Saturday, December 4, 2010

තෙරුවන් නමදිමු.... උවදුරු දුරලමු.....

හිතවත, ජීවිතය යනු පුදුමාකාර දෙයක් බව ඔබට අමුතුවෙන් වටහා දීම අවශ්‍ය නැත.ජීවිතය ජීවත් කරවීමට ඔබ මා උදේ හවා සිදුකරන වෙහෙස මහන්සිය දන්නේ දෙවියන් පමණි. ඒ දුක්බර ජීවිතයේ අප මොහොතක් සතුටු වන විට සිය වාරයක් දුක්වෙමු. අප බලාපොරොත්තු වන යහපත් හෝ අයහපත් දේවලින් අපට ලැබෙන්නේ කීයෙන් කීයද? යහපත් දේ ලැබීනම් එහි අන්තයට යාමටද අයහපත් දේ ලැබීනම් එයට දඩුවම් වදීමටද සිදුවේ.
මේ දුබර ජීවිතයේ අයහපත් දෑ කෙසේ උවද යහපත් චේතනාවන් මුදුන් පමුණුවාගැනීමට ඔබට සහනදායී පිලිතුරක් ලබාදීමට මට හැකිවෙතැයි සිතමි. විශේෂයෙන්ම මේ ‍වෙබ් පිටුව ආරම්භවූයේද ඒ නිසාමය.
ඔබගේ ජීවිතයේ සියලු කරදර හිරිහැරයන් කම්කටොලු වෙනුවෙන් බුදු දහමින් ලැබිය හැකි විසදුම් අනන්තය. එහෙත් අවාසනාවකට මෙන් එම විසදුම් වෙනුවෙන් ගැටලු ඉදිරිපත් කිරීමට බොහෝ විට ස්ථානයක් නොමැතිය. අද බොහෝ පන්සල් වාණිජකරණය වී ඇත. ගරු ස්වාමීන් වහන්සේලා ටික නමක්ද චීවරධාරීන් විශාල ගණනක්ද ශාසනය තුල ජීවත්වීම නිසා අපට සත්‍ය සොයාගැනීමටත් ලබා ගැනීමටත් අවකාශ නැත.

එහෙත්.... අප තවම අවාසනාවන්ත නොමැත. මා ඒ ශුද්ධ භූමියේ පහස ලැබුවෙමි. දෙවියනි, සත්‍යවශයෙන්ම මා ඒ ශුද්ධ භූමියේ පහස ලැබුවෙමි. සැබෑ ලෙසින්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තෙරැවන් වැඩසිටින ඒ උත්තරීතර භූමියට මාහට යාමට අවස්ථාව සැලසුනි. මතුගම මහින්ද විජේතිලක මහතා සිලුමිණ පුවත් පතට රචනා කරන "පියවි ඇසින් ඔබ්බට " (http://www.silumina.lk/2010/11/07/_art.asp?fn=aw1011071 )විශේෂාංගය දැකීමෙන් මටද එම ස්ථානය දැක බලාගැනීමට සිත්විය. සැබැවින්ම ආශ්චර්ය මත්ය. අද්භූතය, මාතලේ ඤාණානන්ද හිමියෝ ගරු ස්වාමීන්වහන්සේ සදුදා හා අගහරැවාද දෙදින හැර සෑම දිනකම පවත්වනු ලබන බෝධිපූජා පිංකමට සහභාගි වීමට ගාල්ල මාතර, මහියන්ගණය වැනි පෙදෙස්වලින් පවා සහභාගි වී සිටියහ. බුදුදහම විකුණා මුදල් රැස්කරන මෙවන් කලියුගයක අතිපූජනීය ස්වාමීන්වහන්සේ ජාති, ආගම්, කුල, දුප්පත් පොහොසත් භේද නොසලකමින් සියලු දෙනාගේ ගැටලු වෙනුවෙන් බුදු දහමින් විසදුම් ඉිදිරිපත් කිරීම පමණක් නොව ඒවා ඉටු වූ උවසුඋවැසියන්ට ජීවිතය ඉිදිරියටත් සාර්ධක කරගන්නා අයුරැ පෙන්වා දෙති.
බෝධිපූජා පවත්වමින් යැදීම පුරුදුකල වාණිජ වාදී සමාජයක බෝධිපූජාවෙන් නියම ඵල ලබාගන්නා ආකාරය මනාව පෙන්වා දෙති. මේ උත්තම පින්බිම පිහිටියේ පොල්ගහවෙල වදාකඩ නාගනේ නම් ස්ථානයේය. සියලු දුක් කරදර කම්කටොලු මගහරවා ජීවිතය සාර්ථක කරගැනීමට අති ජූජනීය ස්වාමීන් වහන්සේ මග පෙන්වා වදාරන අතර අමනුෂ්‍ය උවදුරු මෙන්ම බෙහෙත් මගින් සුවනොවන සමහර රෝග සිය චිත්ත බලය වර්ධනය කරගනිමින් යටපත් කරගැනීමටද උන්වහන්සේ මග පෙන්වති. එහෙත් මෙය බුදුදහමින් හො පිරිතෙන් ලෙඩ රෝග සුවකරන ස්ථානයක් නොවනබව කරුණාවෙන් සිහිපත් කරමි. ස්ථානයේ වැදගත්බව තවදුරටත් පැහැදිලි කිරීමට මතුගම මහින්ද විජේතිලක මහතා සිලුමිණ පුවත් පතට රචනා කරන "පියවි ඇසින් ඔබ්බට " ලිපි කිහිපයක් මේ සමග ඵලකරමි.

සියලු සත්වයෝ නිදුක් වෙකත්වා.... නිරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා...

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

මේ ලෝකයේ මිනිසාගේ පියවි ඇසට පමණක් නොව පංචේන්ද්‍රියනට ම ගෝචර නොවන්නා වූ ක්‍රියාකාරී කම් පවතී. මේවා අතින්ද්‍රිය(ර්‍ථඒඅඒව්ර්‍ණඅර්ඒඹ්) යනුවෙන් හැඳින්වේ. සාමාන්‍ය ඉන්ද්‍රියයන්ගෙන් පිටස්තර වූ, විද්‍යාත්මක නීතීන්ට පරිබාහිර වූ සාමාන්‍ය වාස්තවික පරීක්ෂණ සීමාවන් ඉක්මවූ නිශ්චිත හා සංයුතීන් ඉක්ම වූ ආදී අරුතින් ‘අතින්ද්‍රීය’ වචනය විග්‍රහ කොට ඇත.

මේ වචනය නිර්මාණය වූයේ 1915 - 1920 අතර කාල සීමාවේ දී ය. සාමාන්‍ය අත්දැකීම් පරාසයට හා විද්‍යාත්මක තේරුම් කිරීම්වලට පරිබාහිර වූ අසාමාන්‍ය අත්දැකීම්, සම්ප්‍රදායික විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි සිද්ධීන් හා හැකියා පිළිබඳව මේ අතීන්ද්‍රිය විෂය අධ්‍යයනය කරන විද්‍යාව PARAPSYCHOLOGY යන නමින් හැඳින්වේ.

තමන් උගත් විද්‍යාවන්ට හෝ තමන් ගේ මනසට තේරුම් ගත නොහැකි සිද්ධීන් ‘ඕවා මනෝවිකාරය, බොරුය, මිත්‍යාවන්’ යැයි මඟ හැරීමට, නොතකා හැරීමට හෝ අතහැර උඩින් පැන යෑමට නොහැකි ය. ලෝකයේ බුද්ධිමත්හු මේවා පිළිබඳ විමර්ශනාත්මකව ගවේෂණය කරති. පොත් පත් ලියති.

මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනුයේ ඇස්වහ කටවහ පිළිබඳ සිද්ධියකි. මෙවැනි අසාමාන්‍ය සිද්ධීන් පිළිබඳව අප ද ගවේෂණයේ යෙදෙන අතර අඩු තරමින් මෙවැනි අතීන්ද්‍රීය සිද්ධීන් මිනිසා ගේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? එසේ ම මිනිසාට අහිතකර වූ අතීන්ද්‍රිය ශක්තීන්ගෙන් ආරක්ෂාවන්නේ කෙසේ දැයි කරුණු සාකච්ඡා කරමින් සිටිමු. මෙවැනි අත්දැකීම් පාඨක ඔබ ළඟ ද තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව කරුණාකර “මහින්ද විජේතිලක, 248 සිරි සාරානන්ද මාවත, බෝපිටිය, මතුගම’ ලිපිනයට, ඔබේ දුරකථන අංකය ද සහිතව සවිස්තරාත්මකව ලියා එවන්නේ නම් කෘතඥ වෙමි.

මේ කුරුණෑගල නාගනේ ශ්‍රී සීවලී විහාරාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියෝ අප සමඟ පැවසූ එවැනි සිද්ධියකි.

මෙය මාතලේ නාවුල ප්‍රදේශයේ සිදුවූ දෙයක්. මේ පවුලේ ඒ වන විට සිටියේ අම්මයි පුතයි දුවයි. පුතා විවාහ වී බිරියත් සම¼ඟ මහන මැෂින් ;දකක් තියාගෙන ඇඳුම් මැසීමේ යෙදුණා. මේ පුතයි ලේලියි හරිම උත්සාහ වන්තයි. ඒ වගේ ම දැහැමියි. අනුන්ගේ දේවල් හොයන්න කාලය නාස්ති කළේ නෑ. තමන්ගේ පාඩුවේ මැහුම් කර්මාන්තය කර ගෙන ගියා.

දුවත් විවාහ වී මේ මැහුම් සාප්පුවට අල්ලපු ගෙදර අම්මත් එක්ක ජීවත් වුණා. අම්මා නිතරම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්, ජීවත් වූ කෙනෙක්.

පුතයි ලේලියි දෙන්නගේ උත්සාහය, නිසා ඔවුන්ට පාසල්වල නිල ඇඳුම් මැහීමේ කොන්ත්‍රාත්තු පවා ලැබුණා. දැන් මේ අය මහන මැෂින් අටක් යොදා ගෙන අමතර සේවකයනුත් යොදාගෙන මැහුම් ව්‍යාපාරය පවත්වාගෙන ගියා. මේ අඹු සැමි දෙන්නා සේවකයින් සවස වැඩ ඇරී ගිය පසුවත් රාත්‍රි 12 - 1 වනතුරු වැඩ කළා. ඔවුන් කරන කියන හැම දෙයක් ම අම්මාට කියන්න ඕනෑ. නැත්නම් අම්මට කේන්තියි. අම්මගෙන් මේ අයට ලැබෙන සහයෝගයකුත් නෑ. ඒ වුණාට හැම දෙයක් ම ඇඟිලි ගගහා හාර අවුස්සමින් හොයනවා. මේ වැඩේ පුතාටත් ලේලිටත් හිරිහැරයක් කරච්චලයක්.

මේ අය දවසක් රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා රෙදි තොගයක් ලොරියකින් ගෙනැවිත් ටේලර් සාප්පුවට බෑවා. එදා ම රාත්‍රියේ ටේලර් සාප්පුව ගිනිගත්තා. මැෂින් අටත් සමඟ ම සම්පූර්ණයෙන් ගිනි ගත්තා. ගින්න නිවා ගන්න බැරි වුණා.

මේ ගිනි ගැනීම මහා ප්‍රහේලිකාවක් වුණා. පොලිසියට හේතුවක් හොයාගන්න තියා අනුමාන කරන්නවත් දෙයක් තිබුණේ නෑ. එදා හැන්දෑවෙ රෙදි තොගය ගෙනැත් බාපු නිසා වැඩ අධිකවීමෙන් සාප්පුවේ බුදු පහන දල්වා තිබුණේත් නෑ. විදුලි කාන්දුවකට හේතු තිබුණෙත් නෑ. ගින්න හට ගත්තේ කොහොමද කියලා හොයාගන්න විදිහක් නෑ.

මේ පුතයි ලේලියි දෙන්නා අපේ සේරුදණ්ඩාපොළ අක්කාත් එක්ක මා සොයා ගෙන ආවා. මේ වෙනකොට මම මේ සිද්ධීන් ගැන කිසි දෙයක් දැන හිටියේ නෑ. මේ අය ආවේ නිමිත්තක් බලන්න.

මම පළමුවෙන් ම මගේ නිමිති ශාස්ත්‍රයෙන් ඇහුවා “මේ අය අහන්නේ ගිනි ගැනීමක් පිළිබඳ නේදැ” යි කියා.

