Wednesday, November 24, 2010

පෙර ආත්මයේ ගොනෙක් වූ ගොනා මහත්තයා

සොබාදහම ඉතා ම සාධාරණය. කර්මය හා විපාකය අනුව ලෝකය පවත්වා ගෙන යයි. කෙනෙක් තවත් කෙනෙකුට වරදක් පාඩුවක් වේදනාවක් සිදු කරති. ඊළඟ අවස්ථාවක මේ භවයේ හෝ පසු භවයක වරද කළ පුද්ගලයා වේදනාව විඳි පුද්ගලයාට ඊට ගැළපෙන පරිදි වන්දියක් ගෙවයි.

මේ වේදනාවට ලක් වූ පුද්ගලයා ද මේ භවයේ හෝ පෙර භවයක ඔහුට ම හෝ වෙනත් කෙනෙකුට වරදක්, පාඩුවක් හෝ වේදනාවක් දී ඇත. මෙය චක්‍රයකි. තමන් කළ පාපයේ වන්දිය තමන්ම ගෙවිය යුතුය. තමන් විසින් කරන ලද කර්මය, ඒ පුද්ගලයා අහසේ සිටියත්, මුහුද මැද සිටියත්, පර්වත කුහරයක සිටියත් එහි විපාකයට සුදුසු අවස්ථාව එළැඹි විට ගෙවන්නට සිදුවීම අනිවාර්ය ය. එයින් බේරීමට නොහැකි ය.

මේ එවැනි සිද්ධියකි. කොළඹට ආසන්න විහාරස්ථානයක දී මාතලේ පඤ්ඤානන්ද හිමියන් ඉදිරිපිට වූ සිද්ධියකි. උන් වහන්සේ ගේ වචනයෙන් ම කතාව මෙසේ ය.

මේ පන්සලට නිතර පැමිණෙන මහත්මයෙක් හිටියා. නිතර ඔලුවත් බෙල්ලත් පහතට නමාගෙනයි ගමන් කරන්නේ. ඒ වගේ ම ඒ මහත්මයාගේ ඉණේ ලොකු යතුරු කැරැල්ලක් නිතර ම තියෙනවා. මේ මහත්මයා පාරේ යන එන කොට අර යතුරු කැරැල්ලෙන් සළං සළං නාදය නිකුත් වෙනවා. මේ නාදයත් ගමන් කරන විලාසයත් නිසා ඔහු දන්නා හඳුනන අය ඔහු නැති තැන හැඳින්වූයේ “ගොනා මහත්මයා” කියා යි. හැබැයි හරි ම ගුණ යහපත් කෙනෙක්.

දවසක් මම ඇහුවා “මහත්තයා ඔය යතුරු කැරැල්ලේ සද්දය හිරිහැරයක් නොවෙයිද?” කියා.

ඔහු කීවා “නෑ හාමුදුරුවනේ, ඒක මට පුරුදුයි. මම ඒ සද්දයට ආසයි. ඒ සද්දය නැති වුණොත් මට පාලුවක් වගේ දැනෙනවා” කියා.

මේ අතරේ උතුරු ඉන්දියාවෙන් හින්දු යෝගී වරයෙක් ලංකාවට පැමිණියා. එතුමා ලංකාවේ බෞද්ධ පූජ්‍යස්ථාන වන්දනා කරන්නයි ආවේ. නතර වී සිටියේ අපේ පන්සලේ. හින්දි, ඉංගී‍්‍රසි භාෂා දෙකම එතුමාට හොඳට පුළුවන්. කිසි විටෙක නිකරුණේ කාලය ගත කළේ නෑ. බෝ මළුවේ හෝ කාමරයට වී භාවනා කළා. ඉඳ හිට තොරතුරු දැන ගන්න තියෙන ආශාව නිසා අපි ඒ යෝගී තුමාව ටිකක් කතාවට අල්ලා ගන්නවා.

