේ තැබූ පලතුරු වට්ටිය හා වැටකෙයා මල දෙදෙනකුට ඔසවන්නට බැරි තරම් බරින් යුක්ත විය.

මෙහිදී අපට පැහැදිලිව පෙනෙන විශේෂත්වය නම් මේ භූතයාට සහෝදරියගේ ශරීරය අතහැර යන්නට වුවමනාව තිබුණ ද යා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය. සොහොනට ගියත් එතැන පදිංචිව සිටින භූතයින් විසින් පන්නා ගනු ලැබුණි.

ජීවත්ව සිටිය දී කෙනෙකුට ඉඩමක් ගෙයක් ගැනීමට උදව් කිරීම විශාල පිනකි. ගෙයක් හදන කෙනෙකුට උදව් කිරීම ද එසේ ම ය.

ඊටත් වඩා භාවනා මධ්‍යස්ථානයකට, පන්සලකට ඉඩමක් ලබාදීම හෝ ඉඩමක් ලබාගැනීමට ආධාර කිරීම ද කුසලයකි. කෙටියෙන් කියනවා නම් කෙනෙකුට ඉන්නට හිටින්නට තැනක් ලබා දෙන අයට මරණයෙන් පසු ලබන උපතේ දී ඒ ආනිසංසයෙන් සුදුසු තැනක් ලැබේ. විමානයක් සකස් වේ.

අතීතයේ සිට සිංහල බෞද්ධයන් අතර චාරිත්‍රයක් ලෙස පවතින, මළ ගිය කෙනෙකුට පින් දෙන්නට සිදු කරන දානයේදී පැදුරක් හා කොට්ටයක් පූජා කරන්නේ ඒ නිසාය. මළගිය ඥාතියාට පවතින්නට සුදුසු තැනක්, දෙවියෙක් නම් දිව්‍ය විමානයක්, ලබාදීමට කරන පූජාවකි. දන්දීමකි.

ජීවත්ව සිටියදී එවැනි කුසලයක් නොකළ අය, අමනුෂ්‍ය ආත්ම භවයක උපන්නොත් එවැන්නෝ තුන් මංසලේ, සිව් මංසලේ, නානතොටේ ඉපිද පීඩා විඳිති. ඔවුන්ට සොහොනේවත් ඉඩක් නැත. එතැනින් ද පන්නා ගනිති. ඒ නිසා ආරාම පූජා, නිවාස පරිත්‍යාග, ඉඩම් පූජා බොහෝ ආනිසංස ඇති කුසලයෝය. මේ භූතයා ඉහත භවයේ සංස්ථාවක සාමාන්‍යාධිකාරී කෙනෙකු වුව ද අද ඔහුට සොහොනේවත් ඉඩක් නැත.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/05/16/_art.asp?fn=aw1005161

ඔබ වහන්සේට බුදු බව ලැබේවි මගේ දුව බේරලා දෙන්න

සංසාර ගමනේ කෙළවරක් නොදැක භවයෙන් භවයට ගමන් ගන්නා සත්ත්වයා අතීත මිනිස් භවයක දී තමන් විසින් ලද ත්‍රිහේතුක කුසල කර්මයක් මරණාසන්න අවස්ථාවක චුති චිත්තයට යොමුවීමේ ඉතා දුර්ලභ වාසනාව නිසා යළි මිනිස් භවයේ ප්‍රතිසන්ධිය ලබයි. මිනිසකු ලෙස ඉපදීමෙන් පසු තමන් ඉපදුණු පරිසරය තුළ දී නැවත කර්ම රැස් කරන්නට පටන් ගනී. කර්ම – චිත්ත - සෘතු - ආහාරවලින් පෝෂණය වෙමින් ගොඩ නැඟී ජීවත්වන මිනිසා කර්මය හෝ ආයුෂ හෝ ඒ දෙක ම හෝ පිරිහී මරණයට පත්වෙයි.

මිනිසකු ලෙස ජීවත්වන කාලය තුළ කුමන නැටුම් කෙළි සිනා පෑව ද ස්වකීය ආධ්‍යාත්මය යම් තරමකින් හෝ දියුණු කැර නොගත්තේ නම් හෝ අනිවාර්යයෙන් ම දුගතියක උපදී. සතර අපායෙන් තිරිසන් භවය හැර නරක - ප්‍රේත – අසුරාදී අමනුස්ස භවයක උපන්නොත් ඔහුට හෝ ඇයට ලැබෙන්නේ මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන සියුම් ශරීරයකි. මිනිස් භවයේ දී ඝන ශරීරයක් ලැබීම නිසා ඔහුට හෝ ඇයට පින් කුසල් සිදු කැර ගැනීමේ අවස්ථාව ලැබේ.

ඉතා සියුම් ශරීරයක් ලබාගෙන දෙව්ලොව දෙවියන් අතර උපදින දෙවියකු වුවද කර්මානුරූපව නියමිත කාලයෙන් පසු දෙව්ලොවෙන් චුත වෙයි. ඔහු ගේ පිනට පහළ වූ දිව්‍යාභරණ, දිවසළු, කිළිටි පැහැ ගන්නා විට, ඔහු පැළඳ සිටි දිවමල් පරවී යන විට දෙව්ලොවෙන් නික්මීමට කාලය පැමිණ ඇති බව වටහා ගනී.

අවට සිටින දෙව්වරු ද ඒ බව හඳුනා ගනිති. ඔහු ඇසුරු කළ මිත්‍ර දෙවිවරු ඔහු වටකැරගෙන ඔහුට උපදෙස් දෙති.

ඉතෝ භෝ සුගතිං ගච්ඡ
මනුස්සානං සහාව්‍යතං
මනුස්ස භූතෝ සද්ධම්ම
ලභ සද්ධමනුත්තරං

භවත! සුගතියට යන්න. (ඒ සුගතියෙහි සිටින) මිනිසුන්ට සහාය වෙන්න. (උදව් කරන්න. පරාර්ථයෙහි යෙදෙන්න) මනුස්ස ලෝකයේ ශ්‍රී සද්ධර්මය පවතී. ඒ අනුත්තර වූ සද්ධර්මය ලබා ගෙන (වටහාගෙන) කටයුතු කරන්න. (එවිට නැවත දෙව්ලොව දී අපට හමුවිය හැකිය. ගිහින් ආපහු එන්න).

එහෙත් මිනිස් ලොව ඉපදුණාට පසු සිතට වහල්වීම නිසා, ඇස - කණ – නාසය – දිව - ශරීරය පිනවීමට පෙළඹීම නිසා, අධර්ම රාගයෙන් කටයුතු කිරීම නිසා, මේ මිනිස් භවයෙන් ගත හැකි, ගත යුතු ප්‍රයෝජන ගැනීම අතපසු කැර ගනී. එයින් ඔහු දුගතිගාමීවීමට පාර කපා ගනී. මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කලාකරුවෙකි. ඔහුගේ දක්ෂතා නිසා රජයෙන් පවා බොහෝ තනතුරු සම්මාන ලබා ගත්තේය. රාජ්‍ය ආයතන පාලනය සඳහා පවා සුදුසුකම් ලැබුවේය. ඉහළ තනතුරු දරන්නන් සුප්‍රසිද්ධ කලාකරුවන් නිතර මුණගැසීමේ අවස්ථාව ලැබුණේය. ප්‍රිය සම්භාෂණ සංග්‍රහවලට නිතර සහභාගි විය. මේ හැම අවස්ථාවක ම ඒ සමාජ තත්ත්වය අනුව සුරා පානය ඉදිරියෙන් ම සිටියේය. ඔහුට මතට තිත පනවන්නට කෙනෙකු සිටියේ නැත.

ඔහුගේ ජනප්‍රියතාව සහ දැරූ තනතුරු නිසා නිතර උත්සව සාදවලින් අඩුවක් නොවුණු අතර රාත්‍රියට ගෙදර ගියේ සුරා මතින් ඉහ වහා ගොස්ය. ලොකු ලොක්කන් සමඟ සුරාපානය කිරීම ඔහු ජීවත් වූ සමාජයේ නැතුව ම බැරි ‘වැදගත්’ යැයි සම්මත වූ දෙයක් වුව ද ඔහුගේ බිරිය මේ දින චරියාවට නොසතුටු වූවාය.

සිය ආදරණීය ස්වාමිපුරුෂයා ජනප්‍රියතාව හේතු කොට ගෙන ම මානසිකවත්, ශාරීරිකවත් පරිහානියට පත්වන බව කල් ඇතුව වටහා ගත් ඇය ඔහු ඉන් මුදා ගැනීමට නොගත් උත්සාහයක් නැති තරම් විය. එහෙත් බිරියකගේ යුතුකම වූ සැමියා වරදින් මුදාගැනීමේ සද්කාර්යය ඔහුට කරච්චලයක් විය.

ඔහු යටතේ පැවැති ආයතනයේ සේවය කළ තරුණ සුරූපිනියන්ගේ මුකුළු ඔහුට මහත් රසාස්වාදයක් විය. මේ අතර රාජ්‍ය සම්මානයන්ගෙන් පවා සැලකිලි ලැබෙන්නට, ලැබෙන්නට ඔහුට ගෙදර අමතක වී යන තත්වයකට කාරණා කටයුතු සිද්ධ වෙන්නට විය. ජනප්‍රියත්වය ඉදිරියේ සුරංගනා ලෝකයක ජීවත්වන ස්වාමිපුරුෂයාගේ පෙර පැවැති ආදර කරුණාව අහිමි වූ අහිංසක බිරිය ජීවිතය පිළිබඳ කලකිරෙමින් රෝගාතුර වූවාය. එයින් ම ඔත්පලව මිය ගියාය. තම මෑණියන්ට සිදුවූ විපත පිළිබඳ දූ දරුවනට ද නොවැටහුණා නොවේ. එහෙත් ඔවුන්ට ද කරකියා ගන්නට දෙයක් නොවීය.

ඔහු තමන් යටතේ පැවැති ආයතනයේ නිලධාරිනියක් වූ සුරූපිනියක් සමඟ දෙවැනි විවාහයකට එළැඹියේය. ඇය අන්‍යාගමික කාන්තාවක් වූවාය. ඔහු බෞද්ධයකු වුවද මේ වන විට උදේ හවස පන්සිල් සමාදන් වීමක් පවා නොකළ ඔහු අලුත් බිරියගේ ඇදහීම් කටයුතුවලට සහභාගිවූයේය. අලුත් විවාහයෙන් වසරක් පමණ ගතවෙද්දී ඔහුගේ ශරීරය තුළින් රෝගාබාධ මතුවෙන්නට විය. නාගරික සමාජයේ පවතින ක්‍රමයට අනුව මේ රෝගාබාධ පිළිබඳ භෞතික ඇසින්ම බලා සුප්‍රසිද්ධ වෛද්‍ය විශේෂඥයන්ගෙන් ප්‍රතිකාර ගත්තා මිස ඉන් එහා යමක් සිතන්නට ඔහු පෙළඹුණේ ද නැත.

ජීවත් වූ සමාජ රටාව අනුව කාර්ය බහුල අවශ්‍යතාවලින් පිරී ගිය ජීවිතය තුළ විනෝදය හා මතට එහා දෙයක් ඔහුගේ ආධ්‍යාත්මයට වැද්ද ගැනීමට ඉඩකඩක් තිබුණේ ද නැත. ඔහු තවමත් තරුණයෙකැයි සිතා ගෙන කටයුතු කළේය. ඔහුගේ කලින් විවාහයේ දූ දරුවන්ට ද විවාහ වන වයසේ දූ දරුවන් වූහ. ඔහුට කලින් බිරිය අමතකව ගිය ද ඒ දූ දරුවෝ මිය ගිය මෑණියන් සිහිපත් කොට පින් දහම් කළහ. තම පියාණන් කෙරෙහි කනගාටු වෙනවා හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් ඔවුනට නොවීය.

මේ අතර හිටි හැටියේ රෝගාතුරව සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදුව මේ කලාකරුවා අවසන් ගමන් ගියේය. රජයේ මැදිහත්වීමත් අනෙකුත් කලාකරුවන්ගේ සහභාගිත්වයත් ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයකදී ඔහුගේ අවමඟුල් කටයුතු මහ ඉහළින් පවත්වන්නට යෙදුණි. ගරුතර මහා සංඝරත්නය වැඩමවා බෞද්ධ චාරිත්‍රානුකූ®ලව ආගමික වතාවත් සිදුවිය.

මිනිසකු මරණයේදී සිරුර අතහැර ගියද ඔහුගේ සිතුම් පැතුම් එක්වර ම වෙනස් නොවේ. ඔහුගේ සිත ව්‍යාකූ®ල විය. අලුත් බිරිය; ඇගේ ආගම; මරණාසන්න සිද්ධි! අවමඟුල් උත්සවය! බෞද්ධ චාරිත්‍ර! අලුත් බිරිය, අලුත් බිරියගේ ආගමික චාරිත්‍ර! ඔහු දෙලොවක් අතර අවුලකට පත්විය. තමන්ට අවශ්‍ය පරිදි කටයුතු සිදු නොවේ. ඔහු කෑ ගසා කියයි. එහෙත් ඔහුගේ හඬ කිසිවෙකුට නෑසෙයි. මෙය මහත් පීඩාවකි. වේදනාවකි. මේ අතර අවට ඔහු වැනිම පිරිසක් ඔහු දෙස බලා සිටිති. සමහරෙක් උපහාසයෙන් සිනාසෙති. මේ අතරින් පැරැණි බිරිය මතු වී සිනාසෙයි. හීඞ... හීඞ..... හී....... ඇගේ දෑස් රත්පැහැයෙන් දිදුලයි. ඔහු සිටිතැනින් පහළට... පහළට... ප්‍රපාතයට... ශීඝ්‍රයෙන් ඇද වැටෙයි. අනේහ්.... අනේ.. හ්.. මට උදව් කරපල්ලා...හ්... ඔහුගේ හඬ කිසිවෙකුට නෑසෙයි. වේදනාව පීඩනය දරුණු වෙයි.

අතුරුගිරිය ශ්‍රී ඤාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ගස්නාවේ ඤාණානන්ද මාහිමියන් ඉදිරිපිට පෙනී සිටි පිරිසකි. ප්‍රධානියා කාන්තාවකි. පැහැපත්, උස මහත සිරුරකින් හෙබි ඇය විඩාපත් පෙනුමකින් යුක්තය. ඇය සමඟ තවත් ඇගේ මුහුණුවරම ඇති තරුණියන් තිදෙනෙකි. එයින් බඩපිස්සී යැයි සිතිය හැකි තරුණිය සුදු සරමක් හැඳ පටියක් බැඳ සිටියාය. ඇගේ දෑස් තුළ හිස් බවක් පෙනෙන්නට තිබුණි. බලාගත් අත බලාගෙන සිටියාය.

”අනේ හාමුදුරුවනේ! ඔබ වහන්සේට බුදු බව ලැබේවි මගේ දුවව බේරාදෙන්නැ”යි මව කීවාය.

”මොකක්ද හේතුව?” හාමුදුරුවෝ ඇසූහ.

”මගේ තාත්තා මුළු රට ම හඳුනන කෙනෙක්. අපට හරිම ආදරෙන් හිටියේ. මේ චූටි දුවට තාත්තා පණ වගේ ආදරෙන් හිටියේ. ඒත් තාත්තා ප්‍රසිද්ධ වෙනකොට ජනප්‍රිය වෙනකොට ගතිගුණ වෙනස් වෙන්න ගත්තා. ඒ ජනප්‍රියතාවය නිසාම බීමට ඇබ්බැහි වුණා. තාත්තාගේ සමාජ තත්ත්වයට අපිව මදි වගේ පෙනුණා. මේ අවාසනාවන්ත තත්ත්වය උහුලා ගන්න බැරුව අම්මා අකාලයේ අන්ත්‍රා වුණා. තාත්තා තාත්තට නොගැලපෙන වයසේ තරුණ කෙල්ලක් මේ මගේ දූලගේ වයසේ කෙල්ලක් සමඟ විවාහ වුණා. ඒ ගෑනි වෙනත් ආගමක කෙනෙක්. තාත්තාත් ඒ ආගම අදහන්නට වුණා. තාත්තා හිටිහැටියේ අන්ත්‍රා වුණා.

ඒත් තාත්තගේ අවමංගල කටයුතු කළ සංවිධාන කමිටුවෙන් අවසන් චාරිත්‍ර කළේ බෞද්ධ සම්ප්‍රදායට. දැන් තාත්තා කළුපාට ඇඳුමකින් සැරසිලා ඇවිත් අපට හීනෙන් පෙනෙනවා. ඒ අතරේ මගේ චූටි දුවගෙ ඇඟට ඇවිත් කතා කරනවා. අපිට බණිනවා. එයාව බේරාගන්නලු. ඒ වෙලාවට චූටි දුව දඟලනවා. දඟලන්න කලින් එයාම එයාගෙ තාත්තගෙ සරමක් ඇඳලා ඉණට පටියක් බැඳ ගන්නවා. දඟලන නිසා ඒකත් හොඳයි කියා අපටත් හිතෙනවා. මේ වැඩේ නිසා දුවගෙ අධ්‍යාපන කටයුතුත් කඩාකප්පල් වෙනවා. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කළත් ටික දවසයි. නැවතත් හැදෙනවා” කලාකරුවාගේ වැඩිමහල් දියණිය විස්තර කළාය.

බෝධි පූජා විසි එකක් සිදු කොට, දානයක් දී පින් අනුමෝදන් කොට පියා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යවා පිනට දහමට යොමු කරමුයි ඤාණානන්ද හිමියෝ යෝජනා කළහ.

ඒ අනුව සියලු වත් පිළිවෙත් සිදු කොට මේ දැරියගේ ශරීරයෙන් ඉවත් වී අනුරාධපුරයට යන ලෙස නියම කළහ. එහෙත් එය කෙසේවත් ඉටු කරන්නට ඔහු (භූතාත්මය) අකැමැති විය. අවසානයේ ඒ භූතාත්මය සමඟ සාකච්ඡා කොට ඔහු කැමති පල්ලියකට යෑමට පොරොන්දු වී මිණිපිරියගේ ශරීරයෙන් ඉවත්ව ගියේය. උපාදානයක හැටි. දැඩිව අල්ලා ගැනීමේ විපාකය එයයි.

මතුගම

මහින්ද විජේතිලක
http://www.blogger.com/post-create.g?blogID=2351955650202155056

බ්‍රසීලයේ ඇරිගෝගේ භූතාත්මය ලංකාවට ඇවිත්

අපට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට ගමන් බිමන් ඉතා පහසුය. සිතූ සැනින් තමන්ට අවශ්‍ය තැනට ගමන් කිරීමේ ශක්තිය භූත ලෝකයේ බොහෝදෙනෙකුට පිහිටා ඇත. මනසට දැඩිව අල්ලාගෙන සිටින පුද්ගලයන් හා වස්තු සම්පත් කෙරෙහි ආදරයෙන් හා ආශාවෙන් ද තරහ මරහ නිසා පළිගැනීමේ උවමනාවෙන් ද උපාදානා කොට ගෙන සිටින පුද්ගලයෝ මෙසේ භූත ලෝකයේ සැරි සරති.

මේ අතර ඇතැම් භූතාත්මවල ඉපදී සිටින භූතයෝ තමන්ගේ අවශ්‍යතා ඉටුකැර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අවස්ථාවන් ද වරින් වර අසන්නට ලැබේ. ලොව සිදුවන සියලු දේ භෞතික ඇසින් ම බලන්නට පුරුදු වී සිටින වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි සිද්ධීන් පිළිබඳ උඩින් පල්ලෙන් අත ගා උපහාසයෙන් කතා කරති. සමච්චලයට ලක් කරති. එහෙත් දැන් දැන් උගත්තු හා බුද්ධිමත්තු මෙවැනි සිද්ධීන් පිළිබඳ අවධානයෙන් කටයුතු කරයි. ගවේෂණයට යොමු වී සිටිති. සමහර භූතාත්මයෝ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බෞද්ධ රටවලට සංක්‍රමණය වන අවස්ථා ද ඇත. මේ එවැනි කතාවකි.