“එහෙමයි හාමුදුරුවනේ! අපේ ටේලර් සාප්පුවම ඉවරයි. මැෂින් අටයි. ඊයේ රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා ගෙනාපු රෙදි තොගයයි ඔක්කොම ගිනි ගත්තා හාමුදුරුවනේ. අපට උවමනා මේ ගින්න ඇති වුණේ කොහොමද? කියලා දැන ගන්නයි” කියා මේ දෙන්නා අඬ අඬා කීවා.

මම නැවතත් මේ ගින්නට හේතුව හෙව්වා. “මේ ගින්නට හේතුවක් පෙනෙන්නේ නෑ. හැබැයි දුෂ්ට හිතක චේතනාවක් පේනවා”යි මම කීවා. “එහෙම යම් කිසි දෙයක් සිද්ධ වුණා දැ” යි මතක් කර බලන්නැ” යි මම කීවා.

ඒ වේලාවේ කල්පනා කරමින් සිටි ලේලිය මෙහෙම කීවා. “ඔව්, හාමුදුරුවනේ! එදා රෙදි තොගය ලොරියෙන් බාලා ගොඩ ගහලා තියෙද්දී අම්මා ආවා එතැනට, “තොපිට හරි ගියා. තොපිට හරි ගියා. තුඞ නොදකින්” කියලා යන්න ගියා” යැයි කීවා.

මේ දෙන්නා නැවතත් රුපියල් ලක්ෂ එක හමාරක් ණය වෙලා මැෂින් ගෙනැවිත් නැවතත් ටේලර් සාප්පුව පටන් ගත්තා. දැන් මේ දෙන්නාට ළමයෙකුත් ලැබිලා.

ආයෙත් දවසක් මම රෝගීන් බලන වෙලාවේ පුංචි දරුවෙක් අඬනවා ඇහෙනවා. තොරතෝංචියක් නැතුව අඬනවා. රෝගීන් පෝලිමේ ඉන්දැද්දී මම කීවා අන්න අර අඬන දරුවාව එක්කර ගෙන එන්න කියලා.

ඇයි මේ දරුවා අඬන්නේ?” යි මම ඇහුවා.

“අනේ හාමුදුරුවනේ! අද උදේ ඉඳලා දරුවා කිරි බොන්නේ නෑ” යි ලේලිය කීවා.

“ඇයි කිරි නොබොන්නේ?” මම ඇහුවා.

“මට අද කිරි එරෙන්නේ නෑ” යි ඇය කීවා.

මට කාරණේ මතක් වුණා. “ඇයි? අත්තම්මා බලා ඉන්දැද්දි දරුවට කිරි දුන්නාද?” යි මම ඇහුවා.

“ඔව්! හාමුදුරුවනේ! මම දරුවාට කිරි දෙන කොට අම්මා එතැනට ආවා. බලා හිටියා විතරයි.”

ම වතුර ටිකක් උණු කරවා කහ මිශ්‍ර කොට බුද්ධ මන්ත්‍රයකින් පිරිත් කොට ඇයට දුන්නා. එයින් පපුව හෝදා ගෙන දරුවාට කිරි දෙන්න කියා. ඒ සැරේ දරුවා පැය බාගයක් විතර එක දිගට කිරි බිව්වා. මම උපදෙස් දුන්නා. එළියේ ඉඳගෙන අනිත් අයට පෙනෙන්න දරුවාට කිරි දෙන්න එපා ය කියා.

සතියක් ගියේ නෑ. ආයෙත් දවසක් අඬාගෙන ආවා. “අනේ! අපේ හාමුදුරුවනේ! දරුවා අදත් බඩගින්නේ අඬනවා. අද මම කාමරේට වෙලා දරුවාට කිරි පෙව්වා. අම්මා ඇවිත් දොර රෙද්ද මෑත් කර බලලා ගියා විතරයි. කිරි නැති වුණා” යි කීවා.

මම ඇයට කරුණු පැහැදිලි කළා. දුෂ්ට වෛර සිතුවිලි තියෙන අයගේ සංසාරේ පළි ගැනීම්, කළ අයගේ සිතුවිලි පවා දරුණුයි. දැන් නම් කරන්න දෙයක් නෑ. මේ අවනඩුව විශ්වයට කියන්න.

විෂ්ණු දෙවියෝ ය කියන්නේ මේ ලෝකය පවත්වාගෙන යන ආරක්ෂා කරන විශ්ව ශක්තියයි. කාටවත් වෛර සිතින් නොවෙයි. ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. මේ නංගීටත් දරුවාටත් දෙන්නාටම ඒ සාධාරණ අයිතිය තියෙනවා. දැන් අර විහාරයට ගිහින් තෙරුවන් වඳින්න. විෂ්ණු දෙවියන්ට මේ අවනඩුව කියන්න. හදවතින් ම කියන්න. අතීතයේ තමන් කල හොඳ වැඩ, පින්කම් මතක් කරමින් පින් දෙමින් කියන්න. කියා එදත් කහ දියර ටිකක් පිරිත් කර පපුවේ ගාන්න දුන්නා.

ඇයත් කහ දියෙන් පපුව සෝදාගෙන විහාරයට ගිහින් දරුවාට කිරි දෙන ගමන් ම මේ අවනඩුව විෂ්ණු දෙවියන්ට පවසන්න කිව්වා. ගෙදර යන කොට නැන්දම්මා දූගෙ ගෙදර හිරමණය උඩ වාඩි වෙලා පොල් ගාමින් ඉන්දැද්දී හිරමණෙන් වැටිලා අංශ බාධය හැදිලා. අහිංසක පැටවුන්ට දෙවියොත් ආදරෙයි. ඒ වගේ අහිංසකයන්ට පීඩා කරන කොට සොබාදහම දඬුවම් කරනවා යැයි ද පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

මේවා අපට නොපෙනෙන එහෙත් අප අතරම ක්‍රියාත්මක වන ශක්තීන්. මේ වගේ දේවල් තියෙනවා. මේ සිද්ධියත් ඒ වගේ ම දෙයක් යැයි උන් වහන්සේ තවත් කතාවක් පැවසූහ.

මේ මඩඋල්පත ප්‍රදේශයේ කෙනෙකු සම්බන්ධ සිද්ධියක්. ඔහු රැකියාව වශයෙන් කළේ සිඟා කෑම. බස් නැවතුම් පොළේ “අනේ නෝනා! අනේ මහත්තයා! මේ අන්ධයාට පිනට යමක් දෙන්න. කුසගිනි නිවාගන්න පිනට යමක් දෙන්නැ”යි ඔහු අන්ධයෙක් විදිහට හිඟා කෑවා. ඔහු ඇත්තටම අන්ධයෙක් නොවෙයි. දෑස් පියාගෙන අන්ධයෙක් විදිහට හිඟා කෑවා. බස් රථයක් ආපු හැටියේ බස් එකට ගොඩ වෙනවා. මේ විදිහට අවුරුදු ගණනාවක් හිඟා කෑවා. පාන්දර ගෙදරින් එනවා. හැන්දෑවට අන්තිම බස් එකේ ගෙදර යනවා. ගෙදර අඹුදරුවන් පෝෂණය වුණේ මේ ආදායමෙන්. ඔහුගේ බිරිය මේ ස්වාමියා දෙන මුදල් අර පරෙස්සමෙන් පරිහරණය කළා. දරුවන්ට ඉගැන්නුවා.

මෙහෙම අවුරුදු විසි දෙකක් ම මේ මනුස්සයා අන්ධයෙක් විදිහට හි¼ඟා කෑවා. ගමෙන් තරමක් ඈත බස් නැවතුම් පොළේ හිඟා කෑවා. දැන් ලොකු පුතාට වයස අවුරුදු විසි දෙකයි. හොඳ රස්සාවකුත් කරනවා.

තාත්තේ! දැන් තාත්තා දුක් විඳින්න ඕනෑ නෑ. මට පුළුවන් පවුලෙ අයට කන්න අඳින්න දෙන්න. දැන් තාත්තා ගෙදර නවතින්න. තවත් දුක් විඳින්න උවමනා නෑ” යි ලොකු පුතා කීවා. අම්මාත් කීවා.

ඒත් තණ්හාවක තරම. ලැබෙන ආදායම නතර කරන්න ලෝබයි. මේ මනුස්සයා දිගටම හිඟා කෑවා. තවත් අවුරුදු දෙකක් ගත වුණා. ඊළඟ පුතාත් මේ විදිහට ම රස්සාවකට ගිහින් තාත්තාට හිඟා කෑම නතර කරන්න කියා කීවා.

ඒත් මේ මනුස්සයා ඒ කීම ඇහැව්වේ නෑ. මේක තමයි අසීමිත තණ්හාව. හිඟා කෑම රස්සාවක් වශයෙන් කරගෙන ගියා.

ඇත්තට ම මොකද වුණේ. මේ මනුස්සයා ඉබේම ඇත්තට ම අන්ධයෙක් වුණා. දැන් ඇත්තටම අන්ධයෙක්. තවමත් හි¼ඟා කනවා.

සොබා දහම විශ්ව ශක්තිය ඉතාම සාධාරණයි. සුළු සුළු කපටිකම්වලින් ජීවත් වෙන්න උත්සාහ කරන කොට විශ්ව ශක්තිය හිනාවෙවී බලා ඉන්නවා. සීමාව ඉක්මවා යන විට දඬුවම් කරනවා.

අපේ පියවි ඇසට නොපෙනෙන එහෙත් අප අසල ම ක්‍රියාත්මක වන බොහෝ දේවල් තියෙනවා. ඒවා පිළිබඳ උගතුන් ගේ බුද්ධිමතුන් ගේ අවධානය යොමු වීම අඩුයි.

ඒ වගේ අප දන්නා ගුරුවරියන් හිටියා. පවුලේ අය ගෙනා යෝජනාවක් අනුව විවාහ වුණා. මේ ස්වාමි පුරුෂයා බොරු කාරයෙක්. තමන්ගේ නිවස අවට තිබුණු ඉඩකඩම් මේවා මගේයි පෙන්වා බොරු කියා තමයි විවාහ වුණේ. ගුරුවරියගේ ගෙදර අයත් රැවටුණා බෑණාට හොඳට ඉඩකඩම් දේපල තියෙනවා ය කියා ඉඩකඩම් දේපල තියෙන නිසා ටැක්ටරයක් හා ලොරියක් දෑවැද්දටත් දුන්නා.

ඒත් විවාහයෙන් පස්සෙ ඇයට සිද්ධ වුණේ ස්වාමියා බීමත් ව ඇවිත් කරන තාඩන පීඩනවලට මුහුණ දෙන්න. නිතර අඬ දබර වුණා. පහර දුන්නා. ඒත් ඇය ඇගේ වැදගත්කම තියාගෙන ඉවසුවා. ඇය ගෙදරින් එනවිට ගෙනා සාරි අට විතරයි ඇයට තිබුණේ. මේ මිනිහා සාරියක් පවා අරගෙන දුන්නෙ නෑ.

ඇය මේ සියල්ල ඉවසාගෙන උදේ පාන්දරින් නැගිට ඉවුම් පිහුම් කොට පාසලට යනවා. අන්තිමේ මේ මිනිහා කිසි දවසක දියුණු නොවන බව වටහාගෙන “මේ මිනිහා නම් හැදෙන මිනිහෙක් නම් නොවේ” යි යන නිගමනයට ඇවිත් තමන් ගෙ පාඩුවේ ඉවසීමෙන් කටයුතු කළා. අන්තිමේ මිනිහා අසනීප වුණා. මේකත් මගේ ම කරුමය යැයි සිතූ ගුරුවරිය ඔහුට කවා පොවා සාත්තු සප්පායම් කළා. කවන්න පොවන්න ළඟට ගියත්, කවා පොවා අවසන් වුණා ම කෙහෙවල්ලෙන් අල්ලා ගෙන ඇයට පහර දෙනවා.

සමහර දාට ඉස්කෝලෙට යන කොට උදේ පහරදීම් වලින් මුහුණ ඉදිමිලා. මේ ඉස්කෝලෙ ඉන්න ඉංග්‍රීසි ටීචර් බොහොම අහංකාරයි. අනුන්ට අපහාස උපහාස කරනවා. “ආ... අදත් උදේ පාන්දර ගුටි කාලා තියෙනවා” කියලා හිනාවෙනවා. අනිත් අය සමඟත් කියා හිනා වෙනවා. ඒත් ගුරු මණ්ඩලයේ අනිත් අය මේ දුක් විඳින ගුරුවරියට අනුකම්පා කළා. ඇගේ ප්‍රතිපත්ති වලට ගෞරව කළා.

