Wednesday, November 24, 2010

ඔයාගෙ මෝඩකමට අහු වුණේ ඌ පැනලා යන්න ඇති

ජීවිතය සැප විඳීම සඳහා යැයි සිතන පතන පුද්ගලයා කා බී පසිඳුරන් පිනවා සතුටුවීමට උත්සාහ කරයි. එහෙත් ඒ සතුටින් සෑහීමකට පත් නොවී තවත් කෙනෙක් තමන්ට වඩා සතුටු වන ආකාරය දැක එසේ තමනුත් සතුටුවීමට උත්සාහ කරයි. එසේ සතුටුවීමට ඇති අපහසුතාව නොහැකියාව නිසා දුකට හා පීඩාවට පත් වෙයි. මෙහිදී මේ පුද්ගලයා සතුටුවන්නේත්, ඊට වඩා තවත් සතුටක් ලබන්නට උත්සාහ කරන්නේත් කා බී විනෝදවීමෙනි. ඒ සඳහා කය පිනවීමෙනි.

තවත් කෙනෙක් ගේ දොර ඉඩකඩම් හිමි කැර ගෙන සතුටු වෙයි. ඒ ලද ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවී තව තවත් දේපළ රැස් කරන්නට වෙහෙසෙති. කොයි තරම් රැස් කළ ද එයින් සෑහීමට සතුටකට පත් නොවේ. තව තවත් හඹා යෑමට වෙහෙසී දුක් විඳිති. කොයි තරම් කය පිනවීමේ යෙදුණත්, කොයි තරම් ගේ දොර ඉඩකඩම් හා වෙනත් භෞතික වස්තූන් රැස් කළත් ‘සිත’ සෑහීමකට පත් නොවේ. ඒ මේ කාමාවචර ලෝකයේ මිනිස් සිතේ ස්වභාවයයි.

කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ධර්මාවබෝධය යම් තරමකින් හෝ ලැබූ පුද්ගලයා ලද දෙයින් සෑහීමකට පත් වීමට හිත හදා ගනී. ඉඩ කඩම් දේපළ මෙන් ම දූ දරුවන් පිළිබඳව ද නුවණින් තීරණ ගනී. අසීමිත තණ්හාව මෙන් ම ඒ තුළින් මතුවන වෛරය හා පළිගැනීම තමන්ට ම අහිතකර වන බව අවබෝධ කැර ගනී. සීමාව ඉක්මවා ගිය ඇලීම හා ගැටීම දෙක ම මිනිස් ජීවිතය ඉක්මවා යමින් කර්මය හා විපාකය අනිවාර්යයෙන් ම සිදුවන බව පිළිගනී.

ගයාන් විසි හත් හැවිරිදි තරුණයෙකි. ඔහු හීනෙන් බය වන්නටත්, නින්දත් නොනින්දත් අතර තමන් නොදන්නා අතීතයක සටහන් දකින්නටත් විය. ඔහුගේ සිරුරේ තවත් කෙනෙකු සිටින බවත්, තමන්ගේ සිත සහ කය තවත් කෙනෙකු විසින් පාලනයට ගෙන තමන් ලවා කටයුතු කරවනු ලබන බවත් ඔහුට දැනෙන්නට විය. එසේ ම ඔහුගේ සිරුරට අරක් ගෙන සිටින පුද්ගලයා විසින් ඔහු ගස්නාවේ ඥානානන්ද හිමියන් වෙත යවන්නට පොළඹවනු ලැබීය.

එහෙත් ඔහු අතුරුගිරිය ශ්‍රී ඥානවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන විට ඥානානන්ද හිමියෝ අසනීපයක් හේතු කොට රෝහල් ගතව සිටියහ. ගයාන් උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පූජ්‍ය හඟුරන්කෙත රාහුල හිමියන් මුණ ගැසී තමන්ට තම සිත කය පාලනය කරගත නොහැකි අන්දමින් තමන්ගේ පාලනය ඉක්මවා ක්‍රියාකාරකම් සිදුවන බව ප්‍රකාශ කළේ ය. එහිදී අනාවරණය වූයේ සියවසක් පමණ අතීතයේ සිට සිදුවන ක්‍රියාවලියකි.

අදින් අවුරුදු ගණනාවකට පමණ පෙර නාවල ප්‍රදේශයේ උපත ලැබූ ගාමිණී විසි හැවිරිදි වයසට එළැඹෙන විට ශක්තිමත් ප්‍රසන්න තරුණයෙකු විය. සාමාන්‍ය පවුලක, සාමාජිකයෙකු වූ ඔහු රැකියාව සඳහා බක්කරේ කෙනෙකු ලෙස රැකියාවේ යෙදුණි.