බ්‍රසීලයේ ජීවත් වූ ඇරිගෝ සාමාන්‍ය ගොවියෙකි. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ පාසලේ තුන්වැනි පන්තියට පමණි. ඔහු පසුකාලයක ඒ රටේ ඉතා ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් ගේ නාමාවලියට ඇතුළත් විය. ඊට හේතු වූයේ ශරීර ගත ගෙඩිවලට හා ඇස් රෝගවලට කිසිම බෙහෙතක් භාවිත නොකොට ගුප්ත ශල්‍ය චිකිත්සාවකින් රෝග සුවපත් කිරීම නිසාය. මේ ගුප්ත ශල්‍ය චිකිත්සාව කොයිතරම් දුරට සාර්ථක හා ජනප්‍රිය වූයේ ද යත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා පවා ඇරිගෝගෙන් ප්‍රතිකාර ගෙන ඇත. මේ ‘ඇරිගෝ’ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ‘ඇරිගෝ’ නමින් අන්තර්ජාලයෙන් ලබාගැනීමට පුළුවන. ඇරිගෝ 1974 හදිසි අනතුරකින් මිය ගියේය.

මේ බ්‍රසීල ජාතික ඇරිගෝ ගේ ගුප්තාත්මය පසුගියදා හිටිහැටියේ ම ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී පෙනී සිටියේය. එහි ගුප්ත ගවේෂණයේ යෙදී සිටින යෝගීන් ඉදිරියේ ඇරිගෝ පෙනී සිටියේ සුදු ඇඳුමෙන් සැරසීගෙනය. දේවාභරණ පැලඳ සිටි ඇරිගෝගේ ගුප්තාත්මය විශාල කරාබු කුට්ටමක් දෙකනේ පැළඳ සිටියේය. පළල් මුහුණකින් යුතු ඔහු තළඑළළු පැහැයෙන් යුක්ත විය.

කසුන් නාගොඩවිතාන මහතා මේ ගුප්තාත්මය සමඟ සාකච්ඡා කරන්නට විය.

”මේ හදිසියේ අප ඉදිරියේ පෙනී සිටින ඔබ කව්ද?”

”මම ඇරිගෝ”

”ඇරිගෝ? ඔබ ලංකාවේද?”

”නැහැ මම ජීවත්වුණේ බ්‍රසීලයේ. 1974දී මරණයට පත්වුණා.”

”කොහොමද මැරුණේ?”

”හදිසි අනතුරකින්”

”ඉතින් ඔබේ තියෙන විශේෂත්වය මොකක්ද?”

”මම බ්‍රසීලයේ ජීවත්ව සිටියදී රෝගීන් සුවපත් කළා”

”ඔබ වෛද්‍යවරයෙක්ද?”

”නැහැ මම ගොවියෙක්”

”ගොවියකු වශයෙන් සිට වෙදකම් කරන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද?”

”එදා ඇරිගෝ නමින් සිටි මගේ ශරීරයට වෛද්‍යවරයකු ගේ ආත්මයක් ආවිශ්ට වුණා. එයයි වෙදකම් කළේ”

”ඉතින් ඔබ දැන් ඉන්නේ කොහේද?”

”අහසේ”

”අද මෙතැනට ආවේ ඇයි?”

”පණිවුඩ කීපයක් දෙන්න තියෙනවා. මම පිහිටකුත් බලාපොරොත්තු වෙනවා”

”ඉතින් මොනවාද අවශ්‍ය. අපෙන් කෙරෙන්න ඕනෑ මොනවාද?”

”බැහැ. මට කෙළින්ම එන්න බැහැ. මම සුදුසු කෙනෙකු මාර්ගයෙන් එන්නම්” යැයි ඇරිගෝ ගේ ගුප්තාත්මය අතුරුදහන් විය.

ඊට පසු දින ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. ඒ මහාචාර්යවරයා පැවසුවේ ඊයේ රාත්‍රි භාවනා කරන විට අපට නොපෙනෙන ලෝකයෙන් ලැබුණු ගුප්ත පණිවුඩයක් නිසා නාගොඩවිතාන මහතා සොයාගෙන පැමිණි බවයි. එහි දී නැවතත් ඇරිගෝගේ පණිවුඩදීම ආරම්භ විය.

ඒ මහාචාර්යවරයා කඩදාසි කීපයක් මත පෑනකින් විස්තර ලියාගෙන ලියාගෙන ගියේය. ඔහුගේ අතට ආකර්ෂණය වූ ගුප්තාත්මය පෑන කඩදාසියෙන් ඉහළට නොඋස්සාම ලියාගෙන ගියේය. අහන ප්‍රශ්නවලට පිළිතුරු ලීවේය.

”මේ ලියන්නේ කව්ද?”

”මම බ්‍රසීල ජාතික ඇරිගෝ”

”ඇරිගෝ ඔබට වෛද්‍ය ප්‍රතිකාර කරන්නට දැනුම ලැබුණේ කොහෙන්ද?”

”දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය එංගලන්තයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වන ජෝන් ස්මිත්ගේ දේවාත්මයෙන්. ජෝන් ස්මිත් ගෙඩිවලට හා ඇස් ලෙඩවලට දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහුට පින් මදිකමක් තිබුණා. ඔහු මා ලවා රෝගීන් සුවපත් කොටැ ඒ පිනෙන් තවත් ඉහළට ගියා.

”ඉතින් ඔහු ඔබව සම්බන්ධ කැර ගත්තේ කොහොමද?”

”ඩොක්ටර් ස්මිත් මා සොයා ගෙන ආවා. ඔහුගේ ඉල්ලීමට මම කැමැති වුණේ් නෑ. මම බැහැ කීවා. මට අමාරුයි මට හිරිහැරයක් කියලා. පසුව මට ඔහුට අවනත වෙන්න සිදුවුණා. ස්මිත් ඔහුගේ අකුසල විපාක මඟහරවා මේ කුසලය මඟින් ඉහළට ගියා”

”හරි, ඇරිගෝ! දැන් ඔබ සිටින තත්ත්වය කොහොමද?”

”මම අකුසල විපාක, කුසල විපාක දෙක ම විඳින කෙනෙක්. වෙලාවකට පහත් මට්ටමේ අමනුස්සයෙක්. වෙලාවකට දෙවි කෙනෙක්. ඒ දිව්‍ය අවස්ථාවේදී තමයි මම ඔබ සොයගෙන ආවේ. මට ආශිර්වාද කරන්න. මට උදව් කරන්න. මේ අකුසල විපාක විඳින දුක්සහගත තත්ත්වයෙන් මිදෙන්න උදව් කරන්න.”

”ඔබ මේ අපේ ලංකාවට ආවේ කොහොමද? අපට සම්බන්ධ වුණේ කොහොමද?”

”මම ආවේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ උදව්වෙන්”

”හොඳයි ඇරිගෝ! දැන් ඔබේ සිත අතීතයට යවන්න. ඔබ බ්‍රසීලයේ ජීවත්වෙද්දී කළ හොඳ වැඩ සිහිපත් කරන්න. ඔබ මිනිසෙකුව සිටියදී දොස්තර ස්මිත්ගේ ගුප්තාත්මය සමඟ ඔබේ ඔය දෑතින් සුවපත් කළ රෝගීන් ගැන සිතන්න. ඒ කුසල් සිත් ගොඩනඟන්න” යැයි උපදෙස් දෙනවාත් සමඟ ඇරිගෝගේ භූතාත්මය දේවත්වයට උසස් විය. එදා ඇරිගෝ බ්‍රසීලයේ සිටියදී ඔහුගේ නූගත්කම නිසා ඔහු අනුන්ට කරුණාවෙන් උදව් කිරීම කුසලයක් බව දැන සිටියේ නැත. ඔහු රෝගීන් සුවපත් කළේ අවිඥාණවකය. හැඟීමෙන් නොවේ. ඔහු සිතා සිටියේ මේ සංසාරය ඉවර නොවෙන ගමනක් ලෙසය.

ගවේෂණ මධ්‍යස්ථානයේ දී මේ අමනුෂ්‍යාත්මයට කරුණු පැහැදිලි කර දුන් විට එය අවබෝධ වී කුසල් සිත් පහළ වී උසස් තැනකට ගියේය.

දැන් ඇරිගෝ දේව සභාවට පණිවුඩ ගෙන යන දේව දූතයෙකි. ආවතේව කරුවෙකි. දැන් ඇරිගෝ ගවේෂණ මධ්‍යස්ථානයට එන රෝගීන් සුවපත් කරන්නට ද උදව් කරයි. දෙවියන් වෙත පණිවුඩ ගෙන ගොස් කුසල් සිදු කැර ගනී.

ලෝකයේ දැන් දැන් ලෙඩ දුක් විපත්, හා වෙනත් විවිධ විපත්, විනාශ ඉහළ යමින් පවතී. ලංකාවේ ද එසේ ම ය. මේ කලියුග කාලයයි. කලියුගයේ දී මිනිසාට විපත් සිදුවන ක්‍රම තුනකි. 1. සොබාවික විපත්, 2. යුද කෝලාහල ඬසා සිදුවන විපත්, 3. අමනුෂ්‍ය විපත් යනුවෙනි. ලංකාවේ යුද කෝලාහල ලේ වැගිරීම් සමඟ අමනුෂ්‍ය විපත් වැඩි විය.

එසේ ම මිනිසා අධර්මරාගී වන විට දෙවියෝ ඉවත්ව යති. අල්ලස, දූෂණය, ජාතික දේපොළ සූරාකෑම, මත්ද්‍රව්‍ය, මත්පැන්, හොර මැරකම්, ඉහළ යන විට දෙවියෝ ඉවත්ව යති. යක්ෂ සේනාධිපතිවරු සිය පිරිවර මුදා හරිති.

මේ අමනුෂ්‍ය විපත් හා මාධ්‍ය මඟින් භූත ලෝකය පිළිබඳ අනාවරණය කරන විට බුද්ධිමතුන් දැන් ඒ ගැන විමසති. පසුගිය මැයි 21 වැනි දින එවැනි උගතුන්ගේ, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සාකච්ඡාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේදී පැවැත්වුණි. ආචාර්ය මහාචාර්ය වරුන් හා ගිහි පැවිදි උගත්තු 100 – 120ක් පමණ මේ සාකච්ඡාවට සහභාගි වූහ.

නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගමගේ සහ ඇතුල්කෝට්ටේ, ගුප්ත ගවේෂක කසුන් නාගොඩවිතාන මහත්වරු ද ඊට සහභාගි වූහ. මේ සාකච්ඡා සභාව පැවතියේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ හිටපු ප්‍රධානී, මහාචාර්ය පී.ඩී.ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.

දැන් ශ්‍රී ලංකාවේ සිදුවන අධර්මරාගී අපරාධ, දූෂණ නිසා සොබාදහම පවා කෝප වී සිටී. ඉදිරියේදී තව තවත් විපාක දැක ගන්නට ලැබෙනු ඇත. ප්‍රතිකාර සොයාගත නොහැකි, නිට්ටාවට සුව කළ නොහැකි, රෝග භය පැතිර ඇත. අධර්මරාගී පාපී සිතුවිලි සෑම ක්‍ෂේත්‍රයකම පාහේ ක්‍රියාත්මකවීම නිසා අමනුෂ්‍ය භය ඉහළ යමින් පවතී. ගං වතුර හා කුඹුරු අස්වනු විනාශවීමත්, දේපළ විනාශයත් නිසා දුර්භික්ෂ භය ද හිස ඔසවමින් පවතී.

මේ තුන් බියෙන් රට බේරා ගැනීම වගකිවයුත්තන්ට බාර කාර්යයකි. අපරාධ, දූෂණ, වංචා හොරමැර, මත්ද්‍රව්‍ය, මත්පැන්, මර්ධනය කරන තුරු පිරිතෙන් පමණක් මේවා පාලනය කළ නොහැකිය. පිරිත් කියන්නෝ ද, අසන්නෝද, සංවිධාන කරන්නෝ ද දැහැමි අවංක සද්භාවී විය යුතුය.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/06/06/_art.asp?fn=aw1006061

මං දුර්වලයි මනුෂ්‍ය ලෝකේදි පින් කළේ නෑ

සතර මහා භූත කොටස්වලින් සකස් වූ, සංසාර ගමනේ දිගින් දිගට ගෙන යන්නා වූ කර්ම ශක්තිය නිසා ඊට ගැළපෙන පරිදි නිර්මාණය කළා වූ ශරීරය අතහැර දමා මරණයේ දී ඉවත් ව යන චිත්ත සන්තානය හෙවත් නාම ස්කන්ධය ඊළඟ භවයේදීත් එසේ ම බොහෝ විට දකින්නට ලැබේ. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් භූතාත්මයක් ලබා සිටින බොහෝ දෙනකු තමන් හඳුන්වනු ලබන්නේ කලින් මිනිස් ආත්මයේ සිටි නමින් ම ය.

එසේ ම ඉපැරැණි සෘෂිවරුන් විසින් සොයා ගනු ලැබූ, අක්ෂර ශක්තියෙන් නිර්මාණය කරන ලද මන්ත්‍ර ශාස්ත්‍රය මේ භූතාත්ම මෙහෙයවන්නට යොදා ගත් උපක්‍රමයක් විය. පැරැන්නෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බොහෝ විස්කම් පෑහ. ලංකාවේ ද කොණ්ඩදෙනියේ හාමුදුරුවන් වැනි ශාස්ත්‍රඥයන් කළ විස්කම් අදද තවමත් සමාජ ව්‍යවහාරයේ පවතී.

කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් තව කෙනෙකුගේ ලෙඩ දුක් සුවපත් කළහ. තවත් පාපී කෙනෙක් ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ම තව කෙනෙකුට ලෙඩ දුක් කරදර ඇති කළහ.

තව කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන කෙනෙකුගේ ශරීරයට, නිවසට හෝ ඉඩමට ඇල්ම ඇති කැර ගෙන සිටින භූතයෙකු පලවා හැරියහ. එසේ ම තව කෙනෙක් භූතයෙකු මන්ත්‍ර බලයෙන් අල්ලා ගෙන ඔහු ලවා වෙනත් කෙනෙකුට ලෙඩ දුක් හානි සිදු කළහ.

මේ අතර එවැනි මන්ත්‍රයක බලපෑමක් නැතිව භූතයෙක් ස්වකීය සිතේ පවතින ඇල්ම නිසා ද, පළි ගැනීමේ අදහසින් තරහ වෛර නිසා ද මිනිසුන්ගේ ශරීරවලට රිංගා ගෙන ද පිටතින් සිට ද හිරිහැර පීඩා පමුණුවති.

මේ ඇතුල්කෝට්ටේ, අලකේශ්වර මාවතේ ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානයේ දී අනාවරණය වූ සිද්ධියකි.

හෙන්රි ලලිත් ගේ මාමා ය. හෙන්රි මිය ගියේ මුහුණේ වම් පස හටගත් පිළිකාවකිනි. ඔහු දැන් සිය බෑණා වන ලලිත් ගේ සිරුරට ආවිශ්ටවෙමින් වරින් වර කටයුතු කරයි. අපි හෙන්රි සමඟ ම සාකච්ඡා කරමු.

“මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ කව්ද?” මම ඇසීමි.

“මම හෙන්රි” ලලිත් ගේ මුවින් පිට වෙයි.

“ඇයි හෙන්රි මේ ලලිත්ට හිරිහැර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නෑ. මේ ළමයා හොඳින් ඉගෙන ගෙන දියුණු වෙනවාට ඊර්ෂ්‍යාවෙන්, මේ ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර කෙනෙක් මේ ළමයට විනයක් කළා. මම මේක දැක්කා. වෙනත් භූ®තයෙක් මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරයි කියා මට හිතුණා. ඒ නිසා වෙනත් ප්‍රේතයෙක් රිංගා ගන්න කලින් මම මේ ළමයගෙ ශරීරයට රිංගා ගත්තා. මම තරහකට ඊර්ෂ්‍යාවකට නොවෙයි ආදරේටයි රිංගා ගත්තේ.”

“ඒ වුණාට මේ හැසිරීම හිරිහැරයක්නෙ”

“මට කරන්න දෙයක් නෑ. මේ අපේ ස්වභාවය”

“හෙන්රිගේ ස්වභාවය, හෙන්රි ගේ තත්ත්වය මොකක්ද?”

“මට තේරෙන්නේ නෑ”

“ප්‍රේතයෙක් නේද?”

‘මට තේරෙන්නේ නෑ”

“ඇයි? නොතේරෙන්නේ?”

“මම දුර්වලයි, මනුස්ස ලෝකෙ ඉන්දැද්දි පින් දහම් කළේ නෑ”

“ඇයි එහෙම වුණේ?”

“මහත්තයා! මම කටයුතු කළේ එදා වාමාංශික නායකයොත් එක්ක. එදා මගේ ළඟ තිබුණෙ කොමියුනිස්ට් ධර්මය. බුද්ධ ධර්මය නොවෙයි. අපේ ධර්මයෙන් එදා අපි කිව්වෙ ධනවතුන් භංග වේවා කියලා. අපි එදා යමක් කමක් තියෙන අයට වෛර කළා. ඊර්ෂ්‍යා කළා. ඔවුන් භංගවේවා කීවා. බුද්ධ ධර්මයට අනුව දාන - ශීල - භාවනා කළේ නෑ.”

“කව්ද? ඔබ ආශ්‍රය කළ වාමාංශික නායකයෝ?” මම හෙන්රිගේ භූතාත්මයෙන් ඇසීමි. ඔහු මිය ගිය පැරැණි වාමාංශික නායකයන් කීප දෙනෙකුගේ නම් සඳහන් කළේ ය.

“දැන් ඔවුන් ඉන්නේ කොහේද?”

“දන්නේ නෑ. මම දුර්වලයි. මට ඒ අය ගැන දැන ගන්න තරම් ශක්තියක් නෑ.”

“හෙන්රි! ධනවතුන් බොහෝ දෙනෙක් ඔය වගේ ම ධර්මානුකූ®ල නොවී සේවකයින්ගේ ශ්‍රමය සූරා කමින්, ඊටත් වඩා බලවතුන් අල්ලා ගෙන රාජ්‍ය දේපළවලින් අසාධාරණ විදිහට ප්‍රයෝජන ගන්නවා. දූෂිත විදිහට අයුතු ලාභ ලබනවා. උන් ලෞකිකව සැප විඳිනවා. ඒක ඇත්ත. ඒ උන් ඉස්සර පින්වලට. මෝහය නිසා සාධාරණ නොවී අසාධාරණකම් කර ඊළඟට අපා ගත වෙනවා. අපේ අයත් උන්ට ඊර්ෂ්‍යා කර, වෛර කර, ඒ ද්වේෂ සහගත සිතුවිලි වලින් මැරී අපාගත වෙනවා. දැන් හෙන්රිටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් හිතේ තරහ මරහ තියාගන්න එපා. දැන් හිත පින් දහම්වලට යොමු කරන්න.” මම ඔහුට උපදෙස් දුනිමි.

“ඒක තමයි මම උත්සාහ කරන්නේ, මේ ළමයාගේ ඇඟට වෙලා එහෙම පිනකට දහමකට උදව් වෙන්න ඕනෑ. ඒත් මේ ගොල්ලො මාව ඉවත් කරන්න හදනවා.”

“ඒ කව්ද?”

“අර මහත්තයා” යැයි තිසර නාගොඩවිතාන මහතා පෙන්වයි.

“හෙන්රි! අපි හදන්නේ ඔයාව කළු දේවතාබණ්ඩාර දෙවියන් ලවා ජය ශ්‍රී බෝධීන් වහන්සේ ළ¼ඟට යවන්න. එතකොට පුළුවන් හෙන්රිට පිනට දහමට යොමු වෙන්න.

අනුන් කරන පින්කම් දැකලාවත් සතුටුවෙන්න. එතැන දෙවියන් ගේ ආවතේව කටයුතුවලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නැ’යි තිසර නාගොඩවිතාන මහතා විස්තර කළේ ය.

“ඔව්! මම කැමැතියි, ඒත් මේ ළමයව ආරක්ෂා කර ගන්නත් ඕනෑ.”

“දැන් හෙන්රි ළඟ, හෙන්රිගෙ ආශ්‍රයේ වෙන කවුද ඉන්නේ?” යි මම ඇසීමි.

“මම දන්නේ නෑ. මම දුර්වලයි”

“වෙන කවුරුන් ගැනවත් දන්නේ නැද්ද?”

“තාත්තා ගැන දන්නවා”

“මොකක්ද තාත්තාගෙ නම?”

“කරෝලිස්”

“දැන් කරෝලිස් මෙතැන ඉන්නවාද?”

“නෑ එයා මැරිලා... තාත්තා ඉන්නේ සිරීපාද අඩවියේ”

“තාත්තා සිරීපාද අඩවියේ මොනවාද කරන්නේ?”

“දන්නේ නෑ. තාත්තා ඉන්නේ සුමන සමන් දේවතාවුන් වහන්සේ ළඟ.”

“තාත්තා ඒ තත්ත්වයට ගියේ කොහොමද?”