දවසක් ස්වාමියාගේ පහරදීම් වලට ලක් වූ ගුරුවරිය පාසලට එද්දී “මොකද ඔයාගෙ මූණ ඉදිමිලා” කියලා ඉංග්‍රීසි ටීචර් නොදන්නවා වගේ ඇහුවා.

“ඔයාට ඕනෑ දෙයක් හිතාගන්න” කියා අහිංසක ගුරුතුමිය කීවා.

එදා ඉංග්‍රීසි ටීචර් ගෙදර යන කොට යතුරු පැදිය අනතුරකට ලක් වී කකුල කැඩී රෝහල් ගත කළා. මාස තුනක් පමණ දුක් විඳ ඇය දැන් නැවතත් පාසල් එනවා. හැබැයි ඉතාම කැත නොන්ඩියක් ඇයට තියෙනවා. කකුල සනීප වුණත් නොන්ඩියි.

“ඔයා සීමාව ඉක්මවලා අර මිස්ට හිනා වුණා. අපහාස කළා. ඒකට දඬුවම තමයි ඔය” යැයි අනිත් ගුරුවරු ඇගේ මූණටම කිව්වා. යැයි ද පඤ්ඤානන්ද හිමියෝ කීහ.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/12/05/_art.asp?fn=aw1012051

Wednesday, November 24, 2010

අනේ හාමුදුරුවනේ මං රිංගුවේ නෑ මාව රිංගෙව්වා

මිනිසුන් වශයෙන් අප සමඟ ජීවත් වී මරණයට පත්වන අපේ ඥාතීහු හෙවත් මළගිය ප්‍රාණකාරයෝ අපෙන් පිටස්තර වූ අමුතු ම ලෝකයක ඉපදී සිටිතැයි බොහෝ දෙනා සිතති. ඇත්තට ම ඒ මිය ගිය ප්‍රාණකාරයෝ ඉපිද සිටින්නේ අපෙන් බොහෝ ඈත ද? ධ්‍යානලාභීහු බ්‍රහ්ම තලයන්හි ඉපිද ධ්‍යාන සුවයෙන් වෙසෙති. අපේ මියගිය ඥාතීහු එසේ ධ්‍යාන භාවනා කළෝ නම් එසේ ඉපදිය හැකිය. ඊට අමතරව ත්‍රිහේතුක කුසලකර්ම කළෝ දෙව් මිනිස් සුගතීන්හි උපදිති. ඒ ඉතාම දුර්ලභ වූ අවස්ථාවකි. ලක්ෂයකින් එකක් තරම් වූ අවස්ථාවකි. මහරු බූමාටු දේවතාවුන්ව ඉපිද ගස්වල මල් කොළ මුල් ආදියේ සුවඳ ආඝ්‍රාණය කර අපට සමීපව යැපෙති. තවත් සමහරු දවසේ එක් වරුවක් දේවතාවකුව ඉපිද දිව්‍ය සුව වින්දනය කොට අනිත් වරුව ප්‍රේතයකු වී දුක් විඳිති. මේ ආදී ආකාරයෙන් පරලොව උපත් විවිධ ය.

මේ මගේ ඉඩම ය. මේ මගේ කුඹුර ය, මේ මගේ මායිම ය, මගේ ගෙදරය, මගේ අඹු දරුවෝ යැයි දැඩිව සිතින් අල්වා ගෙන සිටි අය මැරී ඒ ඒ ආශාවන් පැවැත්වූ ස්ථානයන්හි දුගති භාව ලබා දුක් විඳිති. මේ මගේ පෙම්වතිය ය, මගේ බිරිය යැයි දැඩි ආශාවෙන් බැඳී සිටියෝ එම ස්ත්‍රීන් ඇසුරු කොට ගෙන, ශරීරයට බාහිරව ද අභ්‍යන්තරව ද දුගති භාව ලබා වෙසෙති. ස්ත්‍රීහු ද එසේ ම පිරිමින් කෙරෙහි බැඳී සිට එවැනි උපත් ලබති. අනෙකුත් ඥාතීහු ද එසේ ම ය. ඇල්ම නිසා උපත ලබනවා සේ ම තරහින් ද්වේෂයෙන් මළෝ ද එසේ ම පළිගැනීමේ චේතනාවෙන් උපදිති. ඇල්මෙන් උපන්නත්, තරහින් උපන්නත් ඒ ඒ ආත්මභාවවලට ආවේණික වූ පරිදි ඔවුන් පවතින්නේ ඒ ඒ ශරීරවල අපද්‍රව්‍ය හෝ රුධිරය ආහාරයට ගැනීමෙනි. ගසක කඳේ උපන් පණුවා ඒ කඳ ම කා ජීවත් වන්නා සේ ය.

එසේ ම අතීතයේ විසූ ගුප්ත ශාස්ත්‍රධාරීහු ශබ්ද ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන මන්ත්‍ර ශාස්ත්‍රය නිපදවූහ. ඒ අක්ෂර ඛණ්ඩයන්ගේ බලයෙන් තවත් කෙනෙකුගේ ශරීරයට හෝ නිවසට භූතයන් බන්ධනය කරති. වරක් සක්‍ර දේවේන්ද්‍රයන් විසින් වේපචිත්ති අසුරේන්ද්‍රයන් පස් පොළකින් බැඳ දමන ලද බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. ඒ ඉතා සියුම් වූ දේවකායයන් තුළ පවත්නා ඉතා බලසම්පන්න චිත්ත ශක්තියෙන් (මනෝමය) කළ දෙයකි. සිතුවිලි තරංග ශක්තියෙන් එසේ කළ හැකි නම් අක්ෂර ශක්තිය හා ශබ්ද (උච්චාරණ) ශක්තියෙන් එවැනි දේ කළ හැකි බව ප්‍රායෝගික සිද්ධිවලට ද අනුව පිළිගත හැකිය.

දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩි මහල් පිරිමි දරුවා නීරෝගීව වැඩුණේය. කුඩා කල සිට ම පිනට දහමට ලැදි දරුවෙක් විය. නිතර පිරිත් හා ගාථා සජ්ඣායනය කළේය. පැවිදිවීමට කැමැති බව පවසමින් නිතර ඊට අවසර ඉල්ලා මව්පියනට ඇවිටිලි කළේය. පාසල් අධ්‍යාපනයේ දී ද දක්ෂ විය. තුන්මෝදර පාසලේ සිංහල මාධ්‍ය හොඳම නිවේදකයා විය. එහෙත් දැඩි ඉල්ලීම නිසා පහළොස් හැවිරිදිව සිටිය දී 2009 වර්ෂයේ දෙසැම්බර් 13 දින පැවිදි කරන්නට යෙදිණි.

පැවිදිවීමෙන් පසු කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි මේ පොඩි හාමුදුරුවෝ මුත්‍ර ආබාධයකින් රෝගාතුර වූහ. සිංහල ඉංග්‍රීසි ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබිණි. කෑගල්ල – මහනුවර - පේරාදෙණිය මහ රෝහල් හි නේවාසිකව ප්‍රතිකාර ලැබූවත් සුවයක් නොලැබිණි. අවසානයේ මුත්‍ර බටයක් දමා බාහිරව එහෙත් හිරිහැරකාරීව සුළු සහනයක් ලබාදුන්නේය. ඒ නමුත් මුත්‍ර දැවිල්ල වරින් වර පොඩි හාමුදුරුවන් පීඩාවට පත් කළේය.

මේ අතර පොඩි හාමුදුරුවෝ වරින් වර අමුතු ලෙසකින් හැසිරෙන්නට වූහ. කකුලක් කපා ඉවත් කළ පුද්ගලයකු සේ ද, දත් නැති, ලොඹු ගැහුණු පුද්ගලයකු කතා කරන විලාසයෙන් ද හැසිරෙන්නට වූහ.

”සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියැවූ කීප දෙනකු ගේ යොමු කිරීම මත මව්පියෝ අතුරුගිරියේ, ගස්නාවේ ඤාණානන්ද හිමියන් වෙත පොඩි හාමුදුරුවන් කැඳවා ගෙන පැමිණියහ.

ඤාණානන්ද හිමියෝ පළමුව ම මේ පිරිසට අතුරුගිරිය විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වෙත ගොස් පන්සිල් සමාදන් වී සබ්බ පාපස්ස ගාථාව සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේ පැදකුණු කොට, වන්දනා කොට පැය භාගයකින් පැමිණෙන ලෙස උපදෙස් දුන්හ. ඒ කටයුතු එසේ සිදු කොට නැවත පැමිණි විට පොඩි හාමුදුරුවන්ට ඉතා ම සරල බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවත් දුන්හ. එසේ සිදු කරන විට පොඩි හාමුදුරුවෝ ඤාණානන්ද හිමියන්ගේ මුහුණ නොබලා අහක බලා ගෙන ලොඹු ගැහුණු කටින් (හ¼ඩින්) කතා කරන්න වූහ.

”මොකදෑ මේ මට කලදල කොළන්නෙ?”යි කීහ.

”අපිත් අහන්නේ ඒක ම තමයි. මොකද මේ පොඩි හාමුදුරුවන් ගේ ශරීරයට රිංගා ගෙන කරදර කරන්නේ”යි ඤාණානන්ද හිමියෝ ඇසූහ.

”හඞ.. හෙඞ.. මම කලදල කොලන්නෙ නෑ. ඒ මගේ් හැටිනෙ.”

”තමුන් කවුද?”

”මම මේ පොදි හාමුදුලුවන්නෙ සීය නෙ. මම පොදි හාමුදුලුවන්ත ආදලෙයි”

”ආදරේ නම් මොකද මේ හිරිහැර කර පව් සිද්ධ කරගන්නේ?”

”අනේ! අනේ! හාමුදුලුවනේ මම පොදි හාමුදුලුවන්ගේ ඇඟට තිංගුවෙ නෑ. තිංගෙව්වා”

”කවුද? රිංගෙව්වේ”

”මගේ දූ පොදි හාමුදුලුවන්ගෙ නැන්දා. මගේ සොහොනෙන් ම මිනී අලු අලගෙන මතුලවලා බන්දනේ කොළා”

”ඇයි? එහෙම කළේ”

”ඒකි වස නපුලු ගෑනි. කුහක ඉත්තිලියාවි. මේ දලුවා හොඳට ඉගෙන ගන්නවාට ඉලිතියාවෙ මාව බන්දනේ කොළා”

”ඉතිං හිරිහැර කරන්නේ මොකද?”

”හිලිහැල කොළනවා නොවෙයි. ඒ මගේ හැති. මම මගේ දීවිතේ අන්තිම කාලෙ දියවැදියාව හැදිලා දුක්වින්දා. මගේ කකුලක් කැපුවා. ඉස්පිලිතාලේ දොත්තල මාත්තුලු. මුත්තලා බත දැම්මා. ඒ හැති තමයි පොදි හාමුදුලුවන්තත් මං පොදි හාමුදුලුවන්ගේ ඇඟේ ඉන්න කොත”

මේ අය සමඟ පැමිණ සිටි, තවත් කාන්තාවක් ඤාණානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මේ භූ®තාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූවාය.

”මාව අඳුරනවාද?”

”අනේ! අනේ! බං මම මොකදෑ උඹව අඳුලන්නෙ නැත්තෙ. උඹ මගේ බාල දූනෙ”

”ඇයි තාත්තා මේ පොදි හාමුදුරුවන්ගේ ඇඟට වෙලා දුක් විඳින්නේ?”

”ඇයි? බං උඹේ අක්කා, අර හැතිලි කළපු අපලාදෙනෙ”

”තාත්තෙ; අපේ ගෙදරත් දියුණුවක් නැහැනෙ. ඒ මොකද?”