මේ යෝගී තුමා හොඳට නාඩි ශාස්ත්‍රය දන්නවා. ඒ නාඩි ශාස්ත්‍රය එතුමා කැමැත්තෙන් ම මටත් ඉගැන්නුවා. ඒ වගේ ම මෝහනය කරන්නත් දන්නවා. දවසක් අර මහත්තයාව මෝහනය කළා. මහත්තයාව මෝහන නිද්‍රාවට පත් කොට පසු ගිය ආත්මයට ගෙන ගොස් කතා කළා.

යෝගී තුමා ඔහුට කතා කළා. “දැන් ඔබ කොහේද ඉන්නේ? කරුණාකර අපට කියන්න ඔබ කොහේද ඉන්නේ?”

ඔහු තාලයකට හිස දෙපැත්තට වනන්න පටන් ගත්තා. කතා කළේ නෑ. එවිට යෝගී තුමා ඒ මහත්මයාගේ මේ ආත්මයේ විඤ්ඤාණ ශක්තිය පසු ගිය ආත්මයට සම්බන්ධ කළා.

“දැන් ඔබ කොහේද ඉන්නේ?”

“මම... මම... ඉන්නේ නුගේගොඩ.”

“නුගේගොඩ කොතැනද?”

“තේමිස් අයියා ළඟ.”

“කවුද තේමිස් අයියා කියන්නේ? තේමිස් අයියා මොනවද කරන්නේ, තේමිස් අයියා ළඟ ඔබ මොනවාද කළේ?”

“තේමිස් අයියා කළේ කරත්ත රස්සාව. එයාට කරත්තයක් තිබුණා. මම එයා ළඟ වැඩ කළා.”

“තේමිස් අයියා ඔබට වැටුප් ගෙව්වා ද?”

“නැහැ”

“මොනවා? ඔබ නොමිලේ වැඩ කළා ද? ඔබට ඔහු මොනවාවත් දුන්නේ නැද්ද?”

“දුන්නා”

“මොනවාද දුන්නේ?”

“තේමිස් අයියා මට පිදුරු දුන්නා. පුන්නක්කු දුන්නා. තණකොළ දුන්නා.”

“මොනවා. ඔබ පසුගිය ආත්මයේ ගොනෙක් ද?”

“ඔව්! දවසක් බොරැල්ලෙදී ලොරියක හැපිලයි මැරුණේ.”

“ඔබ ගොනෙක් වී ඉපදුණේ ඇයි? මොකක් ද කර්ම විපාකය?” යැයි එතැන සිටි භික්ෂුන් වහන්සේ නමක් ඇසූහ.

“මම ඊට එහා ආත්මයේ ගුරුවරයෙක්. මත්පැනට ඇබ්බැහි වී සිටියා. බීමත්කම නිසා ම ණය වුණා. බොහොම දෙනෙකුට ණය වුණා. ඒ ණය ගෙවන්න බැරිවුණා හාමුදුරුවනේ. මම වැඩිපුරම ණය වුණේ තේමිස් අයියාට. තේමිස් අයියාගේ ණය නොදී මග හැරියා. ඒ නිසා තේමිස් අයියා ළඟ කරත්තය අදින්න මට සිද්ධ වුණා. මෙහෙම බර අදින වේලාවක තමයි බොරැල්ලේ දී කරත්තය ලොරියක හැපී මා මළේ. ඊට පසුව මේ මිනිස් භවයේ උපන්නා” යි ඔහු පැවසීය.

අනුන්ගෙන් ණය ලබා ගෙන ආපසු නොදී සිටින අයට මෙය හොඳ පාඩමකි. අත්‍යවශ්‍ය නොවන කාරණා පිළිබඳ පිටස්තර අයට ණය වීම මෝඩ කමකි. තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කැර ගැනීමට නොහැකි වීම ද මෝහ චරිතයක් ඇති පුද්ගලයෙකු ගේ ස්වභාවයකි. මත්පැනට ඇබ්බැහි වූවෙකුට එහි ආදීනව ගෙවන්නට සිදුවීම ද අනිවාර්ය න්‍යාමයකි.