“තාත්තා අපි වගේ නොවෙයි. පන්සල් ගියා. පින් දහම් කළා. සිල් සමාදන් වුණා. දුප්පත් අයට උදව් කළා. ඒ නිසා තමයි එයා ඒ තත්ත්වයට ගියෙ. මම දේශපාලන අදහස් නිසා නිතරම සිතේ ගොඩ නැඟුවේ වෛරී සිතුවිලි. ඒ නිසා දැන් දුක් විඳිනවා. මේ ළමයා පින් දහම් කරන නිසා මෙයා මාර්ගයෙන්වත් මේ අපා දුකෙන් මිදෙන්න හිතා ඉන්නවා.”

“හොඳයි, හොඳයි, දැන් හිත හදාගන්න. පාපී සිතුවිලි අත හරින්න. ලලිත් දානයක් දී පින් අනුමෝදන් කරාවි. ඒ පින් ලබාගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යන්නැ’යි නාගොඩවිතාන මහතා පැවසීය.

මෙයින් අපට පැහැදිලිවන්නේ තම තමන් දෘෂ්ටි ගතවන ආකාරය අනුව සිතේ පැල පදියම් වන අල්ලා ගැනීම්, සංසාර ගමනට ඉවහල් වන ආකාරයයි. මාක්ස්වාදයේ ආරම්භකයින්ටත් ආරම්භක ළමා තරුණ වයස්වල බුදු දහමේ ආභාෂය ලැබුණා නම් ඔවුන් ද දස රාජධර්මයට අනුව සාර්ථක වැඩපිළිවෙළකට පට වඩා වෙනස්ව ක්‍රියාත්මක වෙන්නට තිබුණි.

ඉන් පසුව බිහිවූ දෙවැනි තුන්වැනි පෙළ නායකයෝ දුප්පත් වූ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූ මිනිසුනට ඉගැන්වූයේ ද්වේෂය මිශ්‍ර වූ ක්‍රමයකි. එයින් ධනවත්හු බලවත්හු තව තවත් ස්ථාවර වූහ. දැනුදු එසේ ම ය.

වර්තමානයේ ද තමන්ගේ ගොඩ වැඩි කැර ගැනීම එම අධිෂ්ඨානය කොට ගත් ප්‍රධානීහු දුප්පතුන් රවටමින් උපායශීලීව කටයුතු කරති. එහෙත් අවසානයේ අපා ගත වෙති.

හෙන්රිගේ පියා සාමාන්‍ය සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩී ගමේ පන්සල ආශ්‍රය කරමින් පින් දහම් හි යෙදෙමින් හොඳ නරක තෝරා බේරාගෙන ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා දැහැමිව ජීවත්ව මරණයට පත් වූයේ ය.

හේ ශ්‍රී පාද අඩවියේ දේවතාවෙකු වී ඉපැදුණේය. ඔහුගේ පුතා හෙන්රි දියුණු යැයි කියා ගන්නා සමාජ පරිසරයක් තුළ වැඩ කරන ජනතාව ඇසුරු කරමින් සමාජ අසාධාරණය ජය ගැනීම සඳහා ඇති නැති අයට වෛර කරමින් කටයුතු කළේය.

ඒ පිරිසක් සමඟ සංවිධාන වූ අදහස්වලින් දවස පුරා චිත්ත සන්තාපය කිලිටු කැර ගැනීමේ ආදීනවත්වයෙන් අද ප්‍රේතාත්මයක් ලබා දුක් විඳී.

වර්තමානයේ ද එසේම ය. පක්ෂ දේශපාලන ක්‍රමය නිසා එකම බඩවැල කඩා ගෙන උපන් තමන් ගේ ම සහෝදරයා සමඟ ද ගැටෙති. බලය හා තනතුරු සඳහා එක ම පක්ෂයේ අය ද ඇන කොට ගනිති. ගහ මරා ගනිති. මෙයින් වැඩි දෙනෙක් මරණයෙන් මතු ප්‍රේතාත්මවල ඉපිද අනන්ත දුක් විඳිති. නයි පොළගුන් වී උපදිති.

කසල ගොඩවල කුණකටුවන් වී උපදිති. මෑත ඉතිහාසයේ එසේ මිය ගිය දේශපාලනඥයකු ගේ ආත්මය අද දුක් විඳින ආකාරය “මන්ත්‍රී ප්‍රේතයා හා භූතයෝ’ නමින් අප ලියූ පර්යේෂණ ග්‍රන්ථයෙහි සවිස්තරව දත්වා ඇත.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/06/20/_art.asp?fn=aw1006201

ඔය පෙට්ටගම මට එපා උඹලා ඕක විකුණගෙන කාපල්ලා

කෙනෙක් තමන්ගේ ගේ දොර ඉඩකඩම්වලට දැඩි තණ්හාවෙන් බැඳී සිටියහොත් මරණයෙන් පසු අනිවාර්යයෙන් ම එම වස්තු ඇසුරු කොට ගෙන ම දුගතිගාමීව උපදිති. මෙහි දී “බැඳී සිටීම” යනු සිතේ හට ගත් දැඩි බැඳී මයි. එය “උපාදාන” ලෙස බුදු දහමේ සඳහන් වෙයි.

1950 දශකයේ වයස් ගතව මිය ගිය මිත්තණියක ගේ භූතාත්මයක් පිළිබඳ ගවේෂණයක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඊට හේතු වූයේ ඒ ගෙදර කාලයක් තිස්සේ තිබුණු පෙට්ටගම දැඩි මිලකට පරණ බඩු එකතු කරන්නෙකුට විකුණන්නට තීරණය කිරීමයි. ඒ ගැන ගෙදර අය සාකච්ඡා කරද්දී මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වූවාය.

එහි දී අනාවරණය වූයේ රසවත් කතාවකි. ඒ මිත්තණිය විවාහ වීමට පෙර ළමාවියේ දී ම ගමේ රාලහාමි කෙනකු ඇසුරු කොට තිබුණි. ඇය වැඩිවිය පත් උත්සව දවසේ මේ රාලහාමි ද පැමිණ මගුල් කා ඇගේ මවට තෑගි බෝග දුන්නේය. මේ අතර කිසිවකුට නොපෙන්නට ඇයට යමක් තෑගි දුන්නේ ය. ඇය කිසිවකුටත් නොපෙනෙන්නට මේ තෑග්ග සඟවා ගෙන ආරක්ෂා කළාය.

පසු කලෙක මේ නිවසේ කෙනෙකු සමඟ විවාහ වී පැමිණෙන විට ද ඒ ආදරණීය තෑග්ග ඇය සඟවා ගෙන ආවා ය. ඇය වයස් ගත වූ විට බුලත් හැපීම සඳහා භාවිත කළ බුලත් හැඹිලියේ එය සඟවා ගෙන, නිතර තමන් ළඟ තබා ගෙන සිටියාය. ඇය විසින් ම ඉඳිකොළවලින් වියා ගන්නා ලද මේ හැඹිලියේ ඇතුල් පැත්තේ සාක්කුවක් සකස් කොට ඒ තෑග්ග එහි සඟවා මසා තිබුණි.

එදා ඇයට එම තෑග්ග දුන් රාලහාමි පසු කලෙක තමන් ගේ ඉඩකඩම් දේපොළ තම ළමාතැනීට හා දූ දරුවනට පවරා, එක් ඉඩමක් හා කුඹුරක් පන්සලකට පූජා කොට, එහිම පැවිදිව බණ භාවනා කොට අපවත් වී ඇත.

රාලහාමි පැවිදිව අපවත්වීම පිළිබඳ මේ මිත්තණියට ආරංචි මාත්‍රයක් පවා ලැබුණේ ද නැත. එයිනුත් අවුරුදු හැත්තෑවකට පමණ පසු මේ මිත්තණිය මිය ගියාය. ඇගේ පැරැණි ඇඳුම්, කංහැන්ද හා හුණු කිල්ලෝටය සහිත බුලත් හැඹිලිය ද මේ පෙට්ටගමේ පරණ රෙදි කඩමාලු අතර කාලයක් තිස්සේ තිබිණි.

මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වීමෙන් එය අනාවරණය වූයේ මෙසේ ය. “ඔය පෙට්ටගම උඹලා විකුණාගෙන කාපල්ලා. මට ඒකෙන් කාරියක් නෑ. ඒක උඹලගෙ මුත්තණ්ඩිගෙ පෙට්ටගමක්. මගේ ඒකට ආශාවක් නෑ. ඒ වුණාට ඔය පෙට්ටගමේ මගෙත් වටිනා වස්තුවක් ඇති.”

“ඒ මොකක්ද අත්තම්මේ?” ඇගේ මුණුපුරෙකු ඇසුවේ ය.

“පෙට්ටගම ඇරපල්ලා මං පෙන්නන්න” ඇය ආවිශ්ටව සිටි දැරිය කීවාය.

නිවසේ අය පෙට්ටගම විවෘත කොට ඇයට ඉඩ දුන්හ. “මේක මගේ නෙවෙයි. මේක මගේ නෙවෙයි” කියමින් එහි තිබු පරණ ඇඳුම් එකින් එක ගෙන පෙට්ටගමෙන් ඉවතට දැමුවාය. “ආ... උඹලගෙ මුත්තගෙ පට ලේන්සුව... හිඞ... හිඞ... හිඞ...” යැයි ඒ වන විට කාවුන් විසින් කා දමා තිබුණු පරණ පටලේන්සුවක් ද හිනාවෙමින් ඉවතට දැමුවා ය. “මගේ හැට්ටෙ... මගේ චීත්තෙ...” යැයි කියමින් ඒවා ද ඉවතට දැමුවා ය. මේ අතර තිබූ කුඩා බුලත් හැඹිලිය දැක මහත් ආසාවෙන් එය අතට ගෙන පපුවට තද කැර ගත්තා ය.

“මේන්න මගෙ වස්තුව“

“ඔය මොන කෙහෙල්මලක් ද? පරණ හැඹිලි කබලක්නෙ” මුණුපුරා සිනාසුණේය.

“අනේ! මෝඩයෝ උඹ දන්න කෙහෙල්මල. හීඞ... හීඞ... හී...” යි ඇය නැවතත් හැඹිලිය තුරුලු කැර ගත්තා ය.

“කෝ... බලන්න...” යැයි එය උදුරාගත් මුණුපුරා හැඹිලිය විවෘත කැර බැලුවාය. එහි තිබුණු රිදී කංහැන්ද ගෙන “ආ... මහ ලොකු වස්තුව“ යැයි දැරිය අතට දුන්නේය.

“මට එපා. මේක මට වැඩක් නැහැ” යැයි මේ වන විටත් රුපියල් දෙතුන් සියයක රිදී වටිනාකමක් ඇති කං හැන්ද ඇය ඉවතට විසි කළාය.

“ආ... එහෙනම් මේක” යැයි හුණු කිල්ලෝටය ඇයට දුන්නා ය. “ඒක උඹ තියා ගනිං” යැයි ඉදිරියට පැන්න ඇය ඔහුගෙන් හිස් හැඹිලිය උදුරා ගෙන නැවත තුරුලු කැර ගත්තා ය.

ඉන් පසු මෙසේ ආවිශ්ටව සිටි දැරිය එම හැඹිලිය සිය ගවුමට යටින් තන පටයේ සඟවා ගෙන හඬ හඩා ඇඳට ගොස් නින්දට වැටුණා ය.

මේ පාසල් දැරියට හිටි හැටියේ කඩා පාත් වූ භූත උවදුර කුමක්දැයි පවුලේ උදවිය සාකච්ඡා කරන්නට වූහ. එදින ම හැන්දෑවට ගමේ පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා හාමුදුරුවන් ලවා පිරිත් ටිකක් කියවා ගෙන එමු යි මෑණියන් කළ යෝජනාවට පියාත් පුත්‍රයාත් කැමැත්ත දුන්හ.

“ඔව්! ඔව්! ඒක හොඳයි. බොහොම හොඳයි.” නින්දේ සිටි දැරිය හීනෙන් මෙන් හඬ නඟා කියන හැටි ද ඔවුනට ඇසුණි.

කතා කැර ගත් පරිදි එදින හැන්දෑවේ මේ පවුලේ අය දැරිය ද සමඟ පන්සල් ගියහ. විහාරාධිපති හාමුදුරුවෝ ම පැමිණ බෝධි පූජාව පවත්වා සෙත් පිරිත් දේශනය ආරම්භ කරන විට ම දැරිය වෙව්ලා ආවිශ්ට විය.

“මොකද මේ? කව්ද මේ ළමයට හිරිහැර කරන්නේ?” හාමුදුරුවෝ ඇසූහ.

“හාමුදුරුවනේ! මම මුතු මැණිකෙනෙ. ඔබ වහන්සේට මාව මතක නැද්ද?”

“මොකද මතක නැත්තෙ? මට උපාසකම්මව හොඳට මතකයි.”

“ඔව්! ඔව්! ඔබ වහන්සෙ මං මැරිච්ච දවසෙ පාංශුකූලෙටත් වැඩියනෙ. මටත් මතකයි. හැබැයි ඉතින් ඔබ වහන්සෙ එදා වැරැදි වැඩකුත් කළා. නේද!” ඇය හිනාවෙමින් පැවසුවාය.

තරමක් කලබලයට පත් හාමුදුරුවෝ ඒ බව නොඅඟවා හෙමින් සැරේ “ඒ මොකක්ද උපාසකම්මේ?” යි ඇසූහ.

“ඇයි? මතක නැද්ද? ඔබ වහන්සෙ මගෙ මිනිය ඉස්සරහින් තියා ගෙන මගේ දූලා පුතාලගෙ ගුණ වරුණෙම නෙ දේශනා කළේ, මගේ ගැන ඩිංගයි නෙ කීවෙ. මම ඔය පන්සලට වස් පිංකම්වල දී කඨින සිවුරුම හයක් පූජා කරල තියෙනවා අවුරුදු හයකදී. ඝංඨාර කුලුන හදන්න වැඩියෙන්ම උදව් කළේ මම. මම ලෙඩ්ඩුන්ට කොයි තරම් උදව් කරල තියෙනවද? ගමේ නාන ළිඳ හදන්න සිමෙන්ති අරන් දුන්නෙ මම. ඉතින් හාමුදුරුවනේ. ඒ වගේ පිංකම් මතක් කරනවා නම් මළගිය ප්‍රාණකාරයා සතුටුයි. ඒවා ඇහෙන කොට පින් සිතුවිලි ගොඩ නැඟෙනවා. දූ දරුවන්ගෙ ගුණ කිව්වාට කමක් නැහැ. ඒත් වැඩිපුර මතක් කරන්න ඕනැ මැරිච්ච පුද්ගලයා කරපු හොඳ වැඩ. එදා මගේ පාංශුකූලෙ දෙන වෙලාවෙ මමත් එතනට ආවා. මමත් අහගෙන හිටියා. හත් දවසෙ බණ අහන්නත් ආවා. ඒත් මට මතක් වුණේ මේ හැඹිල්ල මයි.” කියමින් පපුවට දෑත් තබා තද කැර ගත්තා ය.

“කෝ දෙන්න අම්මේ ඔය හැඹිල්ල. ගන්න ඕක එළියට. මොකක්ද ඔය හැඹිලි කබලට තියෙන තණ්හාව?” පුතා කීවේ ය.

“උක්කු බණ්ඩෙ උම, කෑ නොගහ හිටපං. උඹ පුදුමයි අද පන්සල් ආව එකත්. ඇයි පලයං වෙනදා වගේ කසිප්පු පොළට. කෙල්ල අසනීප වෙයි කියල බයට අද නම් පන්සල් ආවා නේද?” යි දැරිය පියා දෙස ඔරවා බැලුවා ය. පියා නිහඬ විය.

“කෝ මට දෙන්න උපාසකම්මෙ බලන්නැ” යි හාමුදුරුවෝ ඉල්ලූහ.

“හා... දෙඤ්ඤං... දෙඤ්ඤං...” යැයි දැරිය හැට්ටය අස්සට අත දමා සඟවා තබා ගෙන සිටි හැඹිල්ල එළියට ගෙන දෝතින් ම හාමුදුරුවන් අත තැබූහ.

“මොකක්ද උපාසකම්මෙ මේ පරණ හැඹිල්ලක් නෙ” යි හාමුදුරුවෝ ද පැවසූහ.

“මෙහෙට දෙන්න මම ඕකෙ වටිනාකම පෙන්නන්න” යැයි හැඹිල්ල ආපසු ඉල්ලා ගත්තා ය.

සියලු දෙනා ම බලා සිටිය දී හැඹිල්ල ගෙන එය ඇතුළට ඇඟිලි දමා ඬයපොත්තෙන් ඉරුවා ය. “හීඞ... හීඞ... හී.... මේන්න මගේ වස්තුව“ යැයි රන් පවුමේ කාසියක් ආඩම්බරයෙන් පෙන්නුවා ය.

“කෝ බලන්න” යැයි එය ඉල්ලා ගත් හාමුදුරුවෝ “ඔව්! ඔව්! බොහෝ ම වටිනවා. විලිසියානු රත්තරන් පවුමක්” යැයි කීහ.

“ඔව්! ඔව්! රුපියල් පනහක් හැටක් වටිනවා” ඇය කීවාය.

“නෑ... නෑ... උපාසකම්මෙ ඒ ඒ කාලෙ. දැන් ඕක රුපියල් තිස් හතළිස් දාහක් වටිනවා” යි හාමුදුරුවෝ පැවසූහ.

“මම මේක පන්සලට පූජා කරනවා. ඕක විකුණලා පොරෝජං වැඩක් කරන්නැ” යි ඇය කීවා ය.

“බොහොම හොඳයි. උපාසකම්මෙ අපි ඒ මුදල් වලින් පන්සල් ගේ රෙපයාර් කරන්නං. එහෙම කරලා උපාසකම්මට පිං අනුමෝදන් කරන්නම්.”

“එපා... එපා... ඒවට වියදම් කරන්න එපා. අර පන්සල් ගෙයි වයස්ගතව වැඩ ඉන්න නායක හාමුදුරුවන්ට, ඔව්! අසනීපෙන් ඔත්පලව ඇඳට වැටිලා ඉන්න නායක හාමුදුරුවන්ට හොඳ දොස්තර මහත්තැන් කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න. හොඳ හොඳ පෝසනේ තියෙන විටමිං ආහාර අරන් දෙන්න. පස්සෙ නෙවෙයි, දැන් පිං අනුමෝදන් කරන්න. මට විතරක් නොවෙයි. අපේ ගමේ හිටපු ආරච්චිල මහත්තැන්ටත් පිං අනුමෝදන් කරන්නැ” යි පවුමේ කාසිය ගරු සරු ඇතිව දෝතින් ම පූජා කොට මහ හඬින් සිනා සී” සාදු සාදු සාදු” යි කීවා ය.

දැරිය හොඳින් දෑස් ඇර පුදුමයට පත්ව වට පිට බලා පියවි සිහියට එළැඹුණා ය.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/06/27/_art.asp?fn=aw1006271
මවට පහර දුන් වරදට දඬුවම දෙපැයෙන්

“අපරාධය” යන වචනය අර්ථ ගැන්වෙනුයේ වරද - නොකටයුතු දේ - නීති විරෝධි ක්‍රියාව - නීතියෙන් දඬුවම් කළ හැකි දෙය යනුවෙනි. “අපරාදේ” යන වචනය අර්ථ දක්වනුයේ නිකරුණේ - හේතුවක් නැතිව - යන අදහස් දැක්වීමට ය. මෙහි දී “අපරාධය” පිළිබඳ සලකා බලන විට වරද සහ නොකටයුතු දෙය ප්‍රධාන වේ. එය සමාජ සම්මතයෙන් සම්ප්‍රදායයෙන් හා සංස්කෘතියෙන් නොකටයුතු දෙයක් ලෙස තීරණය කොට ඇත. එසේ තීරණය වූ විට එවැනි දෙයක් සිදු කරන පුද්ගලයා ගෙන් බාහිර පුද්ගලයන්ට හා සම්පත්වලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා එය නීතියෙන් දඬුවම් කළ හැකි දෙයක් ලෙස තීන්දු කොට පාලකයෝ නීති රීති සකස් කරති. ඒ සඳහා දඬුවම් නියම කරති. මේ දඬුවම් නියම කිරීමේ දී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ඒ පුද්ගලයා තුළ ඒ අපරාධය සිදු කිරීමට පහළ වූ චේතනාව යි. “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද චේතනාව ම කර්මය වශයෙන් සලකා ගෙන ය.