”පස්පවෙන් මිදියල්ලා. වැලදි වැදවලින් ඈත් වෙලා පිං දහං කොළපල්ලා. උමලත දුක් කලදල එන්නේ පූලුවෙ පව් කළපු නිතා. දැන් පිං දහම් කොළපල්ලා. එතකොට කලුමෙ යත ගිහිං උඹලා දියුණු වේවි”

”අපේ ලොකු දූටත් කරදරයි නෙ තාත්තෙ”

”මොනවද බං උඹල මේ අහන්නෙ. ඇයි උඹලා මේ පොදි හාමුදුලුවන් ගැන අහන්නෙ නැත්තෙ. මේ පොදි හාමුදුලුවන් තුවපත් කළපල්ලා. හොඳත ඉගෙන ගන්න උදව් කොළපල්ලා. එතකොත පලම්පලාවත ම ගෞලවයක්, පිනක්. ඒ වගේම මාවත් මේ බන්ධනයෙන් නිදහස් කොළපල්ලා”

”හා.. හා... හොඳයි හොඳයි. එහෙම නම් මේ සීයාට අපි පින් දෙනවා. ඒ පින් අනුමෝදන් වෙලා හොඳ තැනකට යන්න ඕනෑ. ජයසිරිමා බෝධීන් වහන්සේ ළඟට යන්න කැමැති ද?”යි හාමුදුරුවෝ ඇසූහ.

”නැහැ හාමුදුලුවනේ! මම මනුස්ස ලෝකෙට යනවා. මට මනුස්සයෙක් වෙලා උපදින්න තියෙද්දියි මාව බන්ධනේක අල්ලා ගත්තේ. දානයක් දීලා මට පින් අනුමෝදන් කරවන්න. මම පොදි හාමුදුලුවන්නෙ සලීලෙන් නිදහස් වෙලා මනුස්ස ආත්මයක් ලබනවා”

”වෙන මොනවද කියන්න තියෙන්නේ?”

”අනේ හාමුදුලුවනේ! අපේ මේ පොදි හාමුදුලුවන් ඔබ වහන්සේගේ් පන්සලේ නතර කරගන්න. මෙතැන හොඳයි. කලින් හිටපු තැන ඉලිසියා කාලයො ඉන්නවා. තමුන්ගෙ ම නැන්දා කලපු අපලාදෙ පේනවා නේද?”

බෝධි පූජා විසි එකක් පවත්වා, පිරිත් කළ තැඹිලි ගෙඩි විසි එකක් බොන්නට දී පිළිවෙත් කීපයක් කරන විට පොඩි හාමුදුරුවෝ සුව අතට හැරෙන්නට වූහ.

දැන් මේ කුඩා ස්වාමීන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී ඥානවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව නතර වී ගස්නාවේ ඤාණානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි වැඩි දුර පිළිවෙත්වල යෙදෙති.

මේ සිද්ධියෙන් පැහැදිලි වන කාරණා කීපයක් වේ. තමන්ගේ ම සහෝදරයා ගේ දරුවකු වුවද හොඳින් ඉගෙන ගන්නවාට, සමාජයේ ඉහළ තැනකට පත් වෙනවාට අකමැති, අනුන්ගේ දියුණුව දකින්නට අකැමැති අය ඊර්ෂ්‍යාව නිසා අකුසල් සිදුකැර ගන්නා ආකාරය එකකි.

අනුන්ට විපතක් කිරීම සඳහා ආරක්ෂිත ක්‍රමයක් යැයි සිතා, රහසක් පරිදි පවතී යැයි සිතා ඇදුරන් ලවා අනුන්ට අණවින කිරීම අනිත් කාරණයයි. මේවා බරපතල අකුසල කර්ම වේ. එසේ ම එවැනි කටයුතුවලදී තමන්ගේ පියාගේ භූතාත්මය බන්ධනයකට ලක් කොට පියා දුකට පත් කිරීමකි. එසේ ම මිනිස් භාවයේ ඉපදීමට සූදානම් පියාගේ ගමන වළක්වා වෙනත් දුගතිගාමී ක්‍රියාවක යෙදවීමකි. මෙය ඉතා බරපතල සත්ත්ව හිංසාවකි.

බරපතල අකුසල්හි යෙදෙන මෙවැනි කාන්තාවෝ ද එවැනි හදි හූනියම් කරන ඇදුරෝ ද මරණින් මතු අනන්ත දුක් සහිත වූ දුගතීන්හි උපදිති. සමහරු ජාත්‍යන්ධයන්වී ඉපිද දුක් විඳිති.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/05/09/_art.asp?fn=aw1005091

මට යන්න බෑ මං යන තැන්වලින් මාව පන්නනවා

අප ජීවත්වන පරිසරය පුරා දුගතිගාමී වූ ප්‍රේත පිශාචාදී අමනුස්සයෝ විශාල වශයෙන් සැරිසරති. එසේ සිදුවන්නේ යම් යම් පුද්ගලයින්ට හා වස්තු දේපළවලට තණ්හාවෙන් මියයෑම නිසාය. ජීවිතයේ අවසාන අවස්ථාවේ “අපොයි මේ දේපළ මගේ. මම මහන්සි වී ගොඩනඟාගත් දේවල්. මට අයිති දේවල්. මම කොහොමද මේවා අතහැර යන්නේ? මේ මගේ බිරිය. මගේ දරුවෝ. මේ අය අතහැර යන්න බෑ. මේ මගේ සහෝදරයා. මූ මට සැලකුවේ නෑ. මම මළා ම මූ මගේ දේපළ භුක්ති විඳීවි. ඒකට ඉඩ තියන්න බෑ. මම මුගෙන් පළිගන්න ඕනෑ. මූව දාල යන්න බැහැ.” යැයි අවසාන චුති චිත්තය සමඟ සිතුවිලි පහළ වුවහොත් ඔහු හෝ ඇය ඒ දේපළ හෝ පුද්ගලයන්ට ඇලීමෙන් එහි ම උපදී. ඉන්පසු ඉන් කෙනෙක් ඒ දේපළ පිළිබඳ තණ්හාවෙන් බදාගෙන සිටිනවා මිසක ඉන් ප්‍රයෝජනයක් ගත නොහැකිව ද අනුන් ප්‍රයෝජන ගන්නවා දැක තරහෙන් ද මහත් දුක් විඳිති.

තවත් කෙනෙක් තමන් ගේ අකුසල කර්ම විපාක හේතුවෙන් ඒ ප්‍රේතාත්මයට ආවේණික වූ දුර්ගන්ධයෙන් එම පරිසරය අපවිත්‍ර කරමින් සිටිති. සමහර කෙනෙක් ඇල්මෙන් හෝ වෛරයෙන් සිටි පුද්ගලයාගේ සිරුරට රිංගා ගෙන ලෙඩ කරවති. ඒ දුගති භවයේ හෙවත් ප්‍රේතාත්මයේ ස්වභාවය අනුව එහි යැපීම සඳහා එම සිරුර අයිති පුද්ගලයාගේ කෙළ සෙම් සොටු පමණක් නොව රුධිරය ද උරාබීම නිසා එම රුධිරය විෂ වීමෙන් හා රුධිර හීනතාවයට ලක් වී රෝගියකු බවට පත්කරවයි.

ජීවත්වන කාලය තුළ මේ ජීවිතයෙන් පසු මරණයක් ඇතැයි ද, මරණයෙන් පසු තමන් ඊළඟ භවයක් ඇතැයි ද, ඒ භවය සකස්වන්නේ තමන් විසින් කරන ලද කුසල අකුසලයන්ට අනුව යැයි ද නොසිතන පුද්ගලයෝ තමන්ගේ ජීවිතය කෑමටත්, බීමටත්, මත්පැනටත්, පංචේන්ද්‍රියයන් පිනවීමේ විනෝදයටත් පමණක් සීමා කොට දුගතිගාමීව, ප්‍රේත පිශාචව උපදිති. ඔවුන් ජීවත් වූ කාලයේ කෙනෙකුට උදව්වක් යහපතක් සිදු නොකළ බැවින් ඔහු වෙනුවෙන් පිනක් දහමක් කොට අනුමෝදන් කරන්නට කෙනෙකු ඉදිරිපත් වන්නේ ද නැත. දුගතියෙහි උපන් පුද්ගලයා එයින් මිදීමට නොහැකිව අනන්ත වූ කාලයක් සා පිපාසාවෙන් පෙළි පෙළී ශාරීරිකව ද මානසිකව ද දැවි දැවී දුක්විඳිති.

ඇය කොළඹට නුදුරු කාන්තාවකි. සහෝදරයන් වෙනුවෙන් වෙහෙස මහන්සිව කාලය ගත කරන විට ඇයට විවාහයක් කැර ගැනීම පවා අතපසු විය. දැන් ඇගේ වයස අවුරුදු හැටට ආසන්නව ඇත. ඇය දැන් ආතෙරෙටීස් රෝගයෙන් දුක් විඳින්නී අත පය ඇඟිලි පවා නවන්නට දිග හරින්නට නොහැකි වේදනාවෙන් පෙළෙයි. හෘදය වස්තුවේ කපාටයක් පවා ඉවත් කොට පපුව කෘත්‍රිම මැසිමක් මඟින් ක්‍රියාත්මක කරයි. මේ රෝගී තත්ත්වයෙන්, යම් සහනයක් හෝ ලබාගැනීමේ අදහසින් ‘සිළුමිණ’ පියවි ඇසින් ඔබ්බට ලිපි පෙළ කියවා ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියා ය.

ඇගේ ශාරීරික දුර්වලතාව නිසා පළමු දිනයේ සුළු ප්‍රතිකාරයක් කොට බෝධි පූජා පවත්වා එන ලෙස එතැනින් උපදෙස් ලැබුණි. ඊළඟට නියම කළ දිනයේ ඇය සිය සහෝදරියන් සමඟ එහි පැමිණියාය. එදා ගුප්ත ගවේෂණයේදී ඇය හඬන්නට වූවා ය.

”අනේ! මාව පුච්චන්නට එපා” යැයි විළාප දෙමින් පිරිමි හඬකින් අඬන්නට වූවාය.

”හොඳයි, පුච්චන්න එපා නම් දැන් මම අහන දේවල්වලට සත්‍ය පිළිතුරු දෙන්න ඕනෑ. කවුද? මේ ස්ත්‍රී ශරීරයට රිංගාගෙන ඉන්නේ?” නාගොඩවිතාන මහතා ඇසීය.

”ම්..ම්..ම්..ම්...”

”ම්.. ම්.. කියල හරියන්නෙ නෑ. ඉක්මනින් කියන්න. අපට තව වැඩ තියෙනවා. නැත්නම් පිච්චෙන්න තමයි වෙන්නේ”

”මම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ නිසයි නම කියන්න අකැමැති”

”ඔය කතාවලින් වැඩක් නැහැ. මේ කාන්තාව දුක් විඳිනවා. ඇය මරාගන්න හදන්නෙ කවුද කියල අපි දැනගන්න ඕනෑ”

”මම..... සංස්ථාවෙ හිටපු සාමාන්‍යාධිකාරී. මට හොඳට සල්ලි තිබුණා. මට තරුණ කාන්තාවන්ගෙන් කිසි ම අඩුවක් තිබුණෙ නැහැ. ඒ නිසා ම අවිවාහකවයි හිටියේ. මම හොඳට බිව්වා. මත්පැන් නොබීපු දවසක් නැහැ.”

”හරි හරි ඉතින් නම කීවෙ නැහැනෙ”

”මගෙ නම ජයසිරි”

”ඉතින් මේ ගෑනු කෙනෙකුගෙ ඇඟට රිංගුවෙ මොකද?”

”මම ගැහැනුන්ගෙ ශරීරවලට ආසනෙ. මේ මගේ අක්කා. ඒ වුණත් මම රිංගුවා. මාව බලාගත්තෙ මට උදව් කළේ මේ අක්කා. ඒ නිසා මෙයා ළඟට ආවා.”

”ජයසිරි... තමුන් කරපු අකුසල්වලට දුගතියක ඉපැදුණා මදිවට දැන් අක්කවත් මරාගන්න ද හදන්නේ? මේක මහා අපරාධයක්. වහාම මේ ශරීරය අතහැර පිටවෙලා යන්න ඕනෑ. සිරිමා බෝධීන් වහන්සේ වගේ පුණ්‍යස්ථානයකට ගිහින් ඒ වගේ තැනක ආව තේව කර හොඳ ආත්මයක් ලබාගන්න”

”හොඳයි. හොඳයි එහෙනම් මම යන්නං” යැයි භූතාත්මය අක්කාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.

ඇය නැවතත් සති දෙකකින් “අනේ! ආයෙත් අමාරුයි” ගියාගෙන ආවාය. එදින ද භූතාත්මය සමඟ නාගොඩවිතාන මහතා සාකච්ඡා කෙළේය.