වරින් වර විවිධ ප්‍රදේශවල බේකරිවල රැකියාව කළ ඔහු අනුරාධපුර ප්‍රදේශයේ බේකරියක ද වැඩ කළේ ය. ඔහු කවුරුන් යටතේ සේවය කළත් උනන්දුවෙන් වැඩ කළ බැවින් ආශ්‍රිතයන්ගේ ප්‍රසාදයට භාජනය වූයේ ය.

අනුරාධපුරයේ බේකරිය ගාමිණීට ද ප්‍රසන්න ස්ථානයක් විය. ඒ බේකරියේ මුදලාලිගේ රූමත් දියණිය නිර්මලී නිසා ය. ගාමිණීත් නිර්මලීත් අතර ආදරය නිර්මලීගේ වැඩිහිටියන් දැන ගත් දිනයේ පටන් ගාමිණීට පළ නොකියා පළා බෙදන තත්ත්වයක් උදා විය. නිර්මලීට ද ගෙදරින් තාඩන පීඩන එළැඹෙන්නට විය.

දිනක් පාසල් ගිය නිර්මලී වෙනදා වේලාවට ගෙදර ආවේ නැත. රාත්‍රි බේකරියේ වැඩ කටයුතුවල යෙදී උදේ නින්දට ගිය ගාමිණී දහවල් වන විට ඔහුගේ කාමරයෙන් අතුරුදන්ව සිටියේ ය. කලින් කතා කැර ගෙන සිටි පරිදි ගාමිණීත් නිර්මලීත් නගරයේ දී මුණ ගැසී පොළොන්නරුව බලා පලා ගියහ.

නිර්මලීගේත් ගාමිණීගේත් අතුරුදන්වීම නිසා කලබලයට පත් මුදලාලි තමන් දන්නා හඳුනන සියලු ප්‍රදේශවට පණිවුඩ යවා බැලුවේ ය. ගාමිණීට පොළොන්නරුව ප්‍රදේශයේ හිතවතුන් සිටි බව ද කලින් දැන සිටි බැවින් ඒ ප්‍රදේශයේ ද සොයා බැලුවේ ය. මේ දෙදෙනා පොළොන්නරුවේ ජීවත් වන බව දැන ගන්නට ලැබුණි. ඒ වනවිට තරුණ යුවළ නීතියට අනුව විවාහ වී සිටියේ ද නැත.

දින ගණනාවකට පසුව ගාමිණීත් නිර්මලීත් පදිංචිව සිටි ස්ථානය සොයා ගෙන ගිය මුදලාලි ඔවුන් දෙදෙනා මුණ ගැසුණේ ය. ‘සංසාරේ කියා ගෙන ආපු විදිහට තමයි මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ. දැන් අපේ හිතේ තරහක් නෑ. වෙන්න තියෙන දේවල් වළක්වන්න බැහැ. අන්න අරහෙ අම්මා අඬා වැලපෙනවා.

එයා දුව නැති දුක උහුලා ගන්න බැරුව එහෙ මැරෙන්න හදනවා. ඔය දෙන්නා තවම කසාද බැන්දෙත් නැහැනෙ. අපි යමු අනුරාධපුරේ කච්චේරියට ගිහින් විවාහෙත් ලියාපදිංචි කරලා ඔය මගේ බිස්නසුත් බලා කියාගෙන වැඩ කරන්න බැරියැ” යි මුදලාලි කීවේ ය. අම්මා අඬා වැලපී අසනීපවේ යැයි නිර්මලී තුළ ද දුකක් ඇති විය. තාත්තා ගේ කීම පිළිගෙන මේ දෙදෙනා නැවතත් අනුරාධපුරය බලා ඔහු සමඟ ම පිටත් වූහ.

ඔවුන් අනුරාධපුරයට පැමිණෙන විට හොඳට ම රෑ බෝ වී තිබුණි. ගාමිණී ද නිර්මලා සමඟ රාත්‍රි කෑමෙන් පසු නින්දට ගියේ පාන්දර අවදි වී බේකරියේ වැඩට උදව්වීමටත් දහවලට පියා සමඟ කච්චේරියට ගොස් විවාහය ලියාපදිංචි ඛ්ල;ම් බලාපොරොත්තු වෙනි.

ගාමිණී පාන්දර අවදි වී බේකරියට ගියේ ය. ඒ වන විට උදේට බෙදා හැරිය යුතු පාන් නිෂ්පාදනය කොට අවසන් ව තිබුණි. එහි වැඩ කළ දෙදෙනා සමඟ කතා බස් කරමින් ඉතුරු වැඩ වලට ඔහු සහභාගි වෙමින් සිටියේ ය.