මේ කතාව ද මාතලේ පඤ්ඤානන්ද හිමියන් අප සමඟ පැවසූ සත්‍ය කතාවකි. මාතලේ ප්‍රදේශයට අයත් නගරයක මස් කඩයක් තිබුණි. ඒ මස් කඩයේ මස් වෙළෙඳාම කළෙත් මුදලාලිම ය. දිනකට එක් හරකෙකු මරයි. හරකා මරන්නේ ද හම ගසා මස් කොට ගෙනැවිත් කඩයේ යකඩ කොකුවල එල්ලන්නේ ද ඔහු ම ය. ඉන් පසු දවස පුරා මස් විකුණන්නේත් ඔහු ම ය.

මේ සිද්ධිය වූ කාලයේ රටේ අලෙවි කරනු ලැබූයේ ශත පනහේ ලොතරැයි පත් ය. ඒ ලොතරැයියේ මුල් දිනුමට මෝටර් රථයක් හා මුදල් පරිත්‍යාග කැරිණි. මේ මුදලාලි ද දිනක් එයින් ලොතරැයි පතක් මිල දී ගත්තේ ය. පසු දින පත්‍රයේ ප්‍රතිඵල පළ වී තිබුණි. මුදලාලි පත්‍රය බැලුවේ ය. දෙයියනේ! අදහා ගන්නටත් බැරි දෙයකි. ඔහු මුල් දිනුම ජය ගෙන තිබුණි. මුදලාලි ලොතරැයි පත අතේ ගුලි කැර ගත්තේ ය. මස් කඩය තුළට දිව්වේය.

ඉහ වහා ගිය සතුට උහුලා ගන්නට බැරි තරම් විය. ඔහු උඩ පැන්නේ ය. දෙයියනේ! අල්ලාහ්! කොයි රම් උඩ පැන්නා ද කිවහොත් මස් එල්ලන යකඩ කොක්කේ යටි තල්ලට යටින් උගුරු දණ්ඩත් පසා කැර ගෙන යකඩ උල ඇතුළට කිඳා බැස්සේය. පැයක් පමණ ගත විය. මස් මිල දී ගැනීමට කාන්තාවක පැමිණියා ය. වෙනදා කොක්කේ එල්ලී සිටින හරක් මස් ගාතය වෙනුවට මුදලාලි එල්ලී සිටී. සියල්ල සිදු වී හමාර ය.

මේ කතාව කියවන විට හැම මස් වෙළෙන්දෙකුටම එසේ නොවන්නේ ඇයි දැයි ඔබ සිතනු ඇත. වේලාව පැමිණි විට එය සිදු වනු ඇත. මේ මිනිස් භවයේ කෙනෙකු උපදින්නේ පූර්වයෙහි කළ කුසල ශක්තීන් හේතු කොට ගෙන ය. ඒ කුසල ශක්තිය අවසන් වී හෝ දුර්වල වී අකුසල කර්මයක බලය ඉස්මතු වූ විට සිදු විය යුත්ත සිදු වනු ඇත.