”ජයසිරි.... තමුසෙ අපිව රවටන්නද හදන්නේ? එදා යනව කියල ගිහින් ඇයි ආයෙත් ඇවිත් මේ අක්කට කරදර හිරිහැර කරන්නේ?”

”අනේ! මහත්තයෝ මට යන්න තැනක් නැහැ. මම ජීවත්ව ඉන්දැද්දි පිනක් දහමක් නොකළ නිසා මට සොහොනෙත් ඉඩක් නෑ. සොහොනට ගියාම එතන ඉන්න අය “පලයං පලයං උඹට මෙහෙ ඉඩ නැහැ” කියලා මාව පන්නා ගත්තා. මම ජීවත්ව ඉන්දැද්දි ගෑනුන්ටයි, බීමටයි වියදම් කළා මිසක් දානයක් මානයක් දුන්නේ නෑ. අනේ! මේ අපේ අක්කලට කියල සාංඝික දානයක් දී මට පිං අනුමෝදන් කරන්න කියන්න. එතකොට මට යන්න පුළුවන් වේවි”

”හොඳයි. දැන් යන්න” රෝගී තත්ත්වය නිසා දුර්වලයි. සතියක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස කාන්තාවට උපදෙස් දුන්නේය.

ඊළඟ සතියේ ද රෝගී කාන්තාව පැමිණියාය. භූතාත්මය ආවිශ්ට විය.

”මහත්තයෝ මට යන්න බෑ. මම යන යන තැන්වලින් මාව පන්නනවා. මම ඉස්සර කව්රු හරි ගෙදරට ආධාර පත්‍රයක් අරගෙන ආවොත් හැංගෙනවා. කවදාවත් ජීවිතේට පන්සලකට ගියේ නෑ. ඒ නිසා පිං දෙන කොට පිං අනුමෝදන් වෙන්න අත් දෙක උස්සලා සාදු සාදු කියන්න බෑ.”

”තමුන්ගෙ කරුම තමුන්ම ගෙවන්න වෙනවා. තමුන් ජීවත්ව ඉන්දැද්දි කරපු පාපකර්ම බරපතලයි. දැන් නම් තමුන් යන්නම ඕනෑ. නැත්නම් දඬුවම් කරන්න වෙනවා” යැයි කියා ඊළඟ සතියේ වැටකෙයා මලක් හා පලතුරු වට්ටියක් රැගෙන එන්නැයි රෝගී කාන්තාවට උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ඇය පලතුරු වට්ටියක් හා වැටකෙයා මලත් අරගෙන ස්ථානයට ඇතුළුවුණේ ම හඬාගෙන ය.

පලතුරු වට්ටිය මිදුලේ තබා වැටකෙයා මල ඒ අසලින් තබා භූතාත්මය අමතා “දැන් වැටකෙයා මල උඩට නගින්නැ”යි නියෝග කළේය.

”දැන් කළුතර බෝධීන් වහන්සේ ළඟට යන්න ඕනෑ. එතැන සිටින දෙවියන්ට කන්නලව් කොට උදව් ඉල්ලන්න.මෛත්‍රී බෝධිසත්ත්ව දෙවියන්ට වැඳ නමස්කාර කොට උන්වහන්සේ ඉදිරියේ නැවත මේ ශරීරයට ඇතුළු නොවන බවට පොරොන්දු වෙන්න. කළු දේවතා බණ්ඩාර දෙවියන්ට කියා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟින් ඉඩකඩක් ඉල්ලා ගන්නැ”යි භූතාත්මයට උපදෙස් දුන්නේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, කළු දේවතා බණ්ඩාර දෙවියන්ටත්, බාර හාර වී කිරි ආහාර පූජාවක්, සුදු නෙළුම් මල් වට්ටියක් හා සිවුරක් පූජා කරන බවට පොරොන්දු වී දානයක් දී මල්ලීට පින් අනුමෝදන් කොට සතියකින් ගොස් බාර ඔප්පු කරන ලෙස රෝගී කාන්තාවට උපදෙස් දුන්නේය.

මිදුලේ තැබූ පලතුරු වට්ටිය හා වැටකෙයා මල දෙදෙනකුට ඔසවන්නට බැරි තරම් බරින් යුක්ත විය.

මෙහිදී අපට පැහැදිලිව පෙනෙන විශේෂත්වය නම් මේ භූතයාට සහෝදරියගේ ශරීරය අතහැර යන්නට වුවමනාව තිබුණ ද යා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය. සොහොනට ගියත් එතැන පදිංචිව සිටින භූතයින් විසින් පන්නා ගනු ලැබුණි.

ජීවත්ව සිටිය දී කෙනෙකුට ඉඩමක් ගෙයක් ගැනීමට උදව් කිරීම විශාල පිනකි. ගෙයක් හදන කෙනෙකුට උදව් කිරීම ද එසේ ම ය.

ඊටත් වඩා භාවනා මධ්‍යස්ථානයකට, පන්සලකට ඉඩමක් ලබාදීම හෝ ඉඩමක් ලබාගැනීමට ආධාර කිරීම ද කුසලයකි. කෙටියෙන් කියනවා නම් කෙනෙකුට ඉන්නට හිටින්නට තැනක් ලබා දෙන අයට මරණයෙන් පසු ලබන උපතේ දී ඒ ආනිසංසයෙන් සුදුසු තැනක් ලැබේ. විමානයක් සකස් වේ.

අතීතයේ සිට සිංහල බෞද්ධයන් අතර චාරිත්‍රයක් ලෙස පවතින, මළ ගිය කෙනෙකුට පින් දෙන්නට සිදු කරන දානයේදී පැදුරක් හා කොට්ටයක් පූජා කරන්නේ ඒ නිසාය. මළගිය ඥාතියාට පවතින්නට සුදුසු තැනක්, දෙවියෙක් නම් දිව්‍ය විමානයක්, ලබාදීමට කරන පූජාවකි. දන්දීමකි.

ජීවත්ව සිටියදී එවැනි කුසලයක් නොකළ අය, අමනුෂ්‍ය ආත්ම භවයක උපන්නොත් එවැන්නෝ තුන් මංසලේ, සිව් මංසලේ, නානතොටේ ඉපිද පීඩා විඳිති. ඔවුන්ට සොහොනේවත් ඉඩක් නැත. එතැනින් ද පන්නා ගනිති. ඒ නිසා ආරාම පූජා, නිවාස පරිත්‍යාග, ඉඩම් පූජා බොහෝ ආනිසංස ඇති කුසලයෝය. මේ භූතයා ඉහත භවයේ සංස්ථාවක සාමාන්‍යාධිකාරී කෙනෙකු වුව ද අද ඔහුට සොහොනේවත් ඉඩක් නැත.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/05/16/_art.asp?fn=aw1005161

ඔබ වහන්සේට බුදු බව ලැබේවි මගේ දුව බේරලා දෙන්න

සංසාර ගමනේ කෙළවරක් නොදැක භවයෙන් භවයට ගමන් ගන්නා සත්ත්වයා අතීත මිනිස් භවයක දී තමන් විසින් ලද ත්‍රිහේතුක කුසල කර්මයක් මරණාසන්න අවස්ථාවක චුති චිත්තයට යොමුවීමේ ඉතා දුර්ලභ වාසනාව නිසා යළි මිනිස් භවයේ ප්‍රතිසන්ධිය ලබයි. මිනිසකු ලෙස ඉපදීමෙන් පසු තමන් ඉපදුණු පරිසරය තුළ දී නැවත කර්ම රැස් කරන්නට පටන් ගනී. කර්ම – චිත්ත - සෘතු - ආහාරවලින් පෝෂණය වෙමින් ගොඩ නැඟී ජීවත්වන මිනිසා කර්මය හෝ ආයුෂ හෝ ඒ දෙක ම හෝ පිරිහී මරණයට පත්වෙයි.

මිනිසකු ලෙස ජීවත්වන කාලය තුළ කුමන නැටුම් කෙළි සිනා පෑව ද ස්වකීය ආධ්‍යාත්මය යම් තරමකින් හෝ දියුණු කැර නොගත්තේ නම් හෝ අනිවාර්යයෙන් ම දුගතියක උපදී. සතර අපායෙන් තිරිසන් භවය හැර නරක - ප්‍රේත – අසුරාදී අමනුස්ස භවයක උපන්නොත් ඔහුට හෝ ඇයට ලැබෙන්නේ මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන සියුම් ශරීරයකි. මිනිස් භවයේ දී ඝන ශරීරයක් ලැබීම නිසා ඔහුට හෝ ඇයට පින් කුසල් සිදු කැර ගැනීමේ අවස්ථාව ලැබේ.

ඉතා සියුම් ශරීරයක් ලබාගෙන දෙව්ලොව දෙවියන් අතර උපදින දෙවියකු වුවද කර්මානුරූපව නියමිත කාලයෙන් පසු දෙව්ලොවෙන් චුත වෙයි. ඔහු ගේ පිනට පහළ වූ දිව්‍යාභරණ, දිවසළු, කිළිටි පැහැ ගන්නා විට, ඔහු පැළඳ සිටි දිවමල් පරවී යන විට දෙව්ලොවෙන් නික්මීමට කාලය පැමිණ ඇති බව වටහා ගනී.

අවට සිටින දෙව්වරු ද ඒ බව හඳුනා ගනිති. ඔහු ඇසුරු කළ මිත්‍ර දෙවිවරු ඔහු වටකැරගෙන ඔහුට උපදෙස් දෙති.

ඉතෝ භෝ සුගතිං ගච්ඡ
මනුස්සානං සහාව්‍යතං
මනුස්ස භූතෝ සද්ධම්ම
ලභ සද්ධමනුත්තරං

භවත! සුගතියට යන්න. (ඒ සුගතියෙහි සිටින) මිනිසුන්ට සහාය වෙන්න. (උදව් කරන්න. පරාර්ථයෙහි යෙදෙන්න) මනුස්ස ලෝකයේ ශ්‍රී සද්ධර්මය පවතී. ඒ අනුත්තර වූ සද්ධර්මය ලබා ගෙන (වටහාගෙන) කටයුතු කරන්න. (එවිට නැවත දෙව්ලොව දී අපට හමුවිය හැකිය. ගිහින් ආපහු එන්න).

එහෙත් මිනිස් ලොව ඉපදුණාට පසු සිතට වහල්වීම නිසා, ඇස - කණ – නාසය – දිව - ශරීරය පිනවීමට පෙළඹීම නිසා, අධර්ම රාගයෙන් කටයුතු කිරීම නිසා, මේ මිනිස් භවයෙන් ගත හැකි, ගත යුතු ප්‍රයෝජන ගැනීම අතපසු කැර ගනී. එයින් ඔහු දුගතිගාමීවීමට පාර කපා ගනී. මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කලාකරුවෙකි. ඔහුගේ දක්ෂතා නිසා රජයෙන් පවා බොහෝ තනතුරු සම්මාන ලබා ගත්තේය. රාජ්‍ය ආයතන පාලනය සඳහා පවා සුදුසුකම් ලැබුවේය. ඉහළ තනතුරු දරන්නන් සුප්‍රසිද්ධ කලාකරුවන් නිතර මුණගැසීමේ අවස්ථාව ලැබුණේය. ප්‍රිය සම්භාෂණ සංග්‍රහවලට නිතර සහභාගි විය. මේ හැම අවස්ථාවක ම ඒ සමාජ තත්ත්වය අනුව සුරා පානය ඉදිරියෙන් ම සිටියේය. ඔහුට මතට තිත පනවන්නට කෙනෙකු සිටියේ නැත.

ඔහුගේ ජනප්‍රියතාව සහ දැරූ තනතුරු නිසා නිතර උත්සව සාදවලින් අඩුවක් නොවුණු අතර රාත්‍රියට ගෙදර ගියේ සුරා මතින් ඉහ වහා ගොස්ය. ලොකු ලොක්කන් සමඟ සුරාපානය කිරීම ඔහු ජීවත් වූ සමාජයේ නැතුව ම බැරි ‘වැදගත්’ යැයි සම්මත වූ දෙයක් වුව ද ඔහුගේ බිරිය මේ දින චරියාවට නොසතුටු වූවාය.