මෙහි දී කෙනෙකුගේ සිතේ අපරාධ චේතනාවක් පහළ වනුයේ ලෝභය - ද්වේෂය යන දෙකෙන් එකක් මෝහය සමඟ මිශ්‍ර වීමෙනි. කෙසේ නමුත් අපරාධයක් ක්‍රියාත්මක වීමේ දී ද්වේෂය ප්‍රධාන වෙයි. ඒ අපරාධය තවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට වේදනාවක්, පාඩුවක්, හිරිහැරයක්, හානියක් සිදු කරයි. එසේ ම විශ්ව ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව එම අපරාධ චේතනාව හටගත් පුද්ගලයාට ද අනිවාර්යයෙන් ම ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රතිවිපාකයක් ලබා දෙයි. එය තීන්දු වන්නේ සිතේ හටගන්නා චේතනාවේ ප්‍රබලතාවය අනුව ය. කර්මයකට විපාක දීම ඊට සුදුසු අවස්ථාවේදී විශ්ව ශක්තීන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මිනිසා ගේ සිතෙන් නිකුත් කරන කුසල හා අකුල ශක්ති තරංග විශ්ව සන්නායක ජාලයක් ලෙස විශ්වය පුරා පැතිර පවතී. එහි අසීමිත තොරතුරු ගැබ් වී ඇත. කුඩා බිස්කට් එකක කොතරම් තොරතුරු රාශියක් ඇතුළත් කළ හැකි ද යන්න පරිගණක තාක්ෂණය යම්තමින් හෝ දන්නා කෙනෙකුට වටහා ගත හැකි ය. එසේ නම් විශ්වය පුරා පැතිර ඇති, ඊටත් වඩා සියුම් දෙයක ඇතුළත් විය හැකි ප්‍රමාණය සිතා ගත හැකි ය. එසේ ඇතුළත් වන ශක්ති ෂ;ශ්ෂයන් ගේ අඩංගු තොරතුරු අනිකුත් දේ සමඟ මිශ්‍ර නොවී තමන් කරා ම පැමිණීම අද පුදුමයට කාරණයක් නොවේ. සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයකින් ගුවනට නිකුත් වන කථා හෝ රූප වෙනත් කථා හෝ රූප සමඟ මිශ්‍ර නොවී නියමිත චැනලයෙන් සම්පේ‍්‍රෂණය කළ විට එසේ විවෘත කළ චැනලය කරා ම පැමිණෙන හැටි අද දුකතනය, රූපවාහිනිය හා පරිගණකය (අන්තර්ජාල) සමඟ කටයුතු කරන අයට වටහා ගත හැකි ය.

මිනිසා ගේ මොළයෙන් උපදවනු ලබන චේතනා තරංග මේ සෑම තරංගයකට ම වඩා සියුම් ය. තියුණු ය. මිනිසා ගේ සිතෙන් නිකුත් වන චේතනා තරංගවල විවිධත්වය පවා අද නිර්ලියන් ඡායාරූප ක්‍රමයෙන් ඡායාරූප ගත කැර ඇත. කෙනෙකු වෛරයෙන් සිටින වේලාවේ ඒ ආවේගයේ ශක්ති තරංගවලත්, මෛත්‍රී සහගතව සිටින වේලාවේ ඒ ශක්ති තරංගවල වෙනසත් ඒ ඡායාරූප සටහන්වලින් දැක ගත හැකි ය.

බුදු දහමට අනුව මිනිසා විසින් සැලසුම් කොට හෝ ක්ෂණිකව සිතා මතා කරනු ලබන ක්‍රියා කර්මයක් ලෙස ක්‍රියාත්මක වීමේ දී එය අරමුණු කොට උපදින සිතුවිලි ධාරාව පිටතට විකිරණය වේ. එය විශ්ව සන්නායක ජාලයට පිවිස තැන්පත් වේ. එය පසු අවස්ථාවක එය නිකුත් කළ ඒකකය වන ඒ මිනිසා කරා ම ආපසු ගමන් කරයි. එසේ නැවත ආපසු විකාශනය වීම කර්ම විපාකය ලෙස හඳුන්වයි. මිනිසා විසින් සසර දිගින් දිගට ගෙන යන “මම” ය, “ආත්මය” ය යැයි සිතා සිටින උපාදානස්කන්ධ සංයුතිය මේ චේතනා තරංග හා සම්බන්ධය. එය චේතනා තරංගවලට ද වඩා සියුම් ය. එයට ද ගමන් මාර්ග වන්නේත්, සම්බන්ධව පවතින්නේත් මේ සන්නායක ජාලය ම විය හැකි ය. මේ ඉතා සියුම් ශක්ති විශේෂයන් බැවින් අප ද ඉතා සියුම්ව කල්පනා කැර බැලිය යුතු ය.

පුද්ගලයා විසින් ස්වකීය ජීවිතය තුළ දී සිය උපාදානාස්කන්ධ සන්නතියට එකතු කැර ගන්නා, මිශ්‍ර කැර ගන්නා, පින් පව් හෙවත් යහපත් අයහපත් ක්‍රියා පුරුදු ද අත්දැකීම් ද එම උපාදානස්කන්ධ සංයුතිය සමඟ ම ගමන් කැරේ. මෙසේ උපදවන කර්ම චේතනා තරංග ලෙස නිකුත් වී විශ්ව සන්නායක ජාලයට පිවිස ඒ ජීවිත කාලයේ දී ම ආපසු පැමිණ විකාශය වේ. මෙය “දිට්ඨධම්මවේදනීය” විපාකය ලෙස නම් කොට ඇත.

මිනිසා අපරාධයේ දරුණුතම හා ඊට ලැබෙන ප්‍රතිවිපාකය දන්නවා නම් කිසි දවසක වැරදි කරන්නේ නැත. මිනීමැරුමක් නොවුණත්, බල අපරාධයක් ලෙස නීති පොත්වල සඳහන් නොවුණත්, සිතේ හට ගත් දරුණු ආවේගය පිට කැර ගැනීම සඳහා කලින් සැලසුම් නොකළා වූ ද එහෙත් සොබා දහම කම්පාවට පත්වන අයුරින් ක්ෂණිකව සිදු කළ වරදකට පැය කීපයක් ඇතුළත විපාක විඳීමට සිදු වූ කතාවකි මේ. විශ්ව ශක්තිය විසින් ක්ෂණිකව දඬුවම් කළ අවස්ථාවකි. දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයකි.

සරත් කුඩා කල ම ඔහු ගේ පියා හදිසි අසනීපයකින් මිය ගියේය. වෙනත් නෑදෑයෙකු ගේ උදව්වක් නොලැබුණ ද, නෑදැයින් සිටියත් ඔවුන්ට ද ඒ තරම් හයියක් නොතිබුණු නිසා ද සුමනාවතී කාටවත් අතපාන්නට ගියේ නැත. කඩයප්පන් ටිකක් තම්බා ගමේ කඩවලට දැමීමෙන් ද, බීඩි කොම්පැණියෙන් කොළ ලබා ගෙන බීඩි ඔතා ඒ කොම්පැණියට ම දීමෙන් ද පනං හතරක් උපයා ගත්තේ පොඩි එකා හදා වඩා ගැනීමේ උවමනාවත් ධෛර්යයත් නිසා ම ය.

පොඩි එකා ඉස්කෝලයට ඇතුළත් කිරීමත් සමඟ සුමනාවතීට වියදම්, අමාරුකම් ඉහළ ගියේ ය. ඒ සමඟම 71 කලබල කාලයේ බීඩි කොම්පැණිය ද වසා දමනු ලැබිණි. එයින් අධෛර්යමත් නොවූ සුමනාවතී ගල් වළේ ගල් කඩන්නට ගියාය. සුමනාවතී මෙසේ දහදුක් වින්දේ සරත් ගේ දෑස් පාදා උස් මහත් කොට මනුස්සයෙක් කිරීමට ය.

එහෙත් සරත් ඉගෙනුමට ඒ තරම් උනන්දුවක් නොදැක් වූ අතර පාසල ඇරී ගෙදර ආ හැටියේ කොල්ලන් සමඟ කෙළි සෙල්ලමට ගියේය.

ගෙදර දී පොතක් අතින් ඇල්ලුවේ නැත. දෑත්වල කරගැට නැගෙන තුරු ගල් වළේ ගල් කඩා හැන්දෑ වී ගෙදර එන සුමනාවතී කොලුවා ගේ කුස පුරවන්නට යමක් තම්බා කන්නට දී කුස්සියේ වැඩ අවසන් වන විට ඇගේ අතේ පයේ රුදාව, ඇඟේ මහන්සිය විසින් ඇය පැදුරු කඩමාල්ල මතට තල්ලු කරනු ලබයි. සරත්ට ගෙදර දී අමතර ඉගැන්වීමක් කැරවීමට හෝ පාසලේ වැඩ කටයුතු ගැන හොයා බැලීමට පවා ඇයට නුපුළුවන් විය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සරත් අධ්‍යාපනයට ආයුබෝවන් කියා ගමේ කොලු රැළට එකතු විය. ඒ සමඟ ම දුම්පානයටත්, සුරා පානයටත් පුරුදු විය. ගමේ පෙදරේරුවකු වූ පියසේන බාස් උන්නැහේ තමන් ගේ අත්වැඩ කාරයා වශයෙන් සරත් කැඳවා ගෙන ගියේ දිනපතා හැන්දෑවට නියමිත කුලිය ද ලබා දුන්නේ ය. මුලදි මුලදී තමා උපයන මුදලින් සොච්චමක් හැන්දෑවට අම්මාගේ අතේ තැබුව ද පසුව ඒ හැම සතයක් ම මත්පැනට ම වියදම් කළේ ය. පියසේන බාස් ද ගෝලයාට අවවාද උපදෙස් දුන්නත් සුරාපානයෙන් සරත් වළක්වා ගන්නට ඔහුට ද නොහැකි විය.

මේ අතර පියසේන බාස් ගේ නැගණිය ලලිතා සමඟ සරත් ගේ ඇයි හොඳයියක් ගොඩනැගී තිබුණි. සරත් ගේ හැටි දන්නා නිසා ම පියසේන බාස් මේ සම්බන්ධයට විරුද්ධ විය. එයින් ම සරත් ඔහු සමඟ අමනාප වී වැඩට යෑම ද අත් හළේ ය. සරත්ටත් ලලිතාටත් වෙනදා මෙන් මුණ ගැසී ඇයිහොඳයිකම් පවත්වන්නට නොහැකි තරම් වැට කඩොලු තර කැරිණි. දිනක් හැන්දෑවේ සරත් තම නිවසට ලලිතා කැඳවාගෙන ආවා ය. සුමනාවතී හිටි හැටියේ සිදු වූ මෙම ආගමනයෙන් අන්ද මන්ද වී ගිය ද කිසිවක් නොකියා ඉවසා දරා ගත්තා ය. වෙනදාට වඩා නෑඹිලියට හාල් හුණ්ඩු බාගයක් එකතු කළා ය. නැති බැරිකම් කොයි තරම් තිබුණ ද කඩේ වහන්නට පෙර දුව ගොස් ණයට කුකුළු මස් ටිකක් හා පපඩම් පැකැට්ටුවක් ද ගෙනාවාය. කෙසේ නමුත් ලලිතා ගේ පැමිණීම සුමනාවතීට අත් උදව්වක් විය. ඇය කුලී කුරක්කමට ගොස් වෙහෙස මහන්සිව ගෙදර එන විට ගෙදර වැඩ පොළ ලලිතාගෙන් ඉටු වී තිබීම ඇයට පහසුවක් විය. සරත් ද දින දෙක තුනක් හිතේ ආශාවට සිය තරුණ බිරිය සමඟ ගෙදරට වී සිටිය ද ඉන් පසු ගමේ හෝ යාබද ගමක කුලී වැඩක් සොයා ගියේ ය.

ඔවුන් ජීවත් වූ නිවස පාරට මුහුණලා පිහිටි එකක් විය.”අම්මේ! හැමදාම අම්මාට ඔය තරම් දුක් මහන්සි වෙන්න බැහැනෙ. මගේ ළඟ ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් තියෙනවා. අපි මෙතැන පුංචියට තේ කඩයක් දාමු ද? අම්මටත් කඩයප්පන් ටික හදා දෙන්න පුළුවන්නෙ” යි දිනක් රාත්‍රී ලලිතා කළ යෝජනාවට සුමනාවතී ද එකඟ වූවාය.

“අනේ! හොඳයි දුවේ! එහෙම නම් කොච්චර දෙයක් ද? දැන් මගෙත් නිතර වාත අමාරු, හන්දිපත් රුදාව. එදා ඉඳල ම දුක ම වින්දා මිසක හිතටවත් නිස්කාංසුවක් ලැබුණේ නැහැනෙ” යි සුමනාවතී ද එකඟතාව පළ කළා ය.

ලලිතාගේ තේ කඩය ගමේ අයට ද එක්තරා පහසුවක් විය. එහි නිතර එකා දෙන්නා ගැවසෙන්නට වූහ. එහෙත් එතැන අසල්වැසි තරුණයන්ගේ ගැවසීම සරත් ගේ හිතට මොකක්දෝ කුහුලක් ගෙනාවේය. එහෙත් කඩයක් වුණා ම එහෙම නැතුවත් බැරි බව සිතා නිහඬ විය. සුමනාවතී සිය ලේලියට ඉත සිතින් ම උදව් කළ අතර, ගල් වළේ වැඩට නොගියත් ඉඳ හිට අහල පහළ කෙනෙකුගේ වැඩකට හෝ ගොවිතැන්වල ගොයම් කැපීමක් වැනි වැඩකට ගොස් තවත් අමතර මුදලක් උපයා ගත්තා ය. ඒ අතර සරත් කුලී වැඩකට ගියත් හැන්දෑවට ගෙදර එන විට බීමත්ව එන්නට පටන් ගත්තේ ය. බහින්බස් වීම් ද පටන් ගත්තේ ය. එහෙත් ලලිතා සියල්ල ඉවසා දරා ගෙන කටයුතු කළා ය.

සරත් තාත්තා කෙනෙකු වෙන්නටත් තව මාස දෙකකට වඩා නැත. ගමේ කසිප්පු පොළට ද සූදු පිටිය ද නුදුරු බෝක්කුව උඩ රස්තියාදු කාරයන් ගේ සමාගමයට එක් වූ සරත් දැන් කුලී වැඩට යෑමට ද උනන්දුවක් නැතිව බීමට ම කාලය ගත කරන්නට පටන් ගත්තේ ය. නිතර ගෙදර අඩදබර රජ කරන්නට විය. පිඟන් පීරිසි පියාසර කරන්නට විය. යළිත් පවුලේ අඟ හිඟකම් හිස ඔසවන්නට විය. කඩයප්පන් වෙළෙඳාම ප්‍රමාණවත් නොවන තැනට පත් වූ පසු බැරිම තැන ලලිතා නගරයට යන කෙනෙකු ලවා සීල් බෝතලයක් ගෙන්නා ගෙන කාල අරික්කාල විකුණන්නට ද වූවා ය.

දිනක් සරත් ලලිතාගෙන් අරක්කු කාලක් ණයට ඉල්ලුවේය. “ණයට දෙන්න හම්බ කරන මිනිහෙක් වෙන්න එපා” යැයි ඇගේ මුවින් පිට වෙන කොට ම

“උඹ එහෙනං දැන් ගනුදෙනු කරන්නේ හම්බ කරන එවුන් එක්ක විතර දැ”යි ප්‍රශ්න කරමින් ලලිතාට පහර දෙන්නට විය. ඒ වේලාවේ කඩේ තේ බොමින් සිටි දෙදෙනෙක්

“තිරිසනෝ! මේ ගැබ්බර එකීට ගුටි අනින්න උඹට ලැජ්ජා නැද්දැ”යි සරත් පැත්තකට ඇද දැම්මේය.

මේ වන විට මිදුලේ එළා ගත් පොල් අතු ඉරුවක් වියමින් සිටි සුමනාවතී ද

“ගෑනියෙක් ගෙ හම්බ කෙරුවාවෙන් ජීවත් වෙන බේබද්දෙකුට මොන ලැජ්ජාවක් දැ”යි කීවා ය. කෝපයෙන් හා ලැජ්ජාවෙන් පුපුර පුපුරා සිටි සරත් ගේ කෝප ගින්නට විසි කැරුණු ඒ බූමිතෙල් පහරින් එක් වර ම මිදුලට පැන්න සරත් ඇණ තියා ගෙන පිටුපා සිටි මෑණියන් ගේ පස්සා පැත්තට වේගවත් පා පහරක් එල්ල කළේ ය. උඩින් වීසි වී ගිය සුමනාවතී පාර අයිනේ කානුවට වැටුණේ ය. කඩේ සිටි අය ඇය ඔසවා ගොඩට ගන්නා විට සිය බයිසිකල් කටුව දෙපරැන්ද අස්සේ ගසා ගත් සරත් ගෙදරින් පිට වී ගියේ ය. කානුවට වැටුණු සුමනාවතීගේ අත මැණික් කටුව ළඟින් කැඩී ගිය අතර මුහුණ බෝතල් කටුවකට කැපී ලේ ගලන්නට විය. ඇය රෝහල කරා ගෙන ගියහ.

බෝක්කුව උඩ රස්තියාදු ගසමින් සිටි පාප මිතුරන් ගේ සමාජයට ගිය සරත්, බෝක්කු කණ්ඩියට පය ගසා ගෙන බයිසිකලය මත ම වාඩි වී සිටියේය. මේ අතර ඉදිරිපසින් මීහරක් පට්ටියක් ගමන් කරමින් සිටි අතර මී හරක් දක්කාගෙන ආ කොලුවා

“අයියේ! ඔය ඉස්සරහින් එන මීමා අනිනවා. අයින් වෙයල්ලා” යි අනතුරු ඇඟෙව්වේ ය. තරුණ පිරිස පාරෙන් ඉවතට පැන ගත්හ. සරත් බයිසිකලය මත ම නොසෙල් වී සිටියේ ය. හිටි හැටියේ නතර වූ මීමා කන් දෙක කෙළින් කොට හිස ඔසවා “උඹ චණ්ඩියෙක්දැ”යි අසන්නක් මෙන් සරත් දෙස මොහොතක් බලා සිටියේය. පැන්න ගමන් ඇන්නේ ය. ඇන ගෙන ඇන ගෙන ගියේ ය. ගව පාලයාටවත් නතර කරන්නට බැරි විය. ඌට ම ඇති වී නතර කළේ ය.

සරත් ගේ දණහිසින් කකුළ එල්ලා වැටෙන්නට විය. කැඩුම් බිඳුම් ගණනාවක් සහිතව ඔහු ද රෝහල් ගත කැරිණි. ඒ රෝහලේ දී පරීක්ෂා කොට දණහිස පොඩි පට්ටම්ව ඇති බැවින් හම්බන්තොට මහ රෝහලට වහාම පිටත් කැර හැරියේය. එහි දී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු සරත් ගේ කකුළ දණහිස ළඟින් කපා ඉවත් කළහ.

දස මසක් කුස හොවා වදා උස් මහත් කළ ගෙදර බුදුන්ට පා පහර දී දෙපැයක් යන්නට මත්තෙන් දිට්ඨධම්මවේදනීය පාප කර්ම විපාකය ක්‍රියාත්මක වූ වග යි.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/07/11/_art.asp?fn=aw1007111

ඇයි සුනීතා මේ ළමයා ළඟටම එන්නේ

තමන්ට හෝ අනුන්ට හෝ මේ දෙපාර්ශවයට ම හෝ යහපත පිණිස කුසල් හි යෙදුණෝ සුගත ගාමීව උපදිති. අයහපත පිණිස අකුසල්හි යෙදුණෝ දුගතිගාමීව උපදිති. කෙසේ වුව ද මරණාසන්න අවස්ථාවේ චුති සිතට අරමුණු වන අතීත ක්‍රියාකාරකමක් අනුව ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවන බව බෞද්ධයෝ දනිති.

කොයි තරම් දාන ශීලාදී පුණ්‍ය කර්මයන්හි යෙදුණ ද මරණාසන්නයේ දී ලෝභය, ද්වේශය හා මෝහය මූලික වී අරමුණු වන අතීත ක්‍රියාවක් ප්‍රබලව සිටීමෙන් එසේ සිදුවේ. දාන ශීල පුණ්‍ය ක්‍රියා සමඟ භාවනාමය කුසල ක්‍රියාවන් හි යෙදී සිත ශක්තිමත් කැර ගත් පුද්ගලයා ඒ තත්ත්වය වළක්වා ගනී.

ජීවත්ව සිටින අය කෙරෙහි හෝ දේපළ සම්පත් කෙරෙහි හෝ ඇල්මෙන් මිය ගිය කෙනෙකු තමන් ද දුගතියක ඉපිද තමන්ට උදව් කළ කෙනෙකුට අයහපත් ව ක්‍රියාත්මක වීමේ සිද්ධියකි මේ.

සම්පත් කොළඹ නාගරික ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කිසිවෙකුට වරදක් හිරිහැරයක් පාඩුවක් නොවන පරිදි ජීවත් වූ ඔහු ආගම දහම කෙරෙහි නැඹුරු වූයේ මස් මාළු කරවල බිත්තර පවා ආහාරයට නොගෙන කරුණාව මෛත්‍රිය හුරු පුරුදු කළ අයෙකි. හිටි හැටියේ ම ඔහුට කෑම අරුචියක් හට ගත්තේ ය. ආහාරයක් වශයෙන් ඔහුට පානය කළ හැකි වූයේ කිරි පමණි. හේ දවසින් දවස ම කායිකව දුර්වල වන්නට වූයේ ය.

සම්පත් නිදා ගෙන සිටින විට ඔහු නිදා සිටි යහනේ කවුදෝ කෙනෙක් වාඩි වී සිටින බව ඔහුට දැනෙන්නට විය. සමහර අවස්ථාවල ඇඳ ළඟ තවත් කෙනෙකු සිට ගෙන සිටින බව දැනෙන්නට විය. ගමනක් යන විට ඔහු පසු පසින් කවුදෝ කෙනෙක් පැමිණෙන බව දැනෙන්නට විය. ඔහු උදේ සවස තෙරුවන් වන්දනා කරන විට ඒ ස්ථානයේ ඇති ජනේලයට පිටින් සිට කවුදෝ කෙනෙක් බලා සිටින බව ඡායාවක් මෙන් පෙනේනනට විය.

මෙසේ ටික කාලයක් ගත විය. දිනක් රාත්‍රියේ සම්පත් පුරුදු පරිදි නින්දට ගියේ ය. නින්දත් නොනින්දත් අතර සිත තැන්පත් වන විට ඔහු ඇඳෙන් ඉහළට ඇදී යන්නාක් මෙන් දැනිණ. ඔහු දැන් සිටින්නේ ඇඳට ඉහළිනි. ඔහු ඇඳ ඉහළ සිට ඇඳ දෙස බැලුවේ ය. ඇඳ උඩ තම ශරීරය නිද්‍රා ස්වරූපයෙන් පවතී. ඔහුට යළිත් තම ශරීරයට රිංගා ගැනීමට අවශ්‍ය විය.

එහෙත් එසේ කළ නොහැකි විය. කවුදෝ ඔහු අල්ලා ගෙන නිවසින් පිටතට ඇදගෙන යන බව දැනේ. ඔහුගේ සිරුර මත ඔහුගේ මිය ගිය පුංචි අම්මා හිඳගෙන ඔහු මෙසේ අහසේ පාවෙමින් ගෙන යන බව දැනෙයි. දිනක් නිවසට ඉහළ ඉඩමේ කෙළවර අහසේ පාවෙමින් සිටියේය. තවත් දවසක් නිවස පිළිකන්නේ අහසේ පාවෙමින් සිටියේ ය. මෙසේ දින කීපයක් නිවසින් පිටත තම ඉඩමේ පිටතට නොගොස් අහසේ පාවෙමින් සිටියේ ය.

යළි දිනයක ඔහු ශරීරයෙන් ඉහළට ඇදෙන්නට විය. එය වළක්වා ආපසු තම ශරීරයට රිංගා ගන්නට උත්සාහ කළ ද ඔහුට ආපසු ශරීරය සමඟ එකතු වෙන්නට නොහැකි විය. ඇඳට උඩින් පාවෙමින් තිබෙන තම ශරීරය ඉතා සියුම් හා සැහැල්ලු බව ඔහුට දැනේ. ඒ මත හිඳ ගෙන සිටින පුංචි අම්මා ඔහු කැඳවා ගෙන යයි. නිවසෙන් පිටතට ආවේය.

එසේ ආවේ දොර ජනෙල් වසා තිබෙන නිවසේ බිත්තියක් විනිවිද ගෙන ය. ඒ සඳහා කිසි ම වෙහෙසක් හෝ අපහසුවක් ඔහුට නොදැනුණු බව මතකය. නිවසෙන් පිට වී ඉඩමෙන් ද පිට වී අහසේ පාවෙමින් ගමන් කරන බව ඔහුට පෙනේ. ඔහු පහත බැලීය. කළුබෝවිල නගරයේ මාර්ගය දෙපසින්, ගොඩනැගිලිවලත් විදුලි පහන් දැල් වෙමින් තිබේ. ඉඳ හිට වාහන ගමන් කරන බව ද පෙනේ.

විශාල ප්‍රදේශයක භූ®මි භාගයක් පුරා පැතිර පවතින දකුණු කොළඹ මහ රෝහල් පරිශ්‍රය පෙනේ. දැන් නුගේගොඩ දෙසට ගමන් කරයි. ඇන්ඩර්සන් පාර හන්දිය පැහැදිලිව පෙනේ. පාර දෙපස ම පිහිටි ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ල හා සියලු ම වෙළෙඳ ගොඩනැඟිලි දිස්වේ. ඔහු කොහුවල සුසාන භූමිය අසල නතර විය. සුසාන භූමියේ ගේට්ටුවෙන් ඇතුළු විය.

සුසාන භූමියේ සිටි විශාල පිරිසක් ඔහු වටා එක් රොක් වන්නට වූහ. ඔව්හු විවිධ පුද්ගලයෝ වූහ. සමහරු ඉතා විරූපීය. ඔහු දැන් සිටින්නේ සුනීතා පුංචි අම්මාගේ සොහොන් කොත ළඟය. ඔහුට බියක් දැනිණි. ඔහුට මෙතැනින් පලා යන්නට උවමනා විය. වටා රැස්වී සිටින සමහරු ඔහුගේ අතින් අදී. ඔහු විශාල උත්සාහයක් ගෙන ගේට්ටුව අසලට ආපහු ආවේය.

සමහරු ඔහු නතර කැර ගන්නට මෙන් ඇතුළට අදිති. ඉතාම පීඩනයට පත්ව, වෙහෙසක් දරමින්, දඟලා යන්තම් එළියට පැන ගත්තේ ය. ඉතා ම වේගයෙන් ආපසු නිවෙස කරා ආවේය. දැන් පුංචි අම්මා ඔහු සමඟ නැති බව දැනේ.

ඇය සොහොනේ නතර වන්නට ඇතැයි සිතේ. දැන් නිවසේ දොරවල් වසා ඇත. ඇතුළු වන්නේ කෙසේද? බියක් සිතට දැනේ. ඇතුළු වන්නට නොහැකි වුණොත් කුමක් සිදුවේද? ඔහු මහත් වෙහෙසක් දරා නිවසට රිංගා ගත්තේ ය. කාමරයට ගියේ ය. වහාම තම ශරීරය තුළට ඇදී ගියේ ය.

ඔහු ශරීරයට රිංගා ගෙන අවදි විය. කෑගැසුවේ ය. අම්මාට කතා කළේ ය. මේ රෑ දෙගොඩ හරියේ පුතාගේ කෑ මොර දීමෙන් බියපත් වූ මෑණියෝ ද ඔහුගේ කාමරයට පැමිණ විදුලි පහන් දැල්වූවා ය. සම්පත් බියෙන් වෙවුලති. ශරීරය දහදියෙන් තෙමී ඇත. සම්පත් බියපත්ව සිදු වූ සියලු විස්තර කීවේය.

එදා රාත්‍රිය පහන් වන තුරුම කල්පනා කළේ ය. කොහුවල සොහොන් භූ®මිය තුළදී ඔහු වටා මළවුන් එක් රැස් වූ හැටි. සමහරු වියරු සිනා පළ කළ හැටි. සමහරු දත් විලිස්සා ගෙන පැමිණි හැටි. සමහරු ඉතා අප්‍රසන්න පෙනුමෙන් පෙනී හිටි හැටි. මුන් අමනුස්සයෝ ය. ප්‍රේතයෝ ය. ප්‍රේතියෝ ය. මල යක්ෂයෝ ය. යක්ෂණියෝ ය. සම්පත් කල්පනා කළේ ය. මේ ජීවත්ව සිටිද්දී අනුන්ට ඊර්ෂ්‍යා කළ එවුන් ය.

වංචා දූෂණ කළ එවුන් ය. රැකියා කළ ස්ථානවලට පවා වංචා කළ එවුන් ය. වේලාවට රැකියාවට නොගොස් ගන්නා වැටුපට පවා වංචා කළ එවුන් ය. තණ්හාවෙන් අනුන් සතු දේ කඩා වඩා ගත්තෝ ය. රාජ්‍ය දේපළ සොරා ගත්තෝ ය. ජනතාවට වංචා කළෝ ය. ජනතාව රවටා බොරු පොරොන්දු දී ඒවා ඉටු නොකොට කොමිස් අල්ලස් ගත් දේශපාලනඥයන් පවා මළ ප්‍රේතයන් වී ඉපිද එහි සිටි බව මතකය.

ඔවුන් සමඟ වංචා දූෂණ කළ කොන්ත්‍රාත්කරුවෝ ද නිලධාරීහු ද එහි සිටියහ. ඔව්හු සා පිපාසාවෙන් පෙළි පෙළී උගුර තෙමා ගන්නට දිය බිඳක් නැතිව දුක් විඳින බව දැනුණි.

ඉතින් එහෙම නම් මේ තරම් දැහැමි ව ජීවත් වන, මස්, මාළු, කරවල, බිත්තර, උම්බලකඩ පවා ආහාරයට නොගන්නා මට මෙසේ සිදුවන්නේ ඇයි දැයි තමන්ගේ සිත සමඟ තර්ක කළේ ය. පසුදා සිට යළිත් මස් මාළු කන්නට තීරණය කළේ ය. ඔහු එසේ ම සිදු කළේ ය.

එහෙත් සුවයක් නොදැනුණේ්ය. සුනීතා පුංචි අම්මා ඔහු කැඳවා ගෙන සොහොනට කැඳවා ගෙන යන්නට විය. ඔහු මහත් වෙහෙසක් දරා ආපසු එයි, පසු ගිය ජූනි 01 වැනි දා උදේ අම්මා අවදි වී පුතාට තේ එකක් හදාගෙන පුතාගේ කාමරයට ගියා ය. සම්පත් ඇඳේ නැත. නාන කාමරයේ ද නැත. ඔහු ආ ගිය තැනක් නැත. දින දෙකක් පුරා ඔහු සෙව්වා ය. සම්පත් නැත.

මේ අතර ඈත ප්‍රදේශයක පදිංචිව සිටි සුනීතාගේ පුතෙකුගෙන් පණිවුඩයක් ලැබුණි. සම්පත් එහි පැමිණ ඒ කිට්ටුව පිහිටි ආරණ්‍යයකට ඇතුළත්ව සිටින බව මෑණියන්ට ආරංචි විය.

“අනේ! දෙයියනේ! මට සිටින එකම දරුවා?...” යැයි ඇය බියපත්ව වහාම එහි ගොස් හඬා වැලපී ඔහු ආපසු කැඳවා ගෙන ආවා ය.

ඇය ‘සිළුමිණ’ පාඨකයෙකුගේ උපදෙස් පරිදි කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පුතා කැඳවාගෙන ගියේ ය.

එහිදී සම්පත් වෙව්ලන්නට විය.

“කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“මම... මම... මම...”

“මම මම නෙවෙයි, ඉක්මනින් කියන්න?”

“මම සු...නී...තා”

“කව්ද සුනීතා කියන්නේ?”

“සම්පත් ගෙ පුංචි අම්මා”

“දැන් කොහේද සුනීතා ඉන්නේ?”

“මං මැරුණා...”

“මොනවා වෙලා ද මැරුණේ”

“2003 වෙසක් පෝය දවසේ මේ ළමයි සල් උයනක් හැදුවා. මමත් උදව් කළා. මේ ළමයින්ට කෝපි ටිකක් වත්කර දෙන්න කියා මම කුස්සියට ගියා. කෝපි වත්කරන කොට හිටි හැටියේ මගේ පපුව තද වෙලා (හෘදයාබාධයක්) මළා. මගේ දරුවෝ පින් දහම් කරන්නේ නෑ. ඒ වෙලාවේ මගේ හිතට අතීත අකුසලයක් මතුවී පෙනුණා. වෛරයක් හිතුණා. මම දැන් සෙහොනේ ඉන්න මළ යක්ෂණියක්.”

“ඉතින් ඇයි සුනීතා මේ ළමයා ළඟට එන්නේ, තමුන්ගෙ ළමයි ළඟට යන්න පුළුවන් නේද?”

“වැඩක් නෑ... වැඩක් නෑ... උන් පිනක් දහමක් කරන්නේ නෑ. උන් හොඳ නෑ. උන් හදපු හැටි, උන්ට දස මාසයක් කුසේ දරාගෙන හිටි හැටි, ලේ කිරි කර පෙවූ හැටි, උන්ට උගන්නපු හැටි, උන් කල්පනා කරන්නේ නෑ. උන් මට පින් දෙන්නේ නෑ.

මේ සම්පත් තමයි පින් දහම් කරන්නේ. මෙයාට පුළුවන් මාව මේ දුකෙන් බේරා ගන්න. මම සම්පත් පුතාට ආදරෙයි.. මම මෙයාව මම සිටින තැනට අරගෙන යනවා. හැමදාම උදේ 6 ට හවස 6 ට මම සම්පත් බලන්න එනවා. එයා බුදුන් වඳින හැටි බලා ඉන්නවා. මම සම්පත්ට ආදරෙයි. මම මෙයාව අරං යනවා.

“සුනීතා! තමුන් මහා පාපයක් කැරගන්න හදන්නේ, සම්පත් ජීවත්ව හිටියොත් තමයි තමුන්ට පින් ලබා ගන්න පුළුවන්. දැන් සුනීතා මේ ශරීරයෙන් ඉවත් වී යන්න. අපි සුනීතාට පින් දෙන්න කියන්නම්.”

“බෑ... බෑ... මට මෙයා දාලා යන්න බෑ... (හඬා වැළපෙයි)

“එහෙම නම් දඬුවම් විඳින්නයි සිද්ධ වෙන්නේ...”

ඔය හිස හත්කඩකට පලාවි, ගින්නෙන් පිළිස්සේවි.”

“හොඳයි... එහෙනම් මම යන්නම්...”

සම්පත්ට නැවත මස් මාළු කරවල බිත්තර තෙල් බැඳුම් වලින් වැළකී උදේ හවස බෞද්ධ පිළිවෙත් කරන්නට නියම කැරිණි. දින 21 ක් ආජීව අට්ඨමක ශීලය සමාදන් වී “මම බෝධි සත්ත්ව චර්යාවේ යෙදෙන්නෙක් මි” යි සිතා සිත ශක්තිමත් කොටගෙන උදේ හවස සජ්ක්‍ධායනා කරන්නට පිරිත් කීපයක් නියම කැරිණි. දානයක් දී පුංචි අම්මාට පින් දෙන්නට ද නියම කැරිණි.

දැන් සම්පත් ඉස්සර මෙන් ම උදේ හවස බුදුන් වඳි. ඔහු පමණක් නොව මෑණියෝ ද මස් මාංශ භක්ෂණයෙන් වැළකී සිටිති. දැන් සම්පත් අහසින් ගමන් කරන්නේ නැත. කොහුවල සොහොන් භූ®මියට යන්නේ නැත. භූතයන් ගේ ග්‍රහණයට අසු වී දුක් විඳින්නේ නැත. පුංචි අම්මා ඔහු සොයා එන්නේ නැත. ඇය දැන් වෙනත් අය කරා යන්නට මාන බලනවා දැ’යි අපි නොදනිමු.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/07/18/_art.asp?fn=aw1007181

අද නම් මං මේ එළිය අල්ලා ගන්නවා

විශ්වය හරහා ක්‍රියාත්මක වන ආලෝක තරංග, ශබ්ද තරංග ආදි ඉතා සියුම් හා වේගවත් තරංගයන්ගේ ස්වභාවය හා වේගය නවීන විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. එහෙත් චිත්ත තරංගයේ වේගය තවමත් සොයා ගෙන නැත.

සාමාන්‍ය පියවි ඇසට නොපෙනෙන දෙවි දේවතාවන් ගේ හා වෙනත් භූතයන් ගේ පින්තූර පවා වර්තමාන තාක්ෂණයෙන් සොයා ගෙන ඇත. මේ ආලෝක සමඟ පැමිණෙන සත්ත්වයා කවරෙක්දැයි අනුමාන කරනවා මිසක නිගමනය කිරීමට හැක්කේ අභිඥාලාභියකුට පමණි. එසේ නැතහොත් ඒ භූතාත්මය සමඟ සාකච්ඡා කොට ලබා ගත හැකි විශ්වාස කටයුතු තොරතුරු මඟිනි. මේ වන විට අප වෙත වාර්තා වී ඇති, තවමත් ගවේෂණයේ පවතින, දීර්ඝ කාලීනව සිදුවෙමින් පවතින සිද්ධියකි මේ.

මේ කුලියාපිටිය ප්‍රදේශයේ පවුලකි, මව, පියා දුව සහ පුත්තු දෙදෙනෙක් මේ පවුලේ සිටිති. දියණිය රංගනී මේ වන විට 32 හැවිරිදි ය. ඇය විවාහක ය. එක් දරු මවකි. මේ සියලු දෙනා ම සාමාන්‍ය ජීවිත ගෙවති.

කාලයක් තිස්සේ මේ පවුලේ පියවි ඇසට නොපෙනෙන, එහෙත් වරෙක කෙනෙකුට පෙනෙන අනිත් අයට නොපෙනෙන, තවත් වරෙක හැමටම පෙනෙන මහා අද්භූත ක්‍රියාවලියක කතාව දුව රංගනී මෙසේ කීවාය.

“මා උපන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ ගමක. අම්මයි, තාත්තයි, මමයි, මල්ලිලා දෙන්නයි, අපි ඔක්කොම පස් දෙනයි. තාත්තා ගොවියෙක්. තාත්තා ගොවිතැන් කළේ සීයගෙ කුඹුරුවල. ඊට අමතරව බුලත් වගාවත් කළා.

අපි ජීවත්වුණේ කුඹුරු යාය මැද ගොඩැල්ලක පිහිටි ගෙදරක. ගෙට එක පැත්තකින් ඇළ පාරක් ගලා ගියා. අනිත් පැත්තෙන් නියර දිගේ උණ වැටියක් තිබුණා.

වෙල් යායේ අපේ නිවසට පෙනෙන හරියේ නුග ගසක් තිබුණා.

සමහර දාට රාත්‍රියට ඒ නුග ගසේ ආලෝකයක් තිබෙන බව අම්මා කීවා. ඒ එළිය වෙන කාටවත් පෙනුණේ නැහැ. අම්මා මේ එළිය ගැන කියන කොට තාත්තා බණිනවා. “බොරු කියන්න එපා බං. එහෙම එළියක් තියෙනවා නම් අපටත් පෙනෙන්න එපා යැ.

උඹට පෙනෙනවා නම් කියාපං අපටත් පෙනෙන්න කියලා” කියා තාත්තා අම්මාට බැන්නා. එතකොට මට වයස අවුරුදු අටයි.

මට වයස අවුරුදු දහ හතරේ දී 1992 දෙසැම්බර් මාසයේ එක්තරා දවසක රාත්‍රී 7 ට පමණ නාගයෙක් කෑ ගසමින් අපේ ගේ වටා යන්න හිටියා.

ඒ සද්දෙ හඳුනාගත්ත අහල පහල අයත් එදා අපේ ගෙදරට ආවා.

ගෙදර පසුපස උණ වැටිය ළඟින් ඊට පහුවදා අම්මා එළියක් දැක්කා. එදා අපි හැම දෙනා ම ඒ එළිය දැක්කා. තරමක් කිට්ටු කර බලන විට ඒ එළිය විහිදුණේ ගලකින්. කලින් දවසේ කෑ ගැසු නයාගෙ නාග මාණික්‍යය වෙන්න ඇති කියලා තාත්තා කීවා. පසු දා උදේ තාත්තා ඒ එළිය තිබුණු තැන එළි පෙහෙළි කර සුද්ධ කළා.

එදා රාත්‍රි ඒ එළි පෙහෙළි කළ තැන අර එළිය තිබුණා. අම්මා දැකලා අපටත් පෙන්නුවා. අපිත් දැක්කා. සතියක් විතර හැමදාම රාත්‍රි 7 ට විතර මේ එළිය දිස්වුණා.

නිල් පාට, රතු පාට, කහ පාට ආලෝක කිරණ පිහිදුණා. දවසක් තාත්තා ඒ එළිය තියෙන තැනට ගියා. කෝටුවක් අරගෙන ආලෝකය විහිදුණු ගල කෝටුවෙන් ස්පර්ශ කළා. එතකොට ඒ ගලෙන් අළු වගයක් හැළුණා. එළිය නොපෙනී ගියා.

තාත්තා පොඩි කුප්පියකට ඒ අළු ටික අරගෙන ඇවිත් ගෙදර බුදු පහන ළඟින් තිබ්බා. ඒ අළු හරිම සුවඳයි. මමත් ඒ සුවඳ බැලුවා.

නැවතත් සමහර දාට ඒ එළිය පෙනෙන්න තිබුණා. ඒ ආලෝකය ළඟ අර නාගයාත් සිටියා. අසල්වැසියෝත්, නෑදෑයෝත් මේ එළිය බලන්න ආවා. ගමේ ප්‍රසිද්ධ වුණා. අපි වැඩ කළ කුඹුර අපේ සීයාට (තාත්තගෙ තාත්තාට) අයිති එකක්.

දවසක් සීයා කීවා “මේ කුඹුර මගේ නිසා ඒ එළිය දෙන ගලත් එයාටයි අයිති.” කියලා. ඊට පස්සෙ සීයා කුඹුරයි බුලත් කොටුයි බලෙන් ම ආපහු ගත්තා. ඊට පස්සේ තාත්තා පිටස්තර කුලී වැඩට ගියා. මේ ඔක්කොම කරදර ආවේ ඔය එළිය ආවාට පස්සෙයි කියා ගෙදර රංඩුත් ඇති වුණා.

දවසක් තාත්තා ගෙදර නැති රාත්‍රියක මේ ආලෝකය ගේ ඉදිරිපිට සමන් පිච්ච වැලට ආවා. (එතකොට මට වයස 16 යි) අද නම් මේ ආලෝකය අල්ලා ගන්නවා කියා අම්මා එතනට ගිහින් ඒ එළිය අතට ගන්න හැදුවා. ඒත් ඒක කොහොමවත් අල්ලන්න බැරි වුණා. එහාට මෙහාට පනින්න වුණා. ඊට පස්සේ අම්මා ඒ උත්සාහය අත් හැරියා.

මේ අතරේ නාගයාත් අපේ ගෙදරට ආවා. ගියා. සමහර වේලාවට ගේ ඇතුළටත් ආවා.

දැන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. අපි නයාට බයත් නෑ. නයා අපට බයත් නෑ. මේ අතරේ අම්මලා දේවාල ගානේ සාස්තර අහන්නත් ගියා. ඒ හැම තැනකින් ම කියැවුණේ අම්මාට වටිනා දෙයක් ලැබෙන්න තියෙනවා. ඒක නියමිත වේලාවට ලැබේවි කියා.

මේ විස්තරයට සම්බන්ධ කුලියාපිටියේ නිවසේ අය පස් පවෙන් වැළකී ජීවත් වූවෝය. මස්, මාළු, කරවල, බිත්තර ආහාරයෙන් වැළකී සිටියහ. උදේ හවස තෙරුවන් වන්දනා කළ සැදැහැවතුන් ය. මෙවැනි අයගේ දිවි පැවැත්මට ආශීර්වාද කිරීම සඳහා පින්වත් ගුප්තාත්ම පැමිණිම සොබාවයකි.

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්තේ පදිංචි කේ. ඩබ්ලිව්. කපිලරත්න මහතා ද එවැනි දැහැමි දිවි පෙවෙතක් ගෙවන්නෙකි.

ඔහුගේ නිවසට ද එවැනි ආලෝක පැමිණේ. ඩිජිටල් කැමරාවකට හසු වූ ඡායාරූප අපි ඔබට ඉදිරිපත් කරමු.

යහපත් යැයි සැලකිය හැකි ගුප්තාත්ම මිනිසා කරා පැමිණෙන්නේ ඒ නිවසේ ඇති පිරිසුදුකම හා පුද්ගලයන් ගේ ඇති බාහිර අභ්‍යන්තර පිරිසුදුකම නිසා ය.

මෙයින් සිදුවන්නේ පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයා තව තවත් ධර්ම මාර්ගයේ ඉදිරියට යැවීමට උදව් කිරීමකි. මෛත්‍රී කරුණාබර ජීවිතවලට, පරාර්ථයට යොමු කොට මාරක අපල උපද්‍රව වළක්වා ඔහුගේ හෝ ඇගේ පරලොව දියුණුව ද සලසා දීමකි.

වර්තමානයේ සිදු වූ හා සිදු වෙමින් පවතින විපත් බොහෝ ය.

රූපවාහිනී නාලිකාවල විදේශ ප්‍රවෘත්ති දෙස බලන විට ජල විපත්, සුළි සුළං විපත්, හදිසි අනතුරු, යුද විපත් බොහෝ ය. මේවා සියල්ල කර්මයට ම බාර දී සිටිය යුතු නැත. මේවා බල තණ්හාවෙන් පෙළෙන බලවතුන් ගේ ක්‍රියා (කර්ම) නිසා සිදු වේ.

ඒවායේ විපාක බාහිර ලෝකයාට ද විඳීමට සිදු වී ඇත. සුනාමිය ද එවැන්නකැයි නොකියන්නේ කෙසේ ද? 2010 ජුනි මාසයේ පළ කළ “ප්‍රබෝධය” සඟරාවේ 6 වැනි කලාපයේ 4 සහ 5 වැනි පිටුවල මෙසේ සඳහන් වෙයි.

“හයිටි රාජ්‍යයේ මෑතක දී සිදු වූ භූමි කම්පාවෙන් දෙලක්ෂයකට අධික පිරිසක් මරුමුවට පත් විය...

රුසියාවේ තොරතුරු අනුව හයිටි රාජ්‍යයේ ඇති වූ මෙම භූමි කම්පාව ඇමෙරිකාවේ කෘත්‍රිම භූමි කම්පා පර්යේෂණය සඳහා භාවිතා කළ ආයුධයක් තම පාලනය ඉක්මවා යෑමෙන් ඇති වූවක් බවට අගමැති පුටින් මහතාට රහස් වාර්තාවක් ලැබී ඇත...

අලුත්ම වාර්තාවලට අනුව ඇමෙරිකාව මෑතක සිට (Tesla Electromagentic Plus ටෙස්ලා ඉලෙක්ටෝ මැග්නටික් ප්ලස්(Plasma) ප්ලස්මා, (Sonic) සෝනික් වැනි තාක්ෂණ ක්‍රම භාවිතා කරයි... පොළව යට මෙවැනි පරමාණු පිපිරීම් සිදු කරයි. මේ පිපිරීම් රික්ට් මාපක 7.4 ක් වේ. (මූලාශ්‍රයwww.gather.com)

උල්කාපාතයක් පෘථිවියේ හැපී ජීවිත විනාශ වීම, යුද ගැටුම්, මාරාන්තික රෝග, උණුසුම ඉහළ යෑම, විෂ වායු නිකුත් වීම, අයිස්කඳු දියවීම, නාය යෑම් ගිනි කඳු පිපිරීම්, ලැව් ගිනි, රිය අනතුරු ආදි අපල උපද්‍රවවලින් මිනිසා බේරා ගැනීම සඳහා ජුලි මස 25 වැනි දින, ඇසළ පෝදා රාත්‍රි 9.10 ට කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ උපදෙස් අනුශාසනා පරිදි පෝරුවදණ්ඩ ආධ්‍යාත්මික පර්යේෂණ මධ්‍යස්ථානය (034-2255214 - 077- 3761333) “සත්‍ය ක්‍රියාවක්” පවත්වති.

විදේශ රටවල් ද දැනුම්වත් කරමින් පවත්වන මෙම සත්‍ය ක්‍රියාවට ජාති ආගම් බේදයක් නැතිව ඔබට ද සම්බන්ධ විය හැකි ය.

ඔබ කළ යුත්තේ ජුලි 25 දින රාත්‍රී 9.10 ට කොහේ හිටියත් දෑස් පියාගෙන සිත එක්තැන් කොට මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා මගේ ආධ්‍යාත්මීය ශක්තිය ද විශ්වයට එකතු කරමියි යන්න අධිෂ්ඨාන කොට තමන් විසින් කරන ලද කුසලයක් සිහිපත් කරන්න. ඒ සත්‍යයේ බලයෙන් මිනිස් ජීවිත ආරක්ෂා වේවා.

මිනිසාට පැමිණෙන දුක් විපත් දුරු වේවා.

මිනිසුන් ආරක්ෂා කරන්නට, දුක් විපත් වළක්වාලන්නට වෙහෙසෙන සත් පුරුෂයන් ගේ කායික මානසික ශක්තිය තහවුරු වේවා.

බාධක දුරු වේවා. මගේ කුසල ශක්තිය ද ඔවුන්ට සහාය වේවා. දායක වේවා යි සිතන්න. නැවත නැවත සිතන්න.” යැයි සුදස්සී හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/07/25/_art.asp?fn=aw1007251

කවුදෝ ඇවිත් මගේ කටට ගැහුවා

කුලියාපිටිය ප්‍රදේශයේ යක්විල දඹගහගෙදර නිවසකට ආලෝකයක් පැමිණීමත්, නාගයෙකු පැමිණීමත්, පිළිබඳ පසුගිය ලිපියෙන් විස්තර කළෙමු. එසේ ම මේ සිද්ධිවලට ප්‍රධාන වූ සුමනා ගමගේ මහත්මිය පේන අසන්නට ගිය තැන්වලින් “ඔබට වටිනා යමක් ලැබේවි” යැයි කියැවුණු බව ද ඇගේ දියණිය විජිතා රංගනී මහත්මිය අප සමඟ කීවාය. දැන් එතැන් සිට..

කුඹුරු ගොවිතැන් හා බුලත් වගාව ජීවනෝපාය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටිය දී මේ පවුලේ අයට ආලෝකයක් දිස්වීම නිසා මේ සිද්ධි ප්‍රදේශයේ ප්‍රචාරය වන්නට විය.

මේ ආලෝක වඩාත් දිස්වූයේ කුඹුරේ බැවින් රංගනී ගේ සීයා මේ ආලෝකය (නාග මාණික්‍ය) අයිති මට යැ”යි කියා රංගනීගේ පියා වැඩ කරමින් සිටි කුඹුරු ආපසු ලබාගත්තේය. මේ නිසා පිටස්තර කුළී වැඩවල යෙදෙන්නට පියාට සිදුවිය. මේ අසහනකාරී මානසිකත්වය සමඟ ශාරීරිකව ද දුර්වල වූ පියා රෝගාතුර විය. ඔවුහු ඔහුට හැකි පමණින් ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්හ.

මේ අතර සුමනා (මව) බෝධි පූජා පවත්වමින් ද දේවාල ගණනේ පුද පවත්වමින්, ශාස්ත්‍ර අසන්නට ද ගියා ය. මේ පවතින තත්ත්වයන් අතරේ නාගයා ද නිතර ආවේය. නාගයාට කිසිවෙකු කරදර නොකළ අතර නායගාගෙන් ද කාටවත් කරදරයක් වූයේ ද නැත. “තමන්ට අයිති වස්තුවක් ලැබෙන්න තියෙනවා. ඒක වෙලාවට ලැබේවි යැ”යි සුමනාට කීප පොළකින් ම කියැවිණි.. ගිරිඋල්ල මුතුගල ප්‍රදේශයේ ස්ථානයකට ද සුමනා ගියා ය.

”ඔය ගෙදරට ධාතූ®න් වහන්සේලා වඩිනවා. ඒවාට වැඩ සිටින්නට සුදුසු තැනක් නැති නිසා ආපසු වඩිනවා. සමන් පිච්ච මල්, අරලිය මල් පූජා කර උදේට බලන්න. ධාතූ®න් වහන්සේ වැඩ සිටිනවා ඇති”යි එතැනින් කියැවිණි.

ඒ අනුව දිනක් ඇය කරඬුවක් ගෙනාවාය. එදින සමන්පිච්ච මල් වට්ටියක් පූජා කිරීමටම සුමනා ගමගේ සූදානම් වෙද්දී ආලෝකයක් සමඟ රන්වන් කුඩා දෙයක් (කැබැල්ලක්) මල් වට්ටියට ආවේය. ඒ සමඟ බලන විට කරඬුව ඇතුළතට ද ධාතූන් වහන්සේ විසිහතර නමක් වැඩම කොට තිබුණි. ගම් ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ පවා පැමිණ ඒ ධාතු බව සනාථ කළහ.

මේ නිවසේ අය මස් මාලු කරවල බිත්තර ආහාරයට නොගෙන එළවුළු ආහාර පමණක් භාවිත කරමින් පන්සිල් අකුරටම ආරක්ෂා කළ අතර, ධාතූන්වහන්සේ සඳහා අවශ්‍ය වතාවත් මැනැවින් ඉටු කළහ. මේ අතර ආලෝකය පැමිණීම ද සිදුවිය. දිනක් මේ ආලෝකය අම්මා (සුමනා) තවත් අයට පෙන්වද්දී රංගනී අසලට ද තවත් ආලෝකයක් ආවේය. එය රංගනී අම්මාට පෙන්වන විට ම අතුරුදන් විය.

මේ වන විට පියා රෝහල් ගතව සිටියේය. දිනක් පියාගේ අසනීපය ගැන කතාකරන්න පැමිණි ආච්චි සීයා දෙදෙනා සහ පියාගේ සහෝදරයෝ අම්මාට දොස් කියා බැණ වදිමින් “මේ ධාතු වැඩියාට පස්සේ තමයි ඔක්කොම කරදර” යැයි කියන්නට වූහ. ඒ අවස්ථාවේ අහල පහල උදවිය කීප දෙනෙක් ද එතැන සිටියහ.

අම්මා කේන්තියෙන් ගෙට ගොස් ධාතු කරඬුව ඉස්තෝප්පුවට ගෙනැවිත් එතැන සිටි හැමෝටම පෙන්නා “වීසි කරනවා” කියා කරඬුවේ පියන ඇරියාය. එවිට ම එහි තිබුණු ධාතූ®න් වහන්සේ අතුරුදන් වූහ. එතැන සිටි අයට හිස් කරඬුව පෙන්වා එය ගෙට ගෙන ගොස් තැබුවාය. මේ සිදුවූ දෙයින් ශෝකයට පත් රංගනී ගෙට වැදී අඬන්නට වූවාය.

මේ අවස්ථාවේ රෝහලේ සිට පැමිණි තාත්තා ගෙට ගොස් කරඬුව විවෘත කැර බැලීය. විනාඩි කීපයකට පෙර අතුරුදන් වූ ධාතූන් වහන්සේ නැවත කරඬුවට වැඩම කොට තිබුණි.

සියලු දෙනාම පුදුමයට පත් වූ අතර එයින් පසු කිසිවෙකු ඒ ගැන කතා කළේ ද නැත. ඉන්පසු දිනක නිවසේ ගිහි පිරිතක් කියැ වූ අතර එදා පිරිත් මණ්ඩපයට ද ධාතූන් වහන්සේ වැඩම කළහ. ඊට පසු සිදුවූ සිද්ධීන් රංගනී විස්තර කළේ මෙසේය.

”1994 අප්‍රේල් මාසයේ 13 වැනිදා රාත්‍රී 7.30ට විතර අපේ ගේ ඉදිරිපිට වෙල්යායේ මීටර් 50ක් විතර දුරින් මීටර් 10ක් විතර උඩින් උඩින් පෝය දාට පායන පුරා සඳ වගේ දෙගුණයක ලොකු ආලෝකයක් අපට පෙනුණා. 1995 අප්‍රේල් 13 දාත් ඒ වේලාවට ඒ වගේ ම පෙනුණා.

විනාඩි 15ක විතර කාලයක් ඒ ආලෝකය හැමෝට ම පෙනුණා. 1996 අප්‍රේල් 11 වැනිදා අපේ තාත්තා මියගියා. ඒ වන විට අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලයි හිටියේ. හොඳ ආර්ථිකයක් නොතිබුණු නිසා මගේ ඉගෙනීමත් නතර වුණා. තාත්තා නැති වුණාට පස්සේ අම්මයි මමයි පුංචියට කඩයක් පටන්ගත්තා.

කුඹුරු ගොවිතැනක් කරගෙන යම්තම් ජීවත්වුණා. මල්ලී පොළවල්වල එළවළු වෙළඳාමේ ගියා. තාත්තා අන්ත්‍රා වූ දවසේ ධාතූන් වහන්සේ අතුරුදන්වී තිබුණා.

සමහර දාට අර එළිය මිදුලේ පෙරළෙනවා. සීනු හඬ නඟමින් අහසට යනවා. ඔය වගේ දේවල් අපට සුපුරුදු දේවල් වුණා. තාත්තා ගේ මරණයෙන් මාස තුනකට පසු ධාතූන් වහන්සේ නැවතත් කරඬුවට වැඩියා. ගෙදර දිනපතා ආගමික වතාවත් කළේ මමයි.

1999 වර්ෂයේ මා විවාහ වුණා. සුරා සූදු දුම්පානයෙන් තොර දැහැමි මහත්මයෙකු සමඟ. මස් මාළු කරවල බිත්තර අපේ ගෙදර ආහාරයට ගත්තේ නැහැ. විවාහ වූයේ අනුරාධපුරයටයි. අම්මා මට කීවා ධාතූන් වහන්සේ අනුරාධපුරයේ අපේ නිවසට ගෙන යන්න කියා. මම මගේ සැමියා සමඟ සුදු හඳුන් කරඬුවක් අරගෙන ගිහින් එක් ධාතූ®න් වහන්සේ නමක් වඩමවාගෙන ආවා. එදා උදේ 6ට කුලියාපිටියෙන් අනුරධපුරය බලා පිටත්වන බස්රියට ගොඩවුණා.

ධාතු කරඬුව කාටවත් පෙනෙන්න තිබුණේ නෑ. බස්රිය ගමන් ආරම්භ කරන විට ම ඒ බස්රිය ඇතුළට ආලෝකයක් ආවා. බස් රියේ සිටි අය සාදුකාර දුන්නා. ගෙදර ඇවිත් බලන විට කරඬුවේ ධාතූන් වහන්සේ දෙනමක් වැඩ සිටියා. දැනට අවුරුදු දහයක් මම ඉතා ම ශ්‍රද්ධාවෙන් ඒ වතාවත් සිදු කරනවා.

කෙසේ නමුත් අපට ජීවත්වීමේ දී බොහෝ කරදර කම්කටොලු එළැඹුණා.

අපි දුක් මාන්සියෙන් හදාගත්ත නිවසත් අත හැර යන්න සිදුවුණා. අපි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස් බෝධි පූජාවක් පවත්වා (2006) සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මගේ මහත්තයා වැඩ කරන්නේ නගර සභාවේ.

අපට තියෙන කරදර නගර සභාවේ අයත් දන්නවා. නගරාධිපතිතුමා අපට ජීවත්වෙන්න තාවකාලික නිල නිවාසයක් ලබාදුන්නා.

2007 අවුරුද්දේ සිට අම්මාට වරමක් ලැබී අඳුනකින් ශාස්ත්‍ර කියනවා. අම්මා ඒවා ඒ තරම් නොපිළිගත්තත් එයාට ඒවා කරන්න සිද්ධවුණා. දැන් මැති ඇමැතිවරු පවා ශාස්ත්‍ර අහන්න අම්මා ළඟට එනවා.

දැන් වසර තුනක පමණ සිට මගේ ළඟ කවුදෝ කෙනෙක් ගැවසෙන බව දැනෙනවා. ඡායා මාත්‍රයක් පෙනී නොපෙනී යනවා.

වේලාවකට කතා කරනවා ඇහෙනවා. රාත්‍රි සිහිනෙන් කතාකරනවා. වෙලාවකට කවුදෝ කෙනෙක් ඇඟේ හැපෙනවා වගේ දැනෙනවා. තවත් වේලාවකට මගේ ඇඟෙන් උණුසුම් දෙයක් ඉවතට ඇදී යනවා වගේ දැනෙනවා.

තවත් වේලාවකට මගේ අතින් හෝ කකුළෙන් අදිනවා වගේ දැනෙනවා. දවසක් මම මේ නොපෙනෙන බලවේගයට බැන්නා. “මෙන කරදරයක් ද මේ” කියා.

එදා බොහෝ වේලාවක් යන තුරු මට නින්දගියේ නෑ. කවුදෝ ඉතා වේගයෙන් මගේ කටට ගැහුවා. මට පුදුම වේදනාවක් එයින් දැනුණා.

මට දැන් අවශ්‍ය මේ තත්ත්වයෙන් මිදී පිරිසිදු බුදු දහම සොයාගෙන ඒ මාර්ගයේ යන්න” යැයි රංගනී කීවාය. (මේ සිද්ධිය තවමත් ගවේෂණ තත්ත්වයේ පවතින බව කරුණාවෙන් සලකන්න)

භූතාත්ම විවිධ ආකාරයෙන් මිනිසුනට විවිධ බලපෑම් කරන බව ආටානාටිය සූත්‍රය, කරණීය සූත්‍රය හා ධජග්ග සූත්‍රය හැදෑරීමේ දී පැහැදිලි වේ. එසේ ම මිනිසුනට එවැනි බලපෑම් කරන්නේ කවරහු ද? යන්න විමසා බැලීමේ දී බොහෝ විට එසේ බලපෑම් කරන්නේ සංසාර ගත ඥාතීහුම ය. මම අසවල් ;දවියා යැයි කීව ද මිනිසුන ගේ කිළිකුණු සහිත ශරීරවලට දෙවියෝ සම්බන්ධ නොවෙති.

මෙසේ භූ®තාත්ම බලපෑම් ඇති කරන්නේ ජීවත්වන මිනිසුන් කෙරෙහි ඇල්ම හා ද්වේශය හේතු කොට ගෙනය. ඊට අමතරව සමහර භූතාත්මයෝ තමන් ගේ අවශ්‍යතා ඉටු කැර ගැනීමට මිනිස් ශරීරවලට සම්බන්ධ වෙති.

ආදරය ආශාව නිසා ඇතිවන ඇල්මෙන් හෝ තරහ මරහ නිසා ඇතිවන ද්වේෂයෙන් හෝ ජීවත්වන මිනිසුන් කරා භූතයෙකු පැමිණෙන විට ඔහු සමඟ සිටින තවත් භූ®තයෝ ද පැමිණෙති.

මේ අතුරුගිරිය ශ්‍රී ඥානවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ගස්නාවේ ඥානානන්ද මා හිමියන් වෙත ඉදිරිපත් වූ සිද්ධියකි.

ඔහු වැදගත් සමාජ මට්ටමක ජීවත්වන තරුණයෙකි. පියා මියගිය පසු ඔහුට රාත්‍රි කාලයට අමුත්තක් දැනෙන්නට විය. තමන් නිදන යහන අසල යමෙකු ගැවසෙන බවක් දැනෙන්නට විය. දිනක් ඔහු නින්දට යන විට ඩිජිටල් කැමරාවක් ළඟ තබාගෙන සිට රාත්‍රි අමුත්තක් දැනුණු සැණින් පින්තූරයක් ගත්තේය. ඔහු මදුරු දැළ ඇතුළත සිට එම පින්තූරය ගත් බැවින් ඡායාරූපය එතරම් පැහැදිලි නැත.

මේ ඡායාරූපයේ ඔහුගේ පියා යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටී. ඔහු සමඟ එවැනි ම ඇඳුමෙන් සැරසුණු තවත් විශාල පිරිසක් වූහ. ඒ ගැන මම ගස්නාවේ ඥානානන්ද හිමියන්ගෙන් විමසූවෙමි.”ඒ ප්‍රාණකාරයන් මිනිස් ලොව සිටියදී භාවිත කළ ප්‍රිය කළ ඇඳුම.

ඔහුගේ මිනියට අන්දා තිබුණු ඇඳුම. මරණයේදී සිරුරෙන් නික්ම ගොස් ආපසු තම සිරුර දැක ගන්නට හැකි තත්ත්වයක සිටියා නම් ඒ ඇඳුම මනෝකායට සම්බන්ධ වෙනවා. එසේ නැත්නම් ඔහු ප්‍රිය කළ ඇඳුම මනෝකායට සම්බන්ධ වෙනවා.

ඒ වගේ ම ඔහු (ප්‍රාණකාරයා) සමඟ සම්බන්ධ වන්නේ ද එවැනි ම සම මට්ටමේ ප්‍රාණකාරයෝ, භූ®ත ලෝකයේ ද ආගම් වශයෙන් දේශපාලන වශයෙන් කණ්ඩායම් හැදී සිටිනවා වගේ සමාජ තත්ත්වයෙන් ද කණ්ඩායම් හැදෙනවා. මේත් ඒ වගේ පිරිසක්” යැයි උන්වහන්සේ පැවසූහ.

මතුගම මහින්ද විජෙජ්තිලක
http://www.silumina.lk/2010/08/01/_art.asp?fn=aw1008011

මගේ ගෙදර මගේ ඉඩමේ මට ඕනෑ හැටියට ඉන්න නෑ

මිනිසා තණ්හාව නිසා පොදි බැඳගන්නා ලද සිතුම් පැතුම් මරණයෙන් පසුව ද ඉන් එහාට ගෙන යන්නේය. මරණයේ දී ඕලාරික ශරීරය අතහැර දමා ගිය ද ස්වකීය ජීවිතයේ ඇති කැර ගත් තණ්හා ආසාවන් උපාදානස්කන්ධ සංයුතිය බවට පත් වී ඒවා අත් නොහැර දිගින් දිගට සංසාරිකව ගෙන යයි. එසේ ගෙන යනවා පමණක් නොව දුගතිගාමීව ඒ සිතුම් පැතුම් නිසා ප්‍රතික්‍රියා දක්වන අවස්ථා ද ඇත. එවැනි අවස්ථා හේතු කොටගෙන ඒ වන විට ජීවත්වන පුද්ගලයින් කෙරෙහි බලපාන අවස්ථා ද දක්නට ඇත.

සමහර මව් පියෝ ස්වකීය හැකියා උපරිමයෙන් යොදා ගේ දොර ඉඩකඩම් වස්තු සම්පත් හරි හම්බ කරති. ඔවුන් ගේ බලාපොරොත්තුව ගමේ රටේ ඉහළ ම මට්ටමේ පුද්ගලයා වී වැජඹීමට ය. රාත්‍රි නින්දට යන්නේ හෙට අදට වඩා තවත් යමක් කරන්නේ කෙසේ දැයි සිතමිනි. පාන්දර නින්දෙන් අවදි වී කල්පනා කරන්නේ ඊයේ රාත්‍රි ගොඩ නැඟූ සිතුවිලි අද ක්‍රියාත්මක කළ යුතු ආකාරයයි. විෂම ලෝභය ක්‍රියාත්මක වීම නිසා ඔහුට කෑම බීම පවා දෙවැනි වන්නේ ය.

තමන්ගෙන් ගමට රටට සමාජයට ඉටුවිය යුතු යුතුකම් අමතක වන්නේ ය. ගමේ පන්සලට පල්ලියට හෝ තමන් අදහන ආගමට ඉටුවිය යුතු යුතුකම් අමතක වන්නේ ය. තමන්ට ආධ්‍යාත්මයක් ඇතැයි ද එය ඉහළට ගොඩනඟා ගත යුතු යැයි සිහිපත් වන්නේ ද නැත. වයස් ගතවත්ම ඔහුට මැරෙන බව පවා අමතක වන්නේ ය. ඔහුගේ ශරීරය දුර්වල වන විට ඔහු කල්පනා කරන්නේ මගේ දූ දරුවෝ මේ ධන සම්පත් තව තවත් ඉහළට ගොඩ නඟා ගනීවිය යනුවෙනි.

දරුවෝ රටේ ඉහළ ම රැකියා තනතුරු දරමින් ඉහළින් ම වැජඹෙනු ඇතැයි සිතා හිත හදා ගනිති. මේ ඉඩකඩම්වල ප්‍රමාණය තවත් වර්ධන කැර ගනිතියි සිතයි. ඒ දරුවන්ට උපරිමයට නගින්නට නොහැකි වුවහොත් මුණපුරු මිණිපිරියෝ දොස්තර ඉංජිනේරු වැනි රැකියා කරමින් වැජඹෙතැයි අනාගත ලෝකයක් ද ප්‍රාර්ථනා කරයි.

පීරිස් මුදලාලි ද එසේ ධන සම්පත් ගොඩනඟා ගත්තෙකි. ගම් ප්‍රදේශයේ උපරිම ඉඩම් අක්කර ගණනකින් යුත් ඉඩම් හිමියා වූයේ ඔහු ය. ඔහු ආගමට දහමට නැඹුරු නොවූ නිසා දාන ශීලා දී පුණ්‍ය කටයුතුවල නොයෙදුණු බැවින් ඔහුගේ පුතුන් දෙදෙනා ද ඒවාට හුරු පුරුදු වූයේ නැත. තමන්ට පියාගේ ඇවෑමෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක අයිතියක් ආදායමක් හිමිවන බැවින් ඉගෙනුමට උනන්දු වූයේ ද නැත. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණේ ද නැත. අධ්‍යාපනය කඩා කප්පල් වූයේ පාපමිත්‍ර සේවනයට පත් වූහ. තමන් දුක් මහන්සි වී, කුසට නොකා නොබී හරි හම්බ කළ ඉඩ කඩම් වැඩි දියුණු කරමින් සිටි පීරිස් මුදලාලි අවසානයේ අංශ බාධ රෝගය වැළඳී අවුරුදු ගණනක් ලෙඩ ඇඳේ ඔත්පලව දුක් විඳ මිය ගියේ ය.

ඔහුගේ මරණයෙන් කලකට පසු බිරිය ද මිය ගියා ය. දරු දෙදෙනා අධ්‍යාපනය නොලැබූ හෙයින් ද ඉඩම් සංවර්ධනයට හුරු පුරුදුව නොසිටි බැවින් ද ආදායම පමණක් ලබමින්, එයින් යැපෙමින් විවාහකව අඹුදරු පෝෂණය කරමින් ජීවත්වූහ. පියා විසින් ගොඩ නඟා තිබූ ඉඩකඩම් දෙකට බෙදා ගෙන භුක්ති වින්දහ.

මෙසේ පියා විසින් මිල දී ගෙන, ඊට අමතරව යාබද ඉඩම් ද අයිති කැර ගනිමින් වගා කොට තිබුණු විශාල ඉඩමේ සංවර්ධනයක් නොවූයෙන් ආදායම පහළ බැස ගියෙන් ඉඩම විකුණා දමන්නට ඒ ඉඩම් අයිතිව භුක්ති විඳිමින් සිටි පුතා තීරණය කළේ ය. ඉඩම් වෙන්දේසි සමාගමකට ඉඩම විකුණා දැම්මේ ය. ඒ සමඟම ගස් ගල් පෙරළන බර වාහන යොදා මුළු ඉඩම ම සම්පූර්ණයෙන් සුද්ධ කොට පර්චස් විස්සේ කොටස්වලට කට්ටි කඩා වෙන්දේසි කොට විකුණා දැමීය. ඉඩම මිලදී ගත් අය නව නිවාස ගොඩ නඟමින් නව ගම්මානයක් බිහි කළහ.

පියසේන ගත් ඉඩමේ නිවසට යාබදව බේකරියක් ගොඩ නැගුණි. ඒ ප්‍රදේශයට ම පාන් බනිස් නිෂ්පාදනය කොට බෙදා හැරියේ ඔහු ය. ඒ බේකරිය ගොඩ නැඟුයේ ද එතැන තිබූ පැරැණි නිවස කඩා පොළවට සමතලා කිරීමෙනි.

දිනකට පිටි මිටි හතරක පමණ කෑම නිෂ්පාදනය කරන ඔහුගේ බේකරියේ දිනක් පිටි මෝලිය නරක් වූයේ ය. පිපුණේ නැත. එදා පිටි මෝලිය ඉවත දමන්නට සිදුවූ අතර එයින් වෙනත් ආහාර නිෂ්පාදනය කරන්නට පවා නොහැකි විය. එදා ඔහුගෙන් පාන් මිලදී ගත් වෙළෙන්දෝ පවා අසීරුවට පත් වූහ. දෙවැනි දිනයේ ඉතා පරීක්ෂණකාරීව විශේෂ අවධානයෙන් බක්කරේලා උනන්දු කරමින් පිටි මෝලිය සකස් කළත් එදා ද එසේ ම විය. තුන් වැනි දිනයේ තමන් භාවිත කළ ඊස්ට් වර්ගය පිළිබඳ විශේෂඥයන් පවා ගෙන්වා පිටි මෝලිය සකස් කළ ද එදා ද එසේ ම විය.

ඉතා වේදනාවට හා කම්පාවට පත් පියසේන මුදලාලිට හා බිරියට දෙවියන් බුදුන් සිහිපත් විය. ඔවුහු ගමේ පන්සලට ගියහ. පන්සලේ හාමුදුරුවන් මුණ ගැසී බෝධි පූජාවක් පැවැත්වූහ. බෝධි පූජාව පවත්වන අවස්ථාවේ පියසේන මුදලාලි ගේ බිරිය ප්‍රලය වූවා ය. හඬන්නට වූවා ය.

“කව්ද? මේ”

“මට බඩගිනියි පිපාසයි”

“ඒ මොකද?”

“අනේ! හාමුදුරුවනේ! මම ජීවත්ව ඉන්දැද්දි දන් පින් කළේ නෑ. හම්බ කරන්නමයි තණ්හාව තිබුණේ. දන් පැන් නුදුන් නිසා මම දැන් සා පිපාසාවෙන් පෙළෙනවා.

“මේක පන්සලක්. දැන් මෙතන කෑම හදන්න කෙනෙක් නෑ. දැනට මේ පැන් ටික බී පිපාසය සංසිඳවා ගන්න.”

“එහෙමයි හාමුදුරුවනේ.”

පැන් භාජනයක් දුන් විට එයින් ලීටරයක් පමණ ඇය බී ගෙන බීගෙන ගියා ය.”

“ඉතින් දැන් අපි නැවත කතා කරමු. ඉතින් ඔය කතා කරන්නේ කව්ද කියලා කියන්නකෝ.”

“හාමුදුරුවනේ! මම පීරිස් මුදලාලි”

“ඇයි? ඉතින් මේ අයට කරදර කරන්නේ”

“හාමුදුරුවනේ, මම හරිම වේදනාවෙන් තරහෙන් ඉන්නේ. මගේ ඉඩකඩම් ඔක්කොම විනාශ වෙලා. අන්තිමේ මගේ පරණ ගෙදරට වෙලා හිටියා. මේ අය ඒකත් කඩා දාලා අලුත් ගෙයක් හැදුවා. මම ඒකට වෙලා ඉන්න කොට මේ ගෑනි මට කරදර කරනවා. හිරිහැර කරනවා.”

මොකක්ද කරපු කරදරය. හිරිහැරය.”

“හාමුදුරුවනේ! මේ ගෑනි මොනවද ගාථා වගයක් කියා හැමදාම උදේට හවසට ගේ පුරා දුම් අල්ලනවා. ඒක මට දරාගන්න බැහැ. මට වෙන යන්න තැනකුත් නෑ.”

“ඇයි යන්න තැනක් නැත්තේ?”

“හාමුදුරුවනේ! මම ජීවත් ව ඉන්දැද්දී අනුන්ගෙ ඉඩකඩම් තණ්හාවෙන්, කපටි කමෙන් අසාධාරණව සුළු ගණන්වලට අයිති කැර ගත්තා මිසක් දනක් පිනක් කළේ නෑ. දුප්පතෙකුට ගෙයක් හදාගන්න, පන්සලකට, ආරාමයකට, කුටියක් හදාගන්න ඉඩමක් ගන්න උදව්වක් කළේ නෑ. අඩුම ගණනේ මගේ මැරිච්ච අම්මා තාත්තා වෙනුවෙන් පැදුරක් කොට්ටයක් පවා පූජා කළේ නෑ. ඒ නිසා මට දැන් ඉන්න තැනක් නෑ.”

ඉතින් ගමේ සොහොනට යන්න පුළුවන් නොවැ.”

“බැහැ හාමුදුරුවනේ. මම එතැනට ගියා. එතැන ඉන්න අය මාව පන්නා ගත්තා. පලයං... පලයං... අපටත් ඉන්න ඉඩ නැතුවයි ඉන්නේ, උඹ මළ පෙරේතයා... කාටවත් කිසි දෙයක් නුදුන්න පෙරේතයා. තෝ මනුස්ස ලෝකයේ ඉන්දැද්දිත් මළ පෙරේතයා... කියලා මාව එළවා ගත්තා. ඉතින් මම මගේ ගෙදරට ආවා. මේ උදවිය ඒකත් කඩා බිඳ දැම්මා. ඊට පස්සේ මේ අයගෙ බේකරියට වෙලා හිටියා. පාන් බනිස් අත ගාලා සතුටු වුණා. ඒවයෙ සුවඳ ආඝ්‍රාණය කළා. හැබැයි මාළු පාන්, බිත්තර, රෝල්ස් බඳින සුවඳට ඛ්රිම කැමතියි. ඒත් මෑතක ඉඳලා මේ ගෑනි උදේ හවස දුම් අල්ලන්න පටන් ගත්තා. මට ඒක හරිම හිරිහැරයක් වුණා. ඒකයි මම පිටි මෝලිය නරක් කළේ, “මගේ ගෙදර මගේ ඉඩමේ මට උවමනා විදියට ඉන්න නැති වෙන කොට මට කේන්තියි හාමුදුරුවනේ.”

“මේ ස්ථානය බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය පිහිටි ස්ථානයක්. මේ කතා කරන්නේ හාමුදුරු කෙනෙක් මම කියන දේ පිළිගන්නවා ද?”

“එහෙමයි හාමුදුරුවනේ”

“ඇයි? තමුන්ගෙ දරුවන් ළඟට නොයන්නේ?”

“හාමුදුරුවනේ! උන් මම හිතපු විදියට ඉගෙන ගත්තේ නෑ. මගේ ඉඩකඩම් දියුණු කළේ නෑ, උන් දැක්කා ම මගේ වේදනාව වැඩි වෙනවා. අනිත් එක හාමුදුරුවනේ මගේ ගේ තියෙද්දී මම මොකටද උන් ළඟට යන්නේ කියලා මම මෙතනට ආවා. ඉතින් මේ බේකරියෙ කෑම සුවඳ, මාළු, බිත්තර උයන බදින සුවඳ නිසා මම මෙතනම හිටියා.”

“පීරිස් මුදලාලි!”

“ඇයි”

“තමුන් දැන් හොඳට හිතාගන්න මම කියන දේවල්. තමුන් දැන් පීරිස් මුදලාලි නොවෙයි, තමුන් දැන් මළ පෙරේතයෙක්. මේ ඉඩමත් ගෙයත් මේ පියසේන මුදලාලිගෙ.

ඒ අය තමන් හරි හම්බ කළ මුදල් දීලයි මේ ඉඩම ගත්තේ. තමුන්ගේ මුදල් වියදම් කරලයි මේ ගේත් බේකරියත් හදා ගත්තෙ. දැන් තමුන්ට මෙතන ඉන්න කිසිම අයිතියක්, නීතියක්, සාධාරණයක් නැහැ. තමුන් වගේ නෙමෙයි මේ අය. දන් පින් කරනවා.

උදේ හවස මල් පහන් පුදා බුදුන් වඳිනවා. තමුන් මනුස්ස ලෝකයේ ඉන්දැද්දී පින් දහම් කළෙත් නෑ. දැනුත් මේ අයට හිරිහැර කර පව් පුරවා ගන්නවා. දැන් හිතා ගන්න ඔය ප්‍රේත ආත්මයෙන් අවීචි මහා නරකාදියට ගොස් තවත් කල්ප ගණනක් දුක් විඳිනවාද? එහෙම නැත්නම් මම මේ අයට කියා දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අරගෙන හොඳ බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහින් පින් දහම් දන් පින් දැකලවත් සතුටු වෙනවාද කියා.”

“හාමුදුරුවනේ! මම එහෙනම් පින් අරගෙන පුතාලගෙ ගෙදරට යන්නම්”

“එපා... එපා... ඒකත් වැරදියි. අපි හෙටම හාමුදුරු හතර පස් නමකට දානයක් දී තමුන්ට පින් අනුමෝදන් කරවනවා. ඒ පින් අනුමෝදන් වෙලා ඔය ඉන්න දුගතිගාමී ආත්මයට වඩා ටිකක් ඉහළට යන්න පුළුවන් වෙයි. අනුරාධපුරය වගේ පූජා භූමියකට ගිහින්...

“සාධු... සාධු... සාධු” අපේ හාමුදුරුවනේ මම ජීවත්ව ඉන්නකම් වන්දනාවක ගියෙත් නෑ. එහෙම වන්දනාවෙ යන කෙනෙකුට උදව් කළෙත් නෑ. මම අනුරාධපුරය දැකලත් නෑ මම සතුටුයි මම සතුටුයි මම අනුරාධපුරේ යන්තම් හාමුදුරුවනේ”

“ඔව්, ඔව්, එහේ ගිහින් සැදැහැවතුන් කරනා පුද පූජාවලට අත හිත යොමු කරලා සතුටු වෙන්න පුළුවන්”

පියසේන මුදලාලි ස්වාමීන් වහන්සේ සත් නමකට දානයක් පසු දින ම සූදානම් කළේ ය. එදා බේකරියේ පිටි මෝලිය නරක් වූයේ නැත.

තමන් පදිංචිව සිටි ගම්මානයේත්, අහල පහළ නිවෙස්වලටත් පසු දින උදේ පාන්දර නොමිලයේ පාන් බෙදා හැරියේ ය. එදින දහවල් සාංඝික දානයක් පිරිනමා පීරිස් මුදලාලිගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදනා කළහ. පැන් වඩා අවසන් වනවිටම “අනේ, මගෙන් සිද්ධ වුණ වැරදිවලට මට සමාව දෙන්න. මට දැන් හරිම සතුටුයි... මම මෙච්චර දවස් හිටියේ අමු නිර්වස්ත්‍රයෙන්. දැන් මට ඇඳුම් ලැබුණා. ආහාර පාන ලැබුණා. මට සතුටුයි. සතුටුයි, අපේ හාමුදුරුවනේ! මං යනවා. මං යනවා... මම ආයෙත් කරදර කරන්නෙත් නෑ. ආයෙත් එන්නෙත් නෑ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා. සාධු... සාධු... සාධු... කියා පියසේන මුදලාලිගේ බිරියගේ මුවින් කියැවිණි.

එදා පටන් පියසේන මුදලාලි ද ජීවිතයේ යථාර්ථය වටහා ගෙන වෙනදාටත් වඩා දනට පිනට යොමු විය. පොහොය දින සිල් සමාදන්වීමට පවා පෙළැඹිණි. මේ ගම්මානයේ අනිකුත් නිවෙස්වල අය ද මේ සිද්ධිය ආරංචි වී “සමහර භූ®තයෝ බොරු කියනවා. ඔය මළ පෙරේතයා අපේ ගෙවල්වලට රිංගාවි ද දන්නෙත් නෑ...” යි කියමින් තව තවත් දනට පිනට යොමු වූහ.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/08/08/_art.asp?fn=aw1008081

මගේ ගෙදර මගේ ඉඩමේ මට ඕනෑ හැටියට ඉන්න නෑ

මිනිසා තණ්හාව නිසා පොදි බැඳගන්නා ලද සිතුම් පැතුම් මරණයෙන් පසුව ද ඉන් එහාට ගෙන යන්නේය. මරණයේ දී ඕලාරික ශරීරය අතහැර දමා ගිය ද ස්වකීය ජීවිතයේ ඇති කැර ගත් තණ්හා ආසාවන් උපාදානස්කන්ධ සංයුතිය බවට පත් වී ඒවා අත් නොහැර දිගින් දිගට සංසාරිකව ගෙන යයි. එසේ ගෙන යනවා පමණක් නොව දුගතිගාමීව ඒ සිතුම් පැතුම් නිසා ප්‍රතික්‍රියා දක්වන අවස්ථා ද ඇත. එවැනි අවස්ථා හේතු කොටගෙන ඒ වන විට ජීවත්වන පුද්ගලයින් කෙරෙහි බලපාන අවස්ථා ද දක්නට ඇත.

සමහර මව් පියෝ ස්වකීය හැකියා උපරිමයෙන් යොදා ගේ දොර ඉඩකඩම් වස්තු සම්පත් හරි හම්බ කරති. ඔවුන් ගේ බලාපොරොත්තුව ගමේ රටේ ඉහළ ම මට්ටමේ පුද්ගලයා වී වැජඹීමට ය. රාත්‍රි නින්දට යන්නේ හෙට අදට වඩා තවත් යමක් කරන්නේ කෙසේ දැයි සිතමිනි. පාන්දර නින්දෙන් අවදි වී කල්පනා කරන්නේ ඊයේ රාත්‍රි ගොඩ නැඟූ සිතුවිලි අද ක්‍රියාත්මක කළ යුතු ආකාරයයි. විෂම ලෝභය ක්‍රියාත්මක වීම නිසා ඔහුට කෑම බීම පවා දෙවැනි වන්නේ ය.

තමන්ගෙන් ගමට රටට සමාජයට ඉටුවිය යුතු යුතුකම් අමතක වන්නේ ය. ගමේ පන්සලට පල්ලියට හෝ තමන් අදහන ආගමට ඉටුවිය යුතු යුතුකම් අමතක වන්නේ ය. තමන්ට ආධ්‍යාත්මයක් ඇතැයි ද එය ඉහළට ගොඩනඟා ගත යුතු යැයි සිහිපත් වන්නේ ද නැත. වයස් ගතවත්ම ඔහුට මැරෙන බව පවා අමතක වන්නේ ය. ඔහුගේ ශරීරය දුර්වල වන විට ඔහු කල්පනා කරන්නේ මගේ දූ දරුවෝ මේ ධන සම්පත් තව තවත් ඉහළට ගොඩ නඟා ගනීවිය යනුවෙනි.

දරුවෝ රටේ ඉහළ ම රැකියා තනතුරු දරමින් ඉහළින් ම වැජඹෙනු ඇතැයි සිතා හිත හදා ගනිති. මේ ඉඩකඩම්වල ප්‍රමාණය තවත් වර්ධන කැර ගනිතියි සිතයි. ඒ දරුවන්ට උපරිමයට නගින්නට නොහැකි වුවහොත් මුණපුරු මිණිපිරියෝ දොස්තර ඉංජිනේරු වැනි රැකියා කරමින් වැජඹෙතැයි අනාගත ලෝකයක් ද ප්‍රාර්ථනා කරයි.

පීරිස් මුදලාලි ද එසේ ධන සම්පත් ගොඩනඟා ගත්තෙකි. ගම් ප්‍රදේශයේ උපරිම ඉඩම් අක්කර ගණනකින් යුත් ඉඩම් හිමියා වූයේ ඔහු ය. ඔහු ආගමට දහමට නැඹුරු නොවූ නිසා දාන ශීලා දී පුණ්‍ය කටයුතුවල නොයෙදුණු බැවින් ඔහුගේ පුතුන් දෙදෙනා ද ඒවාට හුරු පුරුදු වූයේ නැත. තමන්ට පියාගේ ඇවෑමෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක අයිතියක් ආදායමක් හිමිවන බැවින් ඉගෙනුමට උනන්දු වූයේ ද නැත. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණේ ද නැත. අධ්‍යාපනය කඩා කප්පල් වූයේ පාපමිත්‍ර සේවනයට පත් වූහ. තමන් දුක් මහන්සි වී, කුසට නොකා නොබී හරි හම්බ කළ ඉඩ කඩම් වැඩි දියුණු කරමින් සිටි පීරිස් මුදලාලි අවසානයේ අංශ බාධ රෝගය වැළඳී අවුරුදු ගණනක් ලෙඩ ඇඳේ ඔත්පලව දුක් විඳ මිය ගියේ ය.

ඔහුගේ මරණයෙන් කලකට පසු බිරිය ද මිය ගියා ය. දරු දෙදෙනා අධ්‍යාපනය නොලැබූ හෙයින් ද ඉඩම් සංවර්ධනයට හුරු පුරුදුව නොසිටි බැවින් ද ආදායම පමණක් ලබමින්, එයින් යැපෙමින් විවාහකව අඹුදරු පෝෂණය කරමින් ජීවත්වූහ. පියා විසින් ගොඩ නඟා තිබූ ඉඩකඩම් දෙකට බෙදා ගෙන භුක්ති වින්දහ.

මෙසේ පියා විසින් මිල දී ගෙන, ඊට අමතරව යාබද ඉඩම් ද අයිති කැර ගනිමින් වගා කොට තිබුණු විශාල ඉඩමේ සංවර්ධනයක් නොවූයෙන් ආදායම පහළ බැස ගියෙන් ඉඩම විකුණා දමන්නට ඒ ඉඩම් අයිතිව භුක්ති විඳිමින් සිටි පුතා තීරණය කළේ ය. ඉඩම් වෙන්දේසි සමාගමකට ඉඩම විකුණා දැම්මේ ය. ඒ සමඟම ගස් ගල් පෙරළන බර වාහන යොදා මුළු ඉඩම ම සම්පූර්ණයෙන් සුද්ධ කොට පර්චස් විස්සේ කොටස්වලට කට්ටි කඩා වෙන්දේසි කොට විකුණා දැමීය. ඉඩම මිලදී ගත් අය නව නිවාස ගොඩ නඟමින් නව ගම්මානයක් බිහි කළහ.

පියසේන ගත් ඉඩමේ නිවසට යාබදව බේකරියක් ගොඩ නැගුණි. ඒ ප්‍රදේශයට ම පාන් බනිස් නිෂ්පාදනය කොට බෙදා හැරියේ ඔහු ය. ඒ බේකරිය ගොඩ නැඟුයේ ද එතැන තිබූ පැරැණි නිවස කඩා පොළවට සමතලා කිරීමෙනි.

දිනකට පිටි මිටි හතරක පමණ කෑම නිෂ්පාදනය කරන ඔහුගේ බේකරියේ දිනක් පිටි මෝලිය නරක් වූයේ ය. පිපුණේ නැත. එදා පිටි මෝලිය ඉවත දමන්නට සිදුවූ අතර එයින් වෙනත් ආහාර නිෂ්පාදනය කරන්නට පවා නොහැකි විය. එදා ඔහුගෙන් පාන් මිලදී ගත් වෙළෙන්දෝ පවා අසීරුවට පත් වූහ. දෙවැනි දිනයේ ඉතා පරීක්ෂණකාරීව විශේෂ අවධානයෙන් බක්කරේලා උනන්දු කරමින් පිටි මෝලිය සකස් කළත් එදා ද එසේ ම විය. තුන් වැනි දිනයේ තමන් භාවිත කළ ඊස්ට් වර්ගය පිළිබඳ විශේෂඥයන් පවා ගෙන්වා පිටි මෝලිය සකස් කළ ද එදා ද එසේ ම විය.

ඉතා වේදනාවට හා කම්පාවට පත් පියසේන මුදලාලිට හා බිරියට දෙවියන් බුදුන් සිහිපත් විය. ඔවුහු ගමේ පන්සලට ගියහ. පන්සලේ හාමුදුරුවන් මුණ ගැසී බෝධි පූජාවක් පැවැත්වූහ. බෝධි පූජාව පවත්වන අවස්ථාවේ පියසේන මුදලාලි ගේ බිරිය ප්‍රලය වූවා ය. හඬන්නට වූවා ය.

“කව්ද? මේ”

“මට බඩගිනියි පිපාසයි”

“ඒ මොකද?”

“අනේ! හාමුදුරුවනේ! මම ජීවත්ව ඉන්දැද්දි දන් පින් කළේ නෑ. හම්බ කරන්නමයි තණ්හාව තිබුණේ. දන් පැන් නුදුන් නිසා මම දැන් සා පිපාසාවෙන් පෙළෙනවා.

“මේක පන්සලක්. දැන් මෙතන කෑම හදන්න කෙනෙක් නෑ. දැනට මේ පැන් ටික බී පිපාසය සංසිඳවා ගන්න.”

“එහෙමයි හාමුදුරුවනේ.”

පැන් භාජනයක් දුන් විට එයින් ලීටරයක් පමණ ඇය බී ගෙන බීගෙන ගියා ය.”

“ඉතින් දැන් අපි නැවත කතා කරමු. ඉතින් ඔය කතා කරන්නේ කව්ද කියලා කියන්නකෝ.”

“හාමුදුරුවනේ! මම පීරිස් මුදලාලි”

“ඇයි? ඉතින් මේ අයට කරදර කරන්නේ”

“හාමුදුරුවනේ, මම හරිම වේදනාවෙන් තරහෙන් ඉන්නේ. මගේ ඉඩකඩම් ඔක්කොම විනාශ වෙලා. අන්තිමේ මගේ පරණ ගෙදරට වෙලා හිටියා. මේ අය ඒකත් කඩා දාලා අලුත් ගෙයක් හැදුවා. මම ඒකට වෙලා ඉන්න කොට මේ ගෑනි මට කරදර කරනවා. හිරිහැර කරනවා.”

මොකක්ද කරපු කරදරය. හිරිහැරය.”

“හාමුදුරුවනේ! මේ ගෑනි මොනවද ගාථා වගයක් කියා හැමදාම උදේට හවසට ගේ පුරා දුම් අල්ලනවා. ඒක මට දරාගන්න බැහැ. මට වෙන යන්න තැනකුත් නෑ.”

“ඇයි යන්න තැනක් නැත්තේ?”

“හාමුදුරුවනේ! මම ජීවත් ව ඉන්දැද්දී අනුන්ගෙ ඉඩකඩම් තණ්හාවෙන්, කපටි කමෙන් අසාධාරණව සුළු ගණන්වලට අයිති කැර ගත්තා මිසක් දනක් පිනක් කළේ නෑ. දුප්පතෙකුට ගෙයක් හදාගන්න, පන්සලකට, ආරාමයකට, කුටියක් හදාගන්න ඉඩමක් ගන්න උදව්වක් කළේ නෑ. අඩුම ගණනේ මගේ මැරිච්ච අම්මා තාත්තා වෙනුවෙන් පැදුරක් කොට්ටයක් පවා පූජා කළේ නෑ. ඒ නිසා මට දැන් ඉන්න තැනක් නෑ.”

ඉතින් ගමේ සොහොනට යන්න පුළුවන් නොවැ.”

“බැහැ හාමුදුරුවනේ. මම එතැනට ගියා. එතැන ඉන්න අය මාව පන්නා ගත්තා. පලයං... පලයං... අපටත් ඉන්න ඉඩ නැතුවයි ඉන්නේ, උඹ මළ පෙරේතයා... කාටවත් කිසි දෙයක් නුදුන්න පෙරේතයා. තෝ මනුස්ස ලෝකයේ ඉන්දැද්දිත් මළ පෙරේතයා... කියලා මාව එළවා ගත්තා. ඉතින් මම මගේ ගෙදරට ආවා. මේ උදවිය ඒකත් කඩා බිඳ දැම්මා. ඊට පස්සේ මේ අයගෙ බේකරියට වෙලා හිටියා. පාන් බනිස් අත ගාලා සතුටු වුණා. ඒවයෙ සුවඳ ආඝ්‍රාණය කළා. හැබැයි මාළු පාන්, බිත්තර, රෝල්ස් බඳින සුවඳට ඛ්රිම කැමතියි. ඒත් මෑතක ඉඳලා මේ ගෑනි උදේ හවස දුම් අල්ලන්න පටන් ගත්තා. මට ඒක හරිම හිරිහැරයක් වුණා. ඒකයි මම පිටි මෝලිය නරක් කළේ, “මගේ ගෙදර මගේ ඉඩමේ මට උවමනා විදියට ඉන්න නැති වෙන කොට මට කේන්තියි හාමුදුරුවනේ.”

“මේ ස්ථානය බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය පිහිටි ස්ථානයක්. මේ කතා කරන්නේ හාමුදුරු කෙනෙක් මම කියන දේ පිළිගන්නවා ද?”

“එහෙමයි හාමුදුරුවනේ”

“ඇයි? තමුන්ගෙ දරුවන් ළඟට නොයන්නේ?”

“හාමුදුරුවනේ! උන් මම හිතපු විදියට ඉගෙන ගත්තේ නෑ. මගේ ඉඩකඩම් දියුණු කළේ නෑ, උන් දැක්කා ම මගේ වේදනාව වැඩි වෙනවා. අනිත් එක හාමුදුරුවනේ මගේ ගේ තියෙද්දී මම මොකටද උන් ළඟට යන්නේ කියලා මම මෙතනට ආවා. ඉතින් මේ බේකරියෙ කෑම සුවඳ, මාළු, බිත්තර උයන බදින සුවඳ නිසා මම මෙතනම හිටියා.”

“පීරිස් මුදලාලි!”

“ඇයි”

“තමුන් දැන් හොඳට හිතාගන්න මම කියන දේවල්. තමුන් දැන් පීරිස් මුදලාලි නොවෙයි, තමුන් දැන් මළ පෙරේතයෙක්. මේ ඉඩමත් ගෙයත් මේ පියසේන මුදලාලිගෙ.

ඒ අය තමන් හරි හම්බ කළ මුදල් දීලයි මේ ඉඩම ගත්තේ. තමුන්ගේ මුදල් වියදම් කරලයි මේ ගේත් බේකරියත් හදා ගත්තෙ. දැන් තමුන්ට මෙතන ඉන්න කිසිම අයිතියක්, නීතියක්, සාධාරණයක් නැහැ. තමුන් වගේ නෙමෙයි මේ අය. දන් පින් කරනවා.

උදේ හවස මල් පහන් පුදා බුදුන් වඳිනවා. තමුන් මනුස්ස ලෝකයේ ඉන්දැද්දී පින් දහම් කළෙත් නෑ. දැනුත් මේ අයට හිරිහැර කර පව් පුරවා ගන්නවා. දැන් හිතා ගන්න ඔය ප්‍රේත ආත්මයෙන් අවීචි මහා නරකාදියට ගොස් තවත් කල්ප ගණනක් දුක් විඳිනවාද? එහෙම නැත්නම් මම මේ අයට කියා දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අරගෙන හොඳ බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහින් පින් දහම් දන් පින් දැකලවත් සතුටු වෙනවාද කියා.”

“හාමුදුරුවනේ! මම එහෙනම් පින් අරගෙන පුතාලගෙ ගෙදරට යන්නම්”

“එපා... එපා... ඒකත් වැරදියි. අපි හෙටම හාමුදුරු හතර පස් නමකට දානයක් දී තමුන්ට පින් අනුමෝදන් කරවනවා. ඒ පින් අනුමෝදන් වෙලා ඔය ඉන්න දුගතිගාමී ආත්මයට වඩා ටිකක් ඉහළට යන්න පුළුවන් වෙයි. අනුරාධපුරය වගේ පූජා භූමියකට ගිහින්...

“සාධු... සාධු... සාධු” අපේ හාමුදුරුවනේ මම ජීවත්ව ඉන්නකම් වන්දනාවක ගියෙත් නෑ. එහෙම වන්දනාවෙ යන කෙනෙකුට උදව් කළෙත් නෑ. මම අනුරාධපුරය දැකලත් නෑ මම සතුටුයි මම සතුටුයි මම අනුරාධපුරේ යන්තම් හාමුදුරුවනේ”

“ඔව්, ඔව්, එහේ ගිහින් සැදැහැවතුන් කරනා පුද පූජාවලට අත හිත යොමු කරලා සතුටු වෙන්න පුළුවන්”

පියසේන මුදලාලි ස්වාමීන් වහන්සේ සත් නමකට දානයක් පසු දින ම සූදානම් කළේ ය. එදා බේකරියේ පිටි මෝලිය නරක් වූයේ නැත.

තමන් පදිංචිව සිටි ගම්මානයේත්, අහල පහළ නිවෙස්වලටත් පසු දින උදේ පාන්දර නොමිලයේ පාන් බෙදා හැරියේ ය. එදින දහවල් සාංඝික දානයක් පිරිනමා පීරිස් මුදලාලිගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදනා කළහ. පැන් වඩා අවසන් වනවිටම “අනේ, මගෙන් සිද්ධ වුණ වැරදිවලට මට සමාව දෙන්න. මට දැන් හරිම සතුටුයි... මම මෙච්චර දවස් හිටියේ අමු නිර්වස්ත්‍රයෙන්. දැන් මට ඇඳුම් ලැබුණා. ආහාර පාන ලැබුණා. මට සතුටුයි. සතුටුයි, අපේ හාමුදුරුවනේ! මං යනවා. මං යනවා... මම ආයෙත් කරදර කරන්නෙත් නෑ. ආයෙත් එන්නෙත් නෑ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා. සාධු... සාධු... සාධු... කියා පියසේන මුදලාලිගේ බිරියගේ මුවින් කියැවිණි.

එදා පටන් පියසේන මුදලාලි ද ජීවිතයේ යථාර්ථය වටහා ගෙන වෙනදාටත් වඩා දනට පිනට යොමු විය. පොහොය දින සිල් සමාදන්වීමට පවා පෙළැඹිණි. මේ ගම්මානයේ අනිකුත් නිවෙස්වල අය ද මේ සිද්ධිය ආරංචි වී “සමහර භූ®තයෝ බොරු කියනවා. ඔය මළ පෙරේතයා අපේ ගෙවල්වලට රිංගාවි ද දන්නෙත් නෑ...” යි කියමින් තව තවත් දනට පිනට යොමු වූහ.

මතුගම මහින්ද විජේතිලක
Free HTML Blog 4u