එය මස් මුදලාලිලාට ම පමණක් නොවේ. බලයෙන් උදම් වන බලවතුන් ද ධනයෙන් උදම් වන ධනවතුන් ද බොහෝ දෙනෙක් බලය හා ධනය සියල්ල අභිබවා සිටිනු ඇතැයි සිතා “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යැයි පංච දුශ්චරිතයෙන් ම සීමා ඉක්මවා ඉන්ද්‍රියයන් පිනවති. පින ක්‍රියාත්මක වන විට බොහෝ දෙනෙකුට නැවත ඉපදීමක් ඇතැයි අමතක වෙති. කර්මය හා කර්ම ඵලය ක්‍රියාත්මක වෙතැයි අමතක වෙති. පූර්ව වාසනාව නිසා ලබා ගත් මිනිස් භවයෙන් ලැබිය යුතු උපරීම සුගතිගාමී ධර්ම මාර්ගය අමතක කොට “මමය” “මාගේය” “මාගේ පවුලේ අයට ම” ය “මට ම ය” යැයි අයුක්තියෙන් අසාධාරණයෙන් දේපළ රැස් කරති. ගිණුම් තර කරති. “කොතැන වුණත් නැත මරහට බාධා”. එයින් පසු කෙළින් ම දුගතියේ උපදති, කර්මයට අනුව විපාකය යෙදේ.

කර්මයන්ගෙන් සිදුවිය හැකි කාර්ය හතරක් ධර්මයේ සඳහන් වෙයි. උපතක් ලැබීමේ දී සහය වීම, විපාක දෙමින් පවතින වෙනත් කර්මයකට සහය වීමෙන් එහි ඵලය හෙවත් විපාකය වැඩි දියුණු කිරීම, වෙනත් කර්මයක විපාකයට බාධා පැමිණවීම, හා විපාක දෙමින් පවතින කර්මයක විපාකය සිඳ දැමීම හෙවත් අහෝසි කිරීම ඒ කාර්ය භාර යි.

කෙනෙකු ගේ උපත හෙවත් ඉපදවීම සිදු කරන්නේ කර්මයෙන් නොවේ. බුදු රජාණන් වහන්සේ දේශනා කැර ඇත්තේ “තණ්හා ජනේති පුරිසං” (තණ්හාව උපත සිදු කරයි) යනුවෙනි. කර්මය විසින් සිදු කරනු ලබන්නේ ඒ උපත සුබ හා අසුබ ලෙස වෙන් කිරීමය. (කම්මං සත්තේ විභජති) කුසල කර්මයත් සහාය වන්නේ කුසල කර්මයකට ය. අකුසල කර්මය සහාය වන්නේ අකුසල කර්මයට ය. විපාකයක් සිඳ දැමීමේ දී කුසල කර්මය විසින් අකුසල කර්ම විපාකයට බාධා පමුණුවනු ලබයි. අකුසල කර්මය විසින් කුසල කර්ම විපාකයට බාධා පමුණුවනු ලබයි.

මෙම සතර ආකාරයේ ඵලයන් උපදවන විට එම කර්මයන් ජනක, උපත්ථම්භක, උපපීළක, උපසාතක යන නම්වලින් හඳුන්වා ඇත.

පුද්ගලයකු කෙරෙහි කර්ම රැස්ව සිටිය දී කලින් විපාක ඉපිදවීමේ ශක්තිය කවර කර්මවලට ලැබේ ද යනු සාකච්ඡා කිරීමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ උපතක් ලබන විට සහාය වීම ය. එහි දී මුල් ම ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගරුක කර්මවලටය. එනම් බැරැරුම් කර්මවලට ය. කුසල පක්ෂයේදී පුද්ගලයා විසින් භාවනා කොට ගොඩ නඟා ගන්නා ලද ධ්‍යාන සිත් ප්‍රධාන වේ. ඒ ගරුක කර්මයයි. අකුසල පක්ෂයේ වඩාත් ගරුක ලෙස සලකා ඇත්තේ පංචානන්තර්ය කර්මයන්ය.

සෙසු කර්මයන්ගේ ශක්තියේ අඩු වැඩි කම අතින් එකකට එකක් අඩු හෝ වැඩි වන්නේ කර්මයේ බැරෑරුම්කම, බරපතළකම අනුව ය. කලින් සඳහන් කළ කුසලයක් හෝ අකුසලයක් ලෙස ධ්‍යාන සිතක් හෝ අනන්තරිය පාපකර්මයක් මරණාසන්න පුද්ගලයා තුළ නැත්නම් ප්‍රමුඛත්වය ලැබෙන්නේ මරණයට ආසන්න කාලයේ ඔහු විසින් කරන ලද ඉපිද වූ කුසලයක් හෝ අකුසලයකි. එවැන්නක් ද නැති කල ඔහු හෝ ඇය විසින් ජීවිත කාලය තුළ වැඩිපුර වාර ගණනක් කරන ලද කර්මයක් ප්‍රමුඛතාවය ගෙන එතැනට ඉදිරිපත් වී විපාකය උපදවයි.

එවැනි වැදගත්කමක් ඇති කර්මයක් නැති නම් කවර හෝ කර්මයක් එතැනට ඉදිරිපත් වී විපාකය උපදවයි. ඊට විශේෂ සාමාර්ථයක් නැත. ප්‍රධාන ආරාධිත අමුත්තා නැති වේලාවට වෙනත් කෙනෙකු මූලාසනය ගන්නා ලෙසිනි, විපාක දීමේ ප්‍රමුඛත්වය අනුව කොටස් හතරකට බෙදේ. ඒ සතර ගරුක, ආසන්න, ආචිණ්ණ, කටත්තා යනුවෙන් නම් කොට ඇත. උපතක් ඇති කිරීමේ දී මෙබඳු ප්‍රමුඛත්වයක් දිය හැකි වුව ද ඉන් අනතුරුව ජීවිතයේ අතර තුර විපාක ඉපදවීමේ දී මෙසේ ම මෙය බෙදීමට නොහැකි ය.

මේ ජීවිතයේ දී සිදු කළ ආසන්න කර්මයන් බොහෝ තිබිය දී පෙර ජාතිවල කරන ලද, උපදවන කර්ම විපාක දීම, එසේ මතුවන කුසල කර්ම විපාක දීමට හෝ අකුසල කර්ම විපාක දීමට නොයෙක් විට බොහෝ විට අවස්ථාව යෙදේ. හරක් මරණ සෑම කෙනෙකුට හෝ වේවා, බලවතෙකුට ධනවතෙකුට ස්වකීය පෙර ජාතිවල කුසල කර්ම විපාක දීමක් සිදුවන විට මේ ජාතියේ සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, රාජ්‍ය දේපල වංචනිකව අයිති කැර ගැනීමෙන්, ස්ත්‍රී දූෂණයෙන්, රැවටීමෙන් ලැබිය යුතු පාප කර්ම විපාකය ඒ අවස්ථාවේම ක්‍රියාත්මක නොවීමට පුළුවන. ඔහු තව තවත් එවැනි කර්මවලට වැඩි වැඩියෙන් යෙදෙනු ඇත. එහෙත් පසුව අනිවාර්යයෙන් ම මේ අකුසල කර්ම විපාක දෙනු ලබයි.

ධනය හා බලය එක්තැන් වූ විට මේ කාම ලෝකයේ ස්වභාවය අනුව මිනිස් සිතට ගලා එන වුවමනාවන් (තණ්හාව) ඉදිරියේ ඒ අතට ම සිතුවිලි ගලා යෑමට ඉඩ දීම ඔහු හෝ ඇය ගලන ගඟේ ජලය පහළට ම ගලා යන ස්වභාවය හා සමානව සමාජ සම්මතයන් බිඳිමින් වරදෙහි බැඳෙයි. තමන් හෝ අනුන්ට හෝ දෙපාර්ශවයට ම හෝ වරදක් පාඩුවක් හිංසාවක් අපහාසයක් සිදු වන අයුරින් යමෙක් යමක් කරයි ද එය පාපයයි. එහි දෙකක් නැත. සංශෝධන නැත. නිදහසට කරුණු නැත.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/10/24/_art.asp?fn=aw1010241

No comments:

Post a Comment

Free HTML Blog 4u