සිය ආදරණීය ස්වාමිපුරුෂයා ජනප්‍රියතාව හේතු කොට ගෙන ම මානසිකවත්, ශාරීරිකවත් පරිහානියට පත්වන බව කල් ඇතුව වටහා ගත් ඇය ඔහු ඉන් මුදා ගැනීමට නොගත් උත්සාහයක් නැති තරම් විය. එහෙත් බිරියකගේ යුතුකම වූ සැමියා වරදින් මුදාගැනීමේ සද්කාර්යය ඔහුට කරච්චලයක් විය.

ඔහු යටතේ පැවැති ආයතනයේ සේවය කළ තරුණ සුරූපිනියන්ගේ මුකුළු ඔහුට මහත් රසාස්වාදයක් විය. මේ අතර රාජ්‍ය සම්මානයන්ගෙන් පවා සැලකිලි ලැබෙන්නට, ලැබෙන්නට ඔහුට ගෙදර අමතක වී යන තත්වයකට කාරණා කටයුතු සිද්ධ වෙන්නට විය. ජනප්‍රියත්වය ඉදිරියේ සුරංගනා ලෝකයක ජීවත්වන ස්වාමිපුරුෂයාගේ පෙර පැවැති ආදර කරුණාව අහිමි වූ අහිංසක බිරිය ජීවිතය පිළිබඳ කලකිරෙමින් රෝගාතුර වූවාය. එයින් ම ඔත්පලව මිය ගියාය. තම මෑණියන්ට සිදුවූ විපත පිළිබඳ දූ දරුවනට ද නොවැටහුණා නොවේ. එහෙත් ඔවුන්ට ද කරකියා ගන්නට දෙයක් නොවීය.

ඔහු තමන් යටතේ පැවැති ආයතනයේ නිලධාරිනියක් වූ සුරූපිනියක් සමඟ දෙවැනි විවාහයකට එළැඹියේය. ඇය අන්‍යාගමික කාන්තාවක් වූවාය. ඔහු බෞද්ධයකු වුවද මේ වන විට උදේ හවස පන්සිල් සමාදන් වීමක් පවා නොකළ ඔහු අලුත් බිරියගේ ඇදහීම් කටයුතුවලට සහභාගිවූයේය. අලුත් විවාහයෙන් වසරක් පමණ ගතවෙද්දී ඔහුගේ ශරීරය තුළින් රෝගාබාධ මතුවෙන්නට විය. නාගරික සමාජයේ පවතින ක්‍රමයට අනුව මේ රෝගාබාධ පිළිබඳ භෞතික ඇසින්ම බලා සුප්‍රසිද්ධ වෛද්‍ය විශේෂඥයන්ගෙන් ප්‍රතිකාර ගත්තා මිස ඉන් එහා යමක් සිතන්නට ඔහු පෙළඹුණේ ද නැත.

ජීවත් වූ සමාජ රටාව අනුව කාර්ය බහුල අවශ්‍යතාවලින් පිරී ගිය ජීවිතය තුළ විනෝදය හා මතට එහා දෙයක් ඔහුගේ ආධ්‍යාත්මයට වැද්ද ගැනීමට ඉඩකඩක් තිබුණේ ද නැත. ඔහු තවමත් තරුණයෙකැයි සිතා ගෙන කටයුතු කළේය. ඔහුගේ කලින් විවාහයේ දූ දරුවන්ට ද විවාහ වන වයසේ දූ දරුවන් වූහ. ඔහුට කලින් බිරිය අමතකව ගිය ද ඒ දූ දරුවෝ මිය ගිය මෑණියන් සිහිපත් කොට පින් දහම් කළහ. තම පියාණන් කෙරෙහි කනගාටු වෙනවා හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් ඔවුනට නොවීය.

මේ අතර හිටි හැටියේ රෝගාතුරව සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදුව මේ කලාකරුවා අවසන් ගමන් ගියේය. රජයේ මැදිහත්වීමත් අනෙකුත් කලාකරුවන්ගේ සහභාගිත්වයත් ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයකදී ඔහුගේ අවමඟුල් කටයුතු මහ ඉහළින් පවත්වන්නට යෙදුණි. ගරුතර මහා සංඝරත්නය වැඩමවා බෞද්ධ චාරිත්‍රානුකූ®ලව ආගමික වතාවත් සිදුවිය.

මිනිසකු මරණයේදී සිරුර අතහැර ගියද ඔහුගේ සිතුම් පැතුම් එක්වර ම වෙනස් නොවේ. ඔහුගේ සිත ව්‍යාකූ®ල විය. අලුත් බිරිය; ඇගේ ආගම; මරණාසන්න සිද්ධි! අවමඟුල් උත්සවය! බෞද්ධ චාරිත්‍ර! අලුත් බිරිය, අලුත් බිරියගේ ආගමික චාරිත්‍ර! ඔහු දෙලොවක් අතර අවුලකට පත්විය. තමන්ට අවශ්‍ය පරිදි කටයුතු සිදු නොවේ. ඔහු කෑ ගසා කියයි. එහෙත් ඔහුගේ හඬ කිසිවෙකුට නෑසෙයි. මෙය මහත් පීඩාවකි. වේදනාවකි. මේ අතර අවට ඔහු වැනිම පිරිසක් ඔහු දෙස බලා සිටිති. සමහරෙක් උපහාසයෙන් සිනාසෙති. මේ අතරින් පැරැණි බිරිය මතු වී සිනාසෙයි. හීඞ... හීඞ..... හී....... ඇගේ දෑස් රත්පැහැයෙන් දිදුලයි. ඔහු සිටිතැනින් පහළට... පහළට... ප්‍රපාතයට... ශීඝ්‍රයෙන් ඇද වැටෙයි. අනේහ්.... අනේ.. හ්.. මට උදව් කරපල්ලා...හ්... ඔහුගේ හඬ කිසිවෙකුට නෑසෙයි. වේදනාව පීඩනය දරුණු වෙයි.

අතුරුගිරිය ශ්‍රී ඤාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ගස්නාවේ ඤාණානන්ද මාහිමියන් ඉදිරිපිට පෙනී සිටි පිරිසකි. ප්‍රධානියා කාන්තාවකි. පැහැපත්, උස මහත සිරුරකින් හෙබි ඇය විඩාපත් පෙනුමකින් යුක්තය. ඇය සමඟ තවත් ඇගේ මුහුණුවරම ඇති තරුණියන් තිදෙනෙකි. එයින් බඩපිස්සී යැයි සිතිය හැකි තරුණිය සුදු සරමක් හැඳ පටියක් බැඳ සිටියාය. ඇගේ දෑස් තුළ හිස් බවක් පෙනෙන්නට තිබුණි. බලාගත් අත බලාගෙන සිටියාය.

”අනේ හාමුදුරුවනේ! ඔබ වහන්සේට බුදු බව ලැබේවි මගේ දුවව බේරාදෙන්නැ”යි මව කීවාය.

”මොකක්ද හේතුව?” හාමුදුරුවෝ ඇසූහ.

”මගේ තාත්තා මුළු රට ම හඳුනන කෙනෙක්. අපට හරිම ආදරෙන් හිටියේ. මේ චූටි දුවට තාත්තා පණ වගේ ආදරෙන් හිටියේ. ඒත් තාත්තා ප්‍රසිද්ධ වෙනකොට ජනප්‍රිය වෙනකොට ගතිගුණ වෙනස් වෙන්න ගත්තා. ඒ ජනප්‍රියතාවය නිසාම බීමට ඇබ්බැහි වුණා. තාත්තාගේ සමාජ තත්ත්වයට අපිව මදි වගේ පෙනුණා. මේ අවාසනාවන්ත තත්ත්වය උහුලා ගන්න බැරුව අම්මා අකාලයේ අන්ත්‍රා වුණා. තාත්තා තාත්තට නොගැලපෙන වයසේ තරුණ කෙල්ලක් මේ මගේ දූලගේ වයසේ කෙල්ලක් සමඟ විවාහ වුණා. ඒ ගෑනි වෙනත් ආගමක කෙනෙක්. තාත්තාත් ඒ ආගම අදහන්නට වුණා. තාත්තා හිටිහැටියේ අන්ත්‍රා වුණා.

ඒත් තාත්තගේ අවමංගල කටයුතු කළ සංවිධාන කමිටුවෙන් අවසන් චාරිත්‍ර කළේ බෞද්ධ සම්ප්‍රදායට. දැන් තාත්තා කළුපාට ඇඳුමකින් සැරසිලා ඇවිත් අපට හීනෙන් පෙනෙනවා. ඒ අතරේ මගේ චූටි දුවගෙ ඇඟට ඇවිත් කතා කරනවා. අපිට බණිනවා. එයාව බේරාගන්නලු. ඒ වෙලාවට චූටි දුව දඟලනවා. දඟලන්න කලින් එයාම එයාගෙ තාත්තගෙ සරමක් ඇඳලා ඉණට පටියක් බැඳ ගන්නවා. දඟලන නිසා ඒකත් හොඳයි කියා අපටත් හිතෙනවා. මේ වැඩේ නිසා දුවගෙ අධ්‍යාපන කටයුතුත් කඩාකප්පල් වෙනවා. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කළත් ටික දවසයි. නැවතත් හැදෙනවා” කලාකරුවාගේ වැඩිමහල් දියණිය විස්තර කළාය.

බෝධි පූජා විසි එකක් සිදු කොට, දානයක් දී පින් අනුමෝදන් කොට පියා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යවා පිනට දහමට යොමු කරමුයි ඤාණානන්ද හිමියෝ යෝජනා කළහ.

ඒ අනුව සියලු වත් පිළිවෙත් සිදු කොට මේ දැරියගේ ශරීරයෙන් ඉවත් වී අනුරාධපුරයට යන ලෙස නියම කළහ. එහෙත් එය කෙසේවත් ඉටු කරන්නට ඔහු (භූතාත්මය) අකැමැති විය. අවසානයේ ඒ භූතාත්මය සමඟ සාකච්ඡා කොට ඔහු කැමති පල්ලියකට යෑමට පොරොන්දු වී මිණිපිරියගේ ශරීරයෙන් ඉවත්ව ගියේය. උපාදානයක හැටි. දැඩිව අල්ලා ගැනීමේ විපාකය එයයි.

මතුගම

මහින්ද විජේතිලක
http://www.blogger.com/post-create.g?blogID=2351955650202155056

බ්‍රසීලයේ ඇරිගෝගේ භූතාත්මය ලංකාවට ඇවිත්

අපට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට ගමන් බිමන් ඉතා පහසුය. සිතූ සැනින් තමන්ට අවශ්‍ය තැනට ගමන් කිරීමේ ශක්තිය භූත ලෝකයේ බොහෝදෙනෙකුට පිහිටා ඇත. මනසට දැඩිව අල්ලාගෙන සිටින පුද්ගලයන් හා වස්තු සම්පත් කෙරෙහි ආදරයෙන් හා ආශාවෙන් ද තරහ මරහ නිසා පළිගැනීමේ උවමනාවෙන් ද උපාදානා කොට ගෙන සිටින පුද්ගලයෝ මෙසේ භූත ලෝකයේ සැරි සරති.

මේ අතර ඇතැම් භූතාත්මවල ඉපදී සිටින භූතයෝ තමන්ගේ අවශ්‍යතා ඉටුකැර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අවස්ථාවන් ද වරින් වර අසන්නට ලැබේ. ලොව සිදුවන සියලු දේ භෞතික ඇසින් ම බලන්නට පුරුදු වී සිටින වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි සිද්ධීන් පිළිබඳ උඩින් පල්ලෙන් අත ගා උපහාසයෙන් කතා කරති. සමච්චලයට ලක් කරති. එහෙත් දැන් දැන් උගත්තු හා බුද්ධිමත්තු මෙවැනි සිද්ධීන් පිළිබඳ අවධානයෙන් කටයුතු කරයි. ගවේෂණයට යොමු වී සිටිති. සමහර භූතාත්මයෝ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බෞද්ධ රටවලට සංක්‍රමණය වන අවස්ථා ද ඇත. මේ එවැනි කතාවකි.

බ්‍රසීලයේ ජීවත් වූ ඇරිගෝ සාමාන්‍ය ගොවියෙකි. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ පාසලේ තුන්වැනි පන්තියට පමණි. ඔහු පසුකාලයක ඒ රටේ ඉතා ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් ගේ නාමාවලියට ඇතුළත් විය. ඊට හේතු වූයේ ශරීර ගත ගෙඩිවලට හා ඇස් රෝගවලට කිසිම බෙහෙතක් භාවිත නොකොට ගුප්ත ශල්‍ය චිකිත්සාවකින් රෝග සුවපත් කිරීම නිසාය. මේ ගුප්ත ශල්‍ය චිකිත්සාව කොයිතරම් දුරට සාර්ථක හා ජනප්‍රිය වූයේ ද යත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා පවා ඇරිගෝගෙන් ප්‍රතිකාර ගෙන ඇත. මේ ‘ඇරිගෝ’ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ‘ඇරිගෝ’ නමින් අන්තර්ජාලයෙන් ලබාගැනීමට පුළුවන. ඇරිගෝ 1974 හදිසි අනතුරකින් මිය ගියේය.

මේ බ්‍රසීල ජාතික ඇරිගෝ ගේ ගුප්තාත්මය පසුගියදා හිටිහැටියේ ම ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී පෙනී සිටියේය. එහි ගුප්ත ගවේෂණයේ යෙදී සිටින යෝගීන් ඉදිරියේ ඇරිගෝ පෙනී සිටියේ සුදු ඇඳුමෙන් සැරසීගෙනය. දේවාභරණ පැලඳ සිටි ඇරිගෝගේ ගුප්තාත්මය විශාල කරාබු කුට්ටමක් දෙකනේ පැළඳ සිටියේය. පළල් මුහුණකින් යුතු ඔහු තළඑළළු පැහැයෙන් යුක්ත විය.

කසුන් නාගොඩවිතාන මහතා මේ ගුප්තාත්මය සමඟ සාකච්ඡා කරන්නට විය.

”මේ හදිසියේ අප ඉදිරියේ පෙනී සිටින ඔබ කව්ද?”

”මම ඇරිගෝ”

”ඇරිගෝ? ඔබ ලංකාවේද?”

”නැහැ මම ජීවත්වුණේ බ්‍රසීලයේ. 1974දී මරණයට පත්වුණා.”

”කොහොමද මැරුණේ?”

”හදිසි අනතුරකින්”

”ඉතින් ඔබේ තියෙන විශේෂත්වය මොකක්ද?”

”මම බ්‍රසීලයේ ජීවත්ව සිටියදී රෝගීන් සුවපත් කළා”

”ඔබ වෛද්‍යවරයෙක්ද?”

”නැහැ මම ගොවියෙක්”

”ගොවියකු වශයෙන් සිට වෙදකම් කරන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද?”

”එදා ඇරිගෝ නමින් සිටි මගේ ශරීරයට වෛද්‍යවරයකු ගේ ආත්මයක් ආවිශ්ට වුණා. එයයි වෙදකම් කළේ”

”ඉතින් ඔබ දැන් ඉන්නේ කොහේද?”

”අහසේ”

”අද මෙතැනට ආවේ ඇයි?”

”පණිවුඩ කීපයක් දෙන්න තියෙනවා. මම පිහිටකුත් බලාපොරොත්තු වෙනවා”

”ඉතින් මොනවාද අවශ්‍ය. අපෙන් කෙරෙන්න ඕනෑ මොනවාද?”

”බැහැ. මට කෙළින්ම එන්න බැහැ. මම සුදුසු කෙනෙකු මාර්ගයෙන් එන්නම්” යැයි ඇරිගෝ ගේ ගුප්තාත්මය අතුරුදහන් විය.

ඊට පසු දින ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. ඒ මහාචාර්යවරයා පැවසුවේ ඊයේ රාත්‍රි භාවනා කරන විට අපට නොපෙනෙන ලෝකයෙන් ලැබුණු ගුප්ත පණිවුඩයක් නිසා නාගොඩවිතාන මහතා සොයාගෙන පැමිණි බවයි. එහි දී නැවතත් ඇරිගෝගේ පණිවුඩදීම ආරම්භ විය.

ඒ මහාචාර්යවරයා කඩදාසි කීපයක් මත පෑනකින් විස්තර ලියාගෙන ලියාගෙන ගියේය. ඔහුගේ අතට ආකර්ෂණය වූ ගුප්තාත්මය පෑන කඩදාසියෙන් ඉහළට නොඋස්සාම ලියාගෙන ගියේය. අහන ප්‍රශ්නවලට පිළිතුරු ලීවේය.

”මේ ලියන්නේ කව්ද?”

”මම බ්‍රසීල ජාතික ඇරිගෝ”

”ඇරිගෝ ඔබට වෛද්‍ය ප්‍රතිකාර කරන්නට දැනුම ලැබුණේ කොහෙන්ද?”

”දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය එංගලන්තයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වන ජෝන් ස්මිත්ගේ දේවාත්මයෙන්. ජෝන් ස්මිත් ගෙඩිවලට හා ඇස් ලෙඩවලට දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහුට පින් මදිකමක් තිබුණා. ඔහු මා ලවා රෝගීන් සුවපත් කොටැ ඒ පිනෙන් තවත් ඉහළට ගියා.

”ඉතින් ඔහු ඔබව සම්බන්ධ කැර ගත්තේ කොහොමද?”

”ඩොක්ටර් ස්මිත් මා සොයා ගෙන ආවා. ඔහුගේ ඉල්ලීමට මම කැමැති වුණේ් නෑ. මම බැහැ කීවා. මට අමාරුයි මට හිරිහැරයක් කියලා. පසුව මට ඔහුට අවනත වෙන්න සිදුවුණා. ස්මිත් ඔහුගේ අකුසල විපාක මඟහරවා මේ කුසලය මඟින් ඉහළට ගියා”

”හරි, ඇරිගෝ! දැන් ඔබ සිටින තත්ත්වය කොහොමද?”

”මම අකුසල විපාක, කුසල විපාක දෙක ම විඳින කෙනෙක්. වෙලාවකට පහත් මට්ටමේ අමනුස්සයෙක්. වෙලාවකට දෙවි කෙනෙක්. ඒ දිව්‍ය අවස්ථාවේදී තමයි මම ඔබ සොයගෙන ආවේ. මට ආශිර්වාද කරන්න. මට උදව් කරන්න. මේ අකුසල විපාක විඳින දුක්සහගත තත්ත්වයෙන් මිදෙන්න උදව් කරන්න.”

”ඔබ මේ අපේ ලංකාවට ආවේ කොහොමද? අපට සම්බන්ධ වුණේ කොහොමද?”

”මම ආවේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ උදව්වෙන්”

”හොඳයි ඇරිගෝ! දැන් ඔබේ සිත අතීතයට යවන්න. ඔබ බ්‍රසීලයේ ජීවත්වෙද්දී කළ හොඳ වැඩ සිහිපත් කරන්න. ඔබ මිනිසෙකුව සිටියදී දොස්තර ස්මිත්ගේ ගුප්තාත්මය සමඟ ඔබේ ඔය දෑතින් සුවපත් කළ රෝගීන් ගැන සිතන්න. ඒ කුසල් සිත් ගොඩනඟන්න” යැයි උපදෙස් දෙනවාත් සමඟ ඇරිගෝගේ භූතාත්මය දේවත්වයට උසස් විය. එදා ඇරිගෝ බ්‍රසීලයේ සිටියදී ඔහුගේ නූගත්කම නිසා ඔහු අනුන්ට කරුණාවෙන් උදව් කිරීම කුසලයක් බව දැන සිටියේ නැත. ඔහු රෝගීන් සුවපත් කළේ අවිඥාණවකය. හැඟීමෙන් නොවේ. ඔහු සිතා සිටියේ මේ සංසාරය ඉවර නොවෙන ගමනක් ලෙසය.

ගවේෂණ මධ්‍යස්ථානයේ දී මේ අමනුෂ්‍යාත්මයට කරුණු පැහැදිලි කර දුන් විට එය අවබෝධ වී කුසල් සිත් පහළ වී උසස් තැනකට ගියේය.

දැන් ඇරිගෝ දේව සභාවට පණිවුඩ ගෙන යන දේව දූතයෙකි. ආවතේව කරුවෙකි. දැන් ඇරිගෝ ගවේෂණ මධ්‍යස්ථානයට එන රෝගීන් සුවපත් කරන්නට ද උදව් කරයි. දෙවියන් වෙත පණිවුඩ ගෙන ගොස් කුසල් සිදු කැර ගනී.

ලෝකයේ දැන් දැන් ලෙඩ දුක් විපත්, හා වෙනත් විවිධ විපත්, විනාශ ඉහළ යමින් පවතී. ලංකාවේ ද එසේ ම ය. මේ කලියුග කාලයයි. කලියුගයේ දී මිනිසාට විපත් සිදුවන ක්‍රම තුනකි. 1. සොබාවික විපත්, 2. යුද කෝලාහල ඬසා සිදුවන විපත්, 3. අමනුෂ්‍ය විපත් යනුවෙනි. ලංකාවේ යුද කෝලාහල ලේ වැගිරීම් සමඟ අමනුෂ්‍ය විපත් වැඩි විය.

එසේ ම මිනිසා අධර්මරාගී වන විට දෙවියෝ ඉවත්ව යති. අල්ලස, දූෂණය, ජාතික දේපොළ සූරාකෑම, මත්ද්‍රව්‍ය, මත්පැන්, හොර මැරකම්, ඉහළ යන විට දෙවියෝ ඉවත්ව යති. යක්ෂ සේනාධිපතිවරු සිය පිරිවර මුදා හරිති.

මේ අමනුෂ්‍ය විපත් හා මාධ්‍ය මඟින් භූත ලෝකය පිළිබඳ අනාවරණය කරන විට බුද්ධිමතුන් දැන් ඒ ගැන විමසති. පසුගිය මැයි 21 වැනි දින එවැනි උගතුන්ගේ, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සාකච්ඡාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේදී පැවැත්වුණි. ආචාර්ය මහාචාර්ය වරුන් හා ගිහි පැවිදි උගත්තු 100 – 120ක් පමණ මේ සාකච්ඡාවට සහභාගි වූහ.

නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගමගේ සහ ඇතුල්කෝට්ටේ, ගුප්ත ගවේෂක කසුන් නාගොඩවිතාන මහත්වරු ද ඊට සහභාගි වූහ. මේ සාකච්ඡා සභාව පැවතියේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ හිටපු ප්‍රධානී, මහාචාර්ය පී.ඩී.ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.

දැන් ශ්‍රී ලංකාවේ සිදුවන අධර්මරාගී අපරාධ, දූෂණ නිසා සොබාදහම පවා කෝප වී සිටී. ඉදිරියේදී තව තවත් විපාක දැක ගන්නට ලැබෙනු ඇත. ප්‍රතිකාර සොයාගත නොහැකි, නිට්ටාවට සුව කළ නොහැකි, රෝග භය පැතිර ඇත. අධර්මරාගී පාපී සිතුවිලි සෑම ක්‍ෂේත්‍රයකම පාහේ ක්‍රියාත්මකවීම නිසා අමනුෂ්‍ය භය ඉහළ යමින් පවතී. ගං වතුර හා කුඹුරු අස්වනු විනාශවීමත්, දේපළ විනාශයත් නිසා දුර්භික්ෂ භය ද හිස ඔසවමින් පවතී.

මේ තුන් බියෙන් රට බේරා ගැනීම වගකිවයුත්තන්ට බාර කාර්යයකි. අපරාධ, දූෂණ, වංචා හොරමැර, මත්ද්‍රව්‍ය, මත්පැන්, මර්ධනය කරන තුරු පිරිතෙන් පමණක් මේවා පාලනය කළ නොහැකිය. පිරිත් කියන්නෝ ද, අසන්නෝද, සංවිධාන කරන්නෝ ද දැහැමි අවංක සද්භාවී විය යුතුය.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/06/06/_art.asp?fn=aw1006061

මං දුර්වලයි මනුෂ්‍ය ලෝකේදි පින් කළේ නෑ

සතර මහා භූත කොටස්වලින් සකස් වූ, සංසාර ගමනේ දිගින් දිගට ගෙන යන්නා වූ කර්ම ශක්තිය නිසා ඊට ගැළපෙන පරිදි නිර්මාණය කළා වූ ශරීරය අතහැර දමා මරණයේ දී ඉවත් ව යන චිත්ත සන්තානය හෙවත් නාම ස්කන්ධය ඊළඟ භවයේදීත් එසේ ම බොහෝ විට දකින්නට ලැබේ. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් භූතාත්මයක් ලබා සිටින බොහෝ දෙනකු තමන් හඳුන්වනු ලබන්නේ කලින් මිනිස් ආත්මයේ සිටි නමින් ම ය.

එසේ ම ඉපැරැණි සෘෂිවරුන් විසින් සොයා ගනු ලැබූ, අක්ෂර ශක්තියෙන් නිර්මාණය කරන ලද මන්ත්‍ර ශාස්ත්‍රය මේ භූතාත්ම මෙහෙයවන්නට යොදා ගත් උපක්‍රමයක් විය. පැරැන්නෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බොහෝ විස්කම් පෑහ. ලංකාවේ ද කොණ්ඩදෙනියේ හාමුදුරුවන් වැනි ශාස්ත්‍රඥයන් කළ විස්කම් අදද තවමත් සමාජ ව්‍යවහාරයේ පවතී.

කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් තව කෙනෙකුගේ ලෙඩ දුක් සුවපත් කළහ. තවත් පාපී කෙනෙක් ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ම තව කෙනෙකුට ලෙඩ දුක් කරදර ඇති කළහ.

තව කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන කෙනෙකුගේ ශරීරයට, නිවසට හෝ ඉඩමට ඇල්ම ඇති කැර ගෙන සිටින භූතයෙකු පලවා හැරියහ. එසේ ම තව කෙනෙක් භූතයෙකු මන්ත්‍ර බලයෙන් අල්ලා ගෙන ඔහු ලවා වෙනත් කෙනෙකුට ලෙඩ දුක් හානි සිදු කළහ.

මේ අතර එවැනි මන්ත්‍රයක බලපෑමක් නැතිව භූතයෙක් ස්වකීය සිතේ පවතින ඇල්ම නිසා ද, පළි ගැනීමේ අදහසින් තරහ වෛර නිසා ද මිනිසුන්ගේ ශරීරවලට රිංගා ගෙන ද පිටතින් සිට ද හිරිහැර පීඩා පමුණුවති.

මේ ඇතුල්කෝට්ටේ, අලකේශ්වර මාවතේ ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානයේ දී අනාවරණය වූ සිද්ධියකි.

හෙන්රි ලලිත් ගේ මාමා ය. හෙන්රි මිය ගියේ මුහුණේ වම් පස හටගත් පිළිකාවකිනි. ඔහු දැන් සිය බෑණා වන ලලිත් ගේ සිරුරට ආවිශ්ටවෙමින් වරින් වර කටයුතු කරයි. අපි හෙන්රි සමඟ ම සාකච්ඡා කරමු.

“මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ කව්ද?” මම ඇසීමි.

“මම හෙන්රි” ලලිත් ගේ මුවින් පිට වෙයි.

“ඇයි හෙන්රි මේ ලලිත්ට හිරිහැර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නෑ. මේ ළමයා හොඳින් ඉගෙන ගෙන දියුණු වෙනවාට ඊර්ෂ්‍යාවෙන්, මේ ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර කෙනෙක් මේ ළමයට විනයක් කළා. මම මේක දැක්කා. වෙනත් භූ®තයෙක් මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරයි කියා මට හිතුණා. ඒ නිසා වෙනත් ප්‍රේතයෙක් රිංගා ගන්න කලින් මම මේ ළමයගෙ ශරීරයට රිංගා ගත්තා. මම තරහකට ඊර්ෂ්‍යාවකට නොවෙයි ආදරේටයි රිංගා ගත්තේ.”

“ඒ වුණාට මේ හැසිරීම හිරිහැරයක්නෙ”

“මට කරන්න දෙයක් නෑ. මේ අපේ ස්වභාවය”

“හෙන්රිගේ ස්වභාවය, හෙන්රි ගේ තත්ත්වය මොකක්ද?”

“මට තේරෙන්නේ නෑ”

“ප්‍රේතයෙක් නේද?”

‘මට තේරෙන්නේ නෑ”

“ඇයි? නොතේරෙන්නේ?”

“මම දුර්වලයි, මනුස්ස ලෝකෙ ඉන්දැද්දි පින් දහම් කළේ නෑ”

“ඇයි එහෙම වුණේ?”

“මහත්තයා! මම කටයුතු කළේ එදා වාමාංශික නායකයොත් එක්ක. එදා මගේ ළඟ තිබුණෙ කොමියුනිස්ට් ධර්මය. බුද්ධ ධර්මය නොවෙයි. අපේ ධර්මයෙන් එදා අපි කිව්වෙ ධනවතුන් භංග වේවා කියලා. අපි එදා යමක් කමක් තියෙන අයට වෛර කළා. ඊර්ෂ්‍යා කළා. ඔවුන් භංගවේවා කීවා. බුද්ධ ධර්මයට අනුව දාන - ශීල - භාවනා කළේ නෑ.”

“කව්ද? ඔබ ආශ්‍රය කළ වාමාංශික නායකයෝ?” මම හෙන්රිගේ භූතාත්මයෙන් ඇසීමි. ඔහු මිය ගිය පැරැණි වාමාංශික නායකයන් කීප දෙනෙකුගේ නම් සඳහන් කළේ ය.

“දැන් ඔවුන් ඉන්නේ කොහේද?”

“දන්නේ නෑ. මම දුර්වලයි. මට ඒ අය ගැන දැන ගන්න තරම් ශක්තියක් නෑ.”

“හෙන්රි! ධනවතුන් බොහෝ දෙනෙක් ඔය වගේ ම ධර්මානුකූ®ල නොවී සේවකයින්ගේ ශ්‍රමය සූරා කමින්, ඊටත් වඩා බලවතුන් අල්ලා ගෙන රාජ්‍ය දේපළවලින් අසාධාරණ විදිහට ප්‍රයෝජන ගන්නවා. දූෂිත විදිහට අයුතු ලාභ ලබනවා. උන් ලෞකිකව සැප විඳිනවා. ඒක ඇත්ත. ඒ උන් ඉස්සර පින්වලට. මෝහය නිසා සාධාරණ නොවී අසාධාරණකම් කර ඊළඟට අපා ගත වෙනවා. අපේ අයත් උන්ට ඊර්ෂ්‍යා කර, වෛර කර, ඒ ද්වේෂ සහගත සිතුවිලි වලින් මැරී අපාගත වෙනවා. දැන් හෙන්රිටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් හිතේ තරහ මරහ තියාගන්න එපා. දැන් හිත පින් දහම්වලට යොමු කරන්න.” මම ඔහුට උපදෙස් දුනිමි.

“ඒක තමයි මම උත්සාහ කරන්නේ, මේ ළමයාගේ ඇඟට වෙලා එහෙම පිනකට දහමකට උදව් වෙන්න ඕනෑ. ඒත් මේ ගොල්ලො මාව ඉවත් කරන්න හදනවා.”

“ඒ කව්ද?”

“අර මහත්තයා” යැයි තිසර නාගොඩවිතාන මහතා පෙන්වයි.

“හෙන්රි! අපි හදන්නේ ඔයාව කළු දේවතාබණ්ඩාර දෙවියන් ලවා ජය ශ්‍රී බෝධීන් වහන්සේ ළ¼ඟට යවන්න. එතකොට පුළුවන් හෙන්රිට පිනට දහමට යොමු වෙන්න.

අනුන් කරන පින්කම් දැකලාවත් සතුටුවෙන්න. එතැන දෙවියන් ගේ ආවතේව කටයුතුවලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නැ’යි තිසර නාගොඩවිතාන මහතා විස්තර කළේ ය.

“ඔව්! මම කැමැතියි, ඒත් මේ ළමයව ආරක්ෂා කර ගන්නත් ඕනෑ.”

“දැන් හෙන්රි ළඟ, හෙන්රිගෙ ආශ්‍රයේ වෙන කවුද ඉන්නේ?” යි මම ඇසීමි.

“මම දන්නේ නෑ. මම දුර්වලයි”

“වෙන කවුරුන් ගැනවත් දන්නේ නැද්ද?”

“තාත්තා ගැන දන්නවා”

“මොකක්ද තාත්තාගෙ නම?”

“කරෝලිස්”

“දැන් කරෝලිස් මෙතැන ඉන්නවාද?”

“නෑ එයා මැරිලා... තාත්තා ඉන්නේ සිරීපාද අඩවියේ”

“තාත්තා සිරීපාද අඩවියේ මොනවාද කරන්නේ?”

“දන්නේ නෑ. තාත්තා ඉන්නේ සුමන සමන් දේවතාවුන් වහන්සේ ළඟ.”

“තාත්තා ඒ තත්ත්වයට ගියේ කොහොමද?”

“තාත්තා අපි වගේ නොවෙයි. පන්සල් ගියා. පින් දහම් කළා. සිල් සමාදන් වුණා. දුප්පත් අයට උදව් කළා. ඒ නිසා තමයි එයා ඒ තත්ත්වයට ගියෙ. මම දේශපාලන අදහස් නිසා නිතරම සිතේ ගොඩ නැඟුවේ වෛරී සිතුවිලි. ඒ නිසා දැන් දුක් විඳිනවා. මේ ළමයා පින් දහම් කරන නිසා මෙයා මාර්ගයෙන්වත් මේ අපා දුකෙන් මිදෙන්න හිතා ඉන්නවා.”

“හොඳයි, හොඳයි, දැන් හිත හදාගන්න. පාපී සිතුවිලි අත හරින්න. ලලිත් දානයක් දී පින් අනුමෝදන් කරාවි. ඒ පින් ලබාගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යන්නැ’යි නාගොඩවිතාන මහතා පැවසීය.

මෙයින් අපට පැහැදිලිවන්නේ තම තමන් දෘෂ්ටි ගතවන ආකාරය අනුව සිතේ පැල පදියම් වන අල්ලා ගැනීම්, සංසාර ගමනට ඉවහල් වන ආකාරයයි. මාක්ස්වාදයේ ආරම්භකයින්ටත් ආරම්භක ළමා තරුණ වයස්වල බුදු දහමේ ආභාෂය ලැබුණා නම් ඔවුන් ද දස රාජධර්මයට අනුව සාර්ථක වැඩපිළිවෙළකට පට වඩා වෙනස්ව ක්‍රියාත්මක වෙන්නට තිබුණි.

ඉන් පසුව බිහිවූ දෙවැනි තුන්වැනි පෙළ නායකයෝ දුප්පත් වූ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූ මිනිසුනට ඉගැන්වූයේ ද්වේෂය මිශ්‍ර වූ ක්‍රමයකි. එයින් ධනවත්හු බලවත්හු තව තවත් ස්ථාවර වූහ. දැනුදු එසේ ම ය.

වර්තමානයේ ද තමන්ගේ ගොඩ වැඩි කැර ගැනීම එම අධිෂ්ඨානය කොට ගත් ප්‍රධානීහු දුප්පතුන් රවටමින් උපායශීලීව කටයුතු කරති. එහෙත් අවසානයේ අපා ගත වෙති.

හෙන්රිගේ පියා සාමාන්‍ය සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩී ගමේ පන්සල ආශ්‍රය කරමින් පින් දහම් හි යෙදෙමින් හොඳ නරක තෝරා බේරාගෙන ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා දැහැමිව ජීවත්ව මරණයට පත් වූයේ ය.

හේ ශ්‍රී පාද අඩවියේ දේවතාවෙකු වී ඉපැදුණේය. ඔහුගේ පුතා හෙන්රි දියුණු යැයි කියා ගන්නා සමාජ පරිසරයක් තුළ වැඩ කරන ජනතාව ඇසුරු කරමින් සමාජ අසාධාරණය ජය ගැනීම සඳහා ඇති නැති අයට වෛර කරමින් කටයුතු කළේය.

ඒ පිරිසක් සමඟ සංවිධාන වූ අදහස්වලින් දවස පුරා චිත්ත සන්තාපය කිලිටු කැර ගැනීමේ ආදීනවත්වයෙන් අද ප්‍රේතාත්මයක් ලබා දුක් විඳී.

වර්තමානයේ ද එසේම ය. පක්ෂ දේශපාලන ක්‍රමය නිසා එකම බඩවැල කඩා ගෙන උපන් තමන් ගේ ම සහෝදරයා සමඟ ද ගැටෙති. බලය හා තනතුරු සඳහා එක ම පක්ෂයේ අය ද ඇන කොට ගනිති. ගහ මරා ගනිති. මෙයින් වැඩි දෙනෙක් මරණයෙන් මතු ප්‍රේතාත්මවල ඉපිද අනන්ත දුක් විඳිති. නයි පොළගුන් වