Wednesday, November 24, 2010

වෙඩි තියපු එක සාධාරණ වෙන්නේ කොහොමද

“ප්‍රේතිය! නුඹේ මුහුණේ සම ගැලවී ගොස් ලේ මස් ප්‍රදර්ශනය වෙනවා. සම නැති නිසා බලන්න ඉතා ම අප්‍රසන්නයි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ” යි මාතලේ පඤ්ඤානන්ද හිමියෝ තමන් වහන්සේ ඉදිරිපිට පෙනී සිටි ප්‍රේතියගෙන් ප්‍රශ්න කළහ.

“ස්වාමීන් වහන්ස! මේකට තමයි කර්ම විපාකය කියන්නේ” යි ප්‍රේතිය උත්තර දුන්නා ය.

“පාප කර්මයක විපාකයක් බව මට තේරෙනවා. මට දැන ගන්න උවමනා නුඹට මෙහෙම වෙන්න හේතු වූ පාප කර්මය කුමක්ද? යන්නයි”

“ස්වාමීනි; මම මේකප් දැම්මනෙ. ඒකයි”

“ස්ත්‍රීන් මුහුණේ යම් යම් දේ ලස්සනට ආලේප කරනවා. ඒක ස්වභාවයක්. ඉතින් ඒ ආලේප කිරීම ඔය තරම් බරපතළ පාපයක් දැ” යි නැවතත් පඤ්ඤානන්ද හිමියෝ ඇසූහ.

“නැහැ ස්වාමීනි! මෙතැන බරපතළ පාපය වුණේ ඒවා ආලේප කිරීම නොවෙයි. ආලේප කිරීමට හේතු වූ චේතනාවයි නරකට හිටියේ” යි ප්‍රේතිය කීවා ය.

“මොකක්ද නුඹට තිබුණු චේතනාව“

“ස්වාමීනි! මගේ නම යමුනාවතී. මම මිනිස් ලෝකයේ ජීවත්වෙද්දී මගේ මුහුණේ ලප කැළැල් අප්‍රසන්නව තිබුණා. පිරිමි මා දිහා බැලුවේ නෑ. මට හිතුණා පිරිමින් රවටා ගන්නට මුහුණ ලස්සන කැර ගන්නට. අන්න ඒ රැවටීමේ චේතනාවෙන් මුහුණේ වර්ණ ආලේප කළ නිසයි මෙසේ මුහුණේ හම නැතුව ප්‍රේතාත්මයක ඉපදුණේ” යැයි ප්‍රේතිය කීවා ය.

ඇය රජයේ රැකියාවක් කළ විවාහක කාන්තාවකි. ඒ තරම් සාර්ථක නොවූ දුර්වල විවාහ ජීවිතයක් නිසා අනියම් සම්බන්ධතා පවත්වාගෙන යෑමට අවශ්‍ය බැවින් විලාසිතාවලින් අලංකාරව ජීවත් වූ කාන්තාවකි.

මරණයෙන් පසු ඇය පවුලේ ම ඥාතිවරියකගේ ශරීරයට ආරූඪ වී පඤ්ඤානන්ද හිමියන් ඉදිරියේ මෙසේ කතා කළා ය. මේ ප්‍රේතාත්මය ආරූඪ වූ කාන්තාව ඇගේ අල්මාරි බදාගෙන ආසාවෙන් අත ගාන්නටත්, සාරි පපුවට තබා තුරුලු කැර ගන්නටත් වූවා ය.

“හාමුදුරුවනේ! ඔබ වහන්සේ අසනීපවෙලා ඉස්පිරිතාලෙ වැඩ ඉන්න කොට මමයි දුවයි බලන්න ආවා මතකද? මම ජෙලි හදාගෙන ඇවිත් පූජා කළා මතකද?” යැයි ද ඇසුවා ය.

“ඔව්! ඔව්! මට හොඳට මතකයි. ඒවා හොඳ පින්කම් නෙ. ගිලනුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීම, කුසලයක්නෙ.” ඉතින් ඇයි මේ වගේ ආත්මයක උපන්නෙ?” හාමුදුරුවෝ ඇසූහ.

“හාමුදුරුවනේ! ඒ පින් සිතුවිලි යටකර ගෙන මැරෙන කොට අකුසල් සිතුවිලි ප්‍රබලව මතුවුණ නිසා මම දුගතියේ ඉපැදුණා.”

“ඔව්, ඔය හැම දේකට ම හේතු වුණේ තණ්හාවනේ. ඕක තමයි තණ්හාවේ ආදීනව ය” යැයි පඤ්ඤානන්ද හිමියෝ ප්‍රේතියට බණ දේශනා කොට කරුණු පැහැදිලි කළහ. ඇගේ අල්මාරිවල ඇති වටිනා සාරි දුප්පත් අයට පරිත්‍යාග කරන්නට ප්‍රේතිය කැමැති වූවා ය. දින පහක් ඇතුළත ඒ සාරි පරිත්‍යාග කොට ඇයට පින් අනුමෝදනා කරන බවට ඇගේ ඥාතිහු පඤ්ඤානන්ද හිමියන් ඉදිරියේ පොරොන්දු වූහ. ඒ දින හත ගත වනතුරු ප්‍රේතියට පන්සල් භූමියේ නතර වී සිටින්නට හාමුදුරුවෝ අවසර දුන්නා.

ඒ අනුව ප්‍රේතිය නතර වී පින් බලාපොරොත්තුව සිටියා ය. එහෙත් ඇගේ ඥාතීහු ඒ පොරොන්දු ඉටු නොකළ බැවින් හත් වැනි දිනයේ පඤ්ඤානන්ද හිමියන් ගේ ආවාස කුටිය ඉදිරිපිට ප්‍රේතිය පෙනී සිටියා ය. එහිදී ඇති වූ සාකච්ඡාවයි ඒ. ප්‍රේතිය නැවතත් පන්සල් භූමියෙන් ඉවත්ව ගියා ය.

මේ ඊට වඩා වෙනස් කතාවකි. ජයන්ත ප්‍රසන්න තරුණයෙකි. ඔහු නිතර එළඹෙන කරදර නිසා කේන්ද්‍රය ද රැගෙන විත් පඤ්ඤානන්ද හිමියන් මුණ ගැසුණේය. කේන්ද්‍රය පරීක්ෂා කැර බැලූ උන්වහන්සේ “පුතා මේ කාල පරිච්ඡේදය බොහෝම අපලයි. පාපමිත්‍ර සේවනයේ යෙදෙන්න එපා. රෑ පානේ ගමන් බිමන් යන්න එපා” යැයි අවවාද කළහ.

ඒ පශ්චාත් මැතිවරණ අපරාධ බහුල වූ සමයකි. ජයග්‍රහණය කළ පක්ෂයේ අය පරාජිත පක්ෂයේ ආධාරකරුවන් ගේ ගෙවල් කඩා බිඳ දැමූහ. ගිනි තැබූහ. ජයන්ත ජයග්‍රහණය කළ මන්ත්‍රීවරයා ගේ වාහනයක රියදුරු ලෙස කටයුතු කළේ ය.

ඒ වාහනයේ නැගගත් දාමරික පිරිසක් ගෙවල් ගිනි තබමින් පරාජිත පක්ෂයේ ආධාර කරුවන්ට හිංසා පීඩා කරන්නට විය. මේ පිරිස එවැනි නිවසකට කඩා පැන්නේ ය. ඒ නිවෙසේ හිමියා ග්‍රාමාරක්ෂකයෙකු වූ අතර ඔහු දක්ෂ වෙඩික්කාරයෙක් ද විය. ඔහුගේ බිරිය රූමත් තරුණ කාන්තාවක් විය. ජයන්ත පැද වූ වාහනයෙන් බැස ගත් දාමරිකයෙක් ඒ නිවසට ඇතුළු විය.

“ඩෝං...” වෙඩි හඬක් නිකුත් විය. සියල්ල නිශ්ශබ්දය. දෙවැන්නා ද ගෙට ඇතුළු විය.

“ඩෝං...” වෙඩි හඬත් සමඟ “බුදු අම්මෝ...” යි ඇසුණි. ජයන්තට සියල්ල ඇසුණි. සිදු වූ දෙය ඔහුට සිතා ගත හැකි විය. ඔහු සමඟ පැමිණි දෙදෙනාට වෙඩි වැදුණු බව සිතා ජයන්ත ගෙට එබී බැලුවේය. ජයන්ත ද ගෙට ඇතුළු විය. තුන් වැනි වෙඩිල්ල ද පත්තු විය. වාහනයේ පැමිණි අනිත් පිරිස පලා ගියහ.

මාස කීපයකට පසු ජයන්තගේ අක්කා අසනීප වූවා ය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද තැන මාතලේ පඤ්ඤානන්ද හිමියන් වෙත කැඳවා ගෙන යනු ලැබිණි. එහිදී ඇය වෙව්ලන්නටත් හඬන්නටත් වූවා ය.

තත්ත්වය වටහා ගත් පඤ්ඤානන්ද හිමියන් ප්‍රශ්න කරන්නට වූහ.

“කවුද මේ ඇඟට රිංගා ගෙන ඉන්නේ?” යි අසන විට ඇය උඩු බැලි අතට දිග ඇදී නළල අල්ලා ගෙන හඬන්නට වූවා ය.

“කවුද මේ? කතා කරන්න. කතා කරන්න”

“අනේ! හාමුදුරුවනේ! ඔබ වහන්සේ මට පාප මිත්‍ර සේවනයෙන් ඈත් වෙන්න අවවාද කළා. රාත්‍රි ගමන් යන්න එපා කියලා අවවාද කළා. එදා රෑ 12 විතර වෙනකම් ඔබ වහන්සේ මට හුඟක් අවවාද කළා මට මතකයි. මේක සාධාරණයි. මේක සාධාරණයි”

“මොකක්ද සාධාරණ?”

“අපට වෙඩි තියාපු එක”

“වෙඩි තියාපු එක සාධාරණ වෙන්නේ කොහොමද?”

“ඇයි හාමුදුරුවනේ! අපේ යාලුවෝ එදා හොඳට අරක්කු බීලා හිටියේ. ඡන්දෙ දිනාපු සතුටට ලොක්කා අපට බොන්න දුන්නා. අපේ අය පැරදුණු අයගේ ගෙවල් ගිනි තියමින් ස්ත්‍රී දූෂණ කරමින් ඇවිද්දා. උන් ගියේ මං එළවපු වෑන් එකේ.

නිමල් අනිත් පාටියේ මිනිහනෙ. නිමල්ගෙ ගෑනිත් ලස්සනයි. අපේ එකෙක් නිමල්ගෙ ගෙට පැන්නා. පනින කොටම නිමල් වෙඩි තිබ්බා. තව එකෙක් ගෙට පැන්නා. ඌටත් වෙඩි තිබ්බා. දැන් කිසිම සද්දයක් නෑ. මම ගියා උන් දෙන්නව උස්සගෙන වෑන් එකට දා ගන්න. මම ගෙට ඇතුළු වෙනකොටම මටත් වෙඩි තිබ්බා. මගේ නළලට වෙඩි වැදුණා.”

නිමල් හිතුවෙ මමත් ගෙට ගියේ අපරාධ කරන්න කියලා. ඒ නිසා මටත් වෙඩි තිබ්බා. නිමල් සාධාරණයි කිව්වේ ඒකයි.”

“ඉතින් ජයන්තට වෙඩි වැදිල මොකද වුණේ?” නැවතත් හාමුදුරුවෝ ප්‍රශ්න කළහ. “මගේ නළලට වෙඩි වැදුණා. මාව වැටුණා. නළලෙන් ලේ ගලන විට, එක එක මාදිලියේ යක්ෂ පැටව් ආවා. උන් මගේ නළලේ තුවාලයෙන් ගලන ලේ උරා බීවා. උන් පොර කකා ලේ බිව්වා. මේ යක්ෂ පැටව් මගේ ලේ උරා බොන ගමන් “වරෙන් අපි ළඟට” කියා මට කීවා.

“මං වේදනාවෙන් කෑගැහුවා. මට දරුණු පිපාසයක් ඇති වුණා. මම වතුර ටිකක්... වතුර... වතුර කියා කෑ ගැහුවා. නිමල් ඇවිත් “තොට දෙනවා වතුර” කියලා මගේ ඔලුවෙන් අල්ලලා පොළවේ ඇණ ගෙන ඇණගෙන ගියා. මං මළා. මං තරහ නෑ හාමුදුරුවනේ. නිමල් සාධාරණයි.

මම මගේ යාළුවෝ කරපු වැඩ අනුමත කරන්නේ නෑ. උන් වැරදියි. උන් අපරාධ කළේ. ඒත් උන් කතා කළාම මට නොගිහින් බැරි වුණා. මමත් බීලනෙ හිටියෙ. බීමත්කම නිසා වෙඩි වැදුණු යාළුවන් උස්සාගෙන එන්න මම ගියා. ඒ මගේ මෝඩකම. අනිත් අය පැනලා ගියා. ඔබ වහන්සේ එදා මගේ කේන්ද්‍රය බලා දීපු අවවාද පිළිගත්තා නම් ඒ අවවාදවලට අනුව වැඩ කළා නම් මට මේ විපත්තිය වෙන්නේ නෑ” යි භූතාත්මය ඉතා සාධාරණව සත්‍යය කතා කළේ ය.

“ජයන්ත දැන් කොහෙද ඉන්නේ?”

“හාමුදුරුවනේ! මම අහසේ පා වෙවී හිටියා.”

“ඊට පස්සේ මොකද වුණේ?”

“හාමුදුරුවනේ! මම මැරිලා හරි කල්පනාවක් නැතුව ඉබාගාතෙ යමින් හිටියා.”

“ඊට පස්සේ?”

ඊට පස්සේ අපේ ගෙදර අය හත් දවසෙ බණ කියවන පිංකම මට දැනිල මම ඉබේම ගෙදරට ඇදිලා ආවා. ඊට පසුවදා දානෙන් පස්සෙ මගේ කල්පනාව ටික ටික මතු වුණා. මම අහසේ පාවෙන බව මට දැනුණා. තුන් මාසෙ දානෙන් පස්සෙ මට පින් දුන්නාම මට තවත් ශක්තිය ලැබුණා.”

“ඉතින්?”

“ඉතින්” මට උවමනා වුණා ඔබ වහන්සේ එක්ක කතා කරන්න. මම මගේ අක්කගෙ ඇඟට රිංගුවා. මම රිංගුවාම අක්කා විකාර වුණා. ඊට පස්සෙ ගෙදර අය ඔබ වහන්සේව හොයාගෙන වදාකඩ නාගනේ පන්සලට අක්කව එක්කර ගෙන ආවා. මට ඔබ වහන්සේට මේ විස්තරේ කියා ගන්න උවමනා වෙලයි හිටියේ” යි භූතාත්මය සියල්ල විස්තර කළේ ය.

“ඉතින් ජයන්ත අක්කගේ ඇඟේ දිගටම ඉන්න ද කල්පනාව?”

“නෑ හාමුදුරුවනේ! මම යනවා යන්න”

“කොහාටද යන්නේ?”

“හාමුදුරුවනේ, මම පව් කළේ නෑ. කාටවත් වැරදි කළේ නෑ. මගේ පූරුවේ කර්ම විපාකයකට යි මට මෙහෙම වුණේ. මම දැන් නිදහස්. මට හරි සතුටුයි. මම ආයෙත් මනුස්ස ලෝකේ උපදිනවා.

“ජයන්ත කොහේද උපදින්නේ??”

“මම දැන් තැනක් හොයාගෙන ඉන්නේ”

“ඒ කොහේද?”

“හාමුදුරුවනේ! මගේ හොඳම යාළුව සරත්නෙ. සරත් මගේ මරණය ගැන හරියට දුක් වුණා. මං වෙනුවෙන් පිංකම් කළා. මම සරත් ගෙ නෝනා නාලනීගේ බඩේ උපදිනවා” යි භූතාත්මය කීවේය.

මාතලේ පඤ්ඤානන්ද හිමියෝ නාගනේ ශ්‍රී සීවලී විහාරයේ බෝධි පූජාවක් ද පවත්වා ජයන්තට පිං දුන්හ. හරියටම එයින් මාස නවයක් ගිය තැන සරත්ටත් නාලනීටත් පුතෙක් උපන්නේ ය.

ජයන්ත ගේ කුඩා කාලයේ පින්තූරයත්, සරත්ගේ අලුත උපන් දරුවාත් එක හා සමාන හැඩහුරුකමෙන් යුක්ත විය. වෙනසකට තිබුණේ ජයන්තගේ නළලට වෙඩි වැදුණු තැන දරුවාගේ නළලේ ලපයක් තිබීම පමණි.

මාතලේ පඤ්ඤානන්ද හිමියෝ මේ ගවේෂණයේදී කරුණු කීපයක් අනාවරණය කරති.

1. හඳහනක අපල යනු පූර්ව අකුසල කර්ම විපාකයි. ඒ අතීත කර්මයේ බලවත්කම අනුව අනුන්ගේ උපදෙස් පරිදි වෙනස්වන්නට සිත ඉඩ නොදේ. නැතහොත් පරිසරය විසින් විපාකයට පසුබිම සකස් කරයි.

2. පාපමිත්‍ර සේවනය කෙනෙකුගේ විනාශය අනිවාර්ය යෙන් ම ළං කරයි.

3. මෙවැනි හදිසි මරණවලදි යක්ෂයෝ සහ යක්ෂ පැටව් ලේ උරා බොති. එසේ ම ඔවුන් මරණකාරයා ද තමන් සිටින තැනට ගෙන යන්නට කැමති ය. ඒකයි ඒ යක්ෂ පැටව් “වරෙන් අපි ළඟට” යැයි කීවේ.

4. මළගිය කෙනෙකු වෙනුවෙන් ධාර්මිකව සිදු කරන දානය මහත් ප්‍රයෝජනවත් දෙයකි. ඒ පිංකම මස් මාලු කරවල බිත්තරවලින් තොරව, නිවසේ අය සුරාපානයෙන් තොරව සිදු කළොත් මරණකරුට ද නිවැසියන්ට ද යහපතක් ම වේ.

5. හැම කෙනෙක් ම මැරෙන විට අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ අය ඔහු කරා පැමිණෙති. ධම්මික උපාසක තුමා මිය යන විට දෙවියෝ දිව්‍ය රථ එවූ කතාව බුදු දහමේ සඳහන් වේ. පව් කරන අය කරා නිරයේ නිරි සතුන් පැමිණේ. සමහරු ළඟට ප්‍රේතයෝ ද, ලේ ගලන තැන්වලට යක්ෂයෝ ද පැමිණෙති.

මාතලේ පඤ්ඤානන්ද හිමියෝ කිසිම අය කිරීමක් නොකර නොමිලයේ ම රෝගීන් සුවපත් කරති. බෝධි පූජා සහ භාවනා ශක්තියෙන් එසේ කරති. මුදල් අය නොකරති.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/09/26/_art.asp?fn=aw1009261

No comments:

Post a Comment

Free HTML Blog 4u