“ඩහ්...” ඔහුට ඇසුණේ එපමණකි. පිටුපසින් පැමිණි කෙනෙකු දෑත බදා ගාමිණීගේ හිසේ පිටුපසට කිතුල් පොල්ලකින් පත බෑවේ ය. බිම වැටුණු ගාමිණී අත පය පොළවේ ගසමින් දඟලන්නට විය. විනාඩි පහකින් දහයකින් පමණ යම්තම් සිහිය එන්නට විය. එහෙත් කතා කරන්නටවත්, නැගී හිටින්නටවත් ඔහුට ශක්තියක් නොවීය.

“දාපල්ලා දාපල්ලා තව දර දාපල්ලා...” යි මුදලාලිගේ ගොරෝසු හඬ ඔහුට යම්තමින් ඇසෙයි.

“හා... හා.... දැන් ඇති. දැන් ඕකව උස්සපල්ලා... දාපල්ලා පෝරණුව ඇතුළට...” ඔහුට එය ද ඇසෙයි. උසුලාගත නොහැකි ඉතා දැඩි උණුසමක් නිසා හුස්ම හිර වී යන තදවීමක් සමඟ ශරීරය තද වේදනාවකට ලක්වීමත් සමඟ මුළු ලෝකයම අඳුරු වී යනු ගාමිණීට දැනුණි. බුර බුරා නැගුණු ගිනි දැල් ගාමිණීගේ මුළු ශරීරයම දවා අළු කළේ ය.

නින්දේ සිටි නිර්මලී මහා ප්‍රපාතයකින් පහළට වැටෙන අයුරු සිහිනෙන් දැක බිය වී අවදි වූවා ය. තමන් සමඟ නිදාගෙන සිටි ගාමිණී ඇය අසල නැත. බේකරිය දෙසින් පාන් තැටි එහා මෙහා කරන හඬ ඇසෙයි. ගාමිණීත් බේකරියේ වැඩට උදව් වෙනවා ඇතැයි සිතා ගත් ඇය අනිත් ඇලයට හැරී යළිත් නිදා ගත්තා ය.

උදේ අවදි වී කුස්සියට ගොස් තේ කෝප්පයක් සාදා ගෙන ගාමිණී සොයා ගියා ය. “කෝ ගාමිණී... ගාමිණී... ගාමිණී...” ඇය ඔහු සොයා බැලුවා ය.

“අපි දැක්කේ නෑ... මේ පැත්තට ආවේ නෑ...” කවුරුත් ඇයට පිළිතුරු දුන්නේ එසේ ය.

“ඌ පැනලා යන්න ඇති. ඔයාගේ මෝඩ කමට ඌට අහුවුණා. ඕකව ආයෙත් නම් මට අහු වුණොත් අල්ලලා පොලිසියට බාර දෙනවා” ය තාත්තා දුවට කීවේ ය. “අන්තිමේ දුව අමාරුවේ වැටුණා විතරයි. දැන් ඉතින් හිත හදාගන්න. වෙච්ච දේ වුණා. දැන් හිත හදා ගන්නැ”යි අම්මා ද කීවාය. නිර්මලී කිසිවක් කර කියා ගත නොහැකි වී ඇඳට වී අඬන්නට වූවා ය. “අනේ... ගාමිණී... ඇයි මට මෙහෙම කළේ. ඔයා ගිය තැනකින් එන්න ගාමිණී...” යි මුමුණ මුමුණා හඬන්නට වූවා ය.

මෙසේ දින සති මාස ගණනට එකතු විය. ඇඳට ම වී හූල්ලමින් කල් ගෙවන්නට නිර්මලීට සිදු විය.

ඇයට මුළු පරිසරය ම පාළු මූසල බවක් දැනෙන්නට විය. ඇගේ ඇඳට ඉහළින් මකුළු දැලක් බැඳගත් විශාල මකුළුවෙක් ඇය දෙස බලා සිටී. වරෙක බිත්තිය දිගේ පහළට එන මකුළුවා නිර්මලී සමීපයට පැමිණ ආපසු සිය දැළ වෙත දුව ගියේ ය.

ගාමිණී යළිත් පැමිණෙන පාටක් නැත. එහෙත් දිනපතා රාත්‍රි හීනෙන් ගාමිණී ඇය කරා ආවේ ය.

හිසෙන් ගලන ලේ සහිතව ඇයට පෙනෙන ගාමිණී යළිත් අතුරුදන් ව යයි. දිනක් වෙනදා මෙන් උදේ නිර්මලී නින්දෙන් අවදි වූයේ නැත... ඇගේ මව පැමිණ දියණියන් අවදි කරන්නට “දුවේ, දුවේ, නැගිටින්න දැන් දවල් වෙලා” යැයි කියා නිර්මලීගේ උරහිසින් අල්ලා සෙලවුව ද ඒ වනවිට ඇය මෙලොවින් සමුගෙන තිබුණි. නිර්මලී කනේරු ඇට කා සිය දිවි හානි කැර ගෙන තිබුණි.

නිර්මලී මරණයෙන් පසු සමනොළ අඩවියේ භූතාත්මයක් ලැබුවා ය. ගාමිණී නාවල ප්‍රදේශයේ ගිහාන් නමින් උපත ලැබුවේ ය. පූර්ව ආත්ම භවයක සත්ව පාලනයක් සිදු කළ කර්මයක විපාක වශයෙන් ගිහාන් වයස අවුරුදු දෙකේ දී රෝගයක් වැළඳී හදිසියේ මරණයට පත් විය.

සිය සුරතල් පුතා මිය ගිය ශෝකය ඉවසා ගත නොහැකි ව හඬා වැලපුණු මව් පිය දෙදෙනා කල්‍යාණ මිත්‍රයන්ගේ උපදෙස් පරිදි පින් දහම් හි නියැළෙමින් වේදනාව තුනී කැර ගත්හ. ඊළඟට මිය ගිය පුතු නැවතත් මේ මව් පිය දෙදෙනා ළඟම ඉපැදේවා යි ප්‍රාර්ථනා කළහ. එසේ ම ප්‍රාර්ථනා කරන ඒ දරුවා ගිහාන් පුතා මෙන් ම මන්දායුෂ්ක නොවේවායි ගිලානෝපස්ථානය හා මහලු අයට පෝෂ්‍යදායි ආහාර පානයෙන් ද ඖෂධ හා ඇඳුම් පරිත්‍යාගය ද සිදු කළහ.

මරණයට නියම වූ සතුන් මරණයෙන් මුදවාලූහ. පෙරහන්කඩ පූජාවේ යෙදුණාහ.

අඹු සැමි දෙදෙනා ම මස් මාළු කරවල ආහාරයෙන් වැළකී නිත්‍ය සීලයක පිහිටා කටයුතු සඳහා නිතර බෝධි පූජා පවත්වමින් ගිහාන් පුතුව තම කුසෙහි පිළිසිඳ ගනිත්වා යි ඒ මව ප්‍රාර්ථනා කළ අතර පියාද ඊට ම අනුගත වීය.

ගිහාන් මිය ගොස් මාස කිහිපයක දී මව නැවත ගැබ් ගත්තා ය. නියමිත කාලයේදී කලින් මිය ගිය ගිහාන් ගේ මුහුණුවර ම ලබමින් පුතෙක් උපන්නේ ය. ඒ පුතාට දෙමවුපියෝ ගයාන් යැයි නම් තැබූහ.

දැන් ගයාන් විසිහත් හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. හගුරන්කෙත රාහුල හිමියන් ඉදිරියේ දී ඔහු තම අතීතය කියාගෙන කියාගෙන ගියේ ය.

ඉතා සුරූපී තරුණියක් සමඟ ටික දිනක් අඹු සැමියන් ලෙස ජීවත් වූ බවත්, හිස පිටුපසට වැදුණු වේගවත් පහරකින් සිහිසුන් වූ බවත්, මහා ගිනි ජාලාවක් මැද දැවී, මරණයට පත් වූ බවත් පැවසීය. ඒ එක්තරා ආත්ම භවයක දී තමන් අතින් වෙඩි වැදුණු සත්ත්වයෙකු ප්‍රාණය නිරුද්ධවීමට පෙර ගින්නෙන් පිළිස්සූ පාපයට යැයි ඔහු ම කීවේ ය.

තමන්ට පෙම් කොට දින කීපයක් පවුල් කෑ බිරිය ද ජීවිතය නැති කැර ගෙන සමන් දෙවි අඩවියේ භූතාත්මයක ඉපැදී සිටින බවත්, ඇය සිය දිවි හානි කැර ගන්නට පෙර අඬා වැළපෙමින් නිදා සිටියදී ඇගේ ඇඳට ඉහළින් බිත්තියේ මකුළුවෙකු වී ඉපිද ඇය දෙස බලා සිටි බවත්, ඇගේ මරණයෙන් පසු මැරී නාවල ගිහාන් නමින් තමන් ඉපිද වයස අවුරුදු දෙකෙන් මන්දායුෂ්තව මිය ගිය බවත් අනාවරණය කළේ ය.

දැන් ගයාන්, රාහුල හිමියන්ගේ උපදෙස් පරිදි තමන් වෙනුවෙන් ජීවිතය පිදූ ආදරවන්තිය භූතාත්මයෙන් මුදවා ඉහළ තැනකට ගැනීමට බණ භාවනා කටයුතුවල යෙදෙමින් ඇයට පින් අනුමෝදන් කරමින් සිටී.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/08/15/_art.asp?fn=aw1008151

No comments:

Post a Comment

Free HTML Blog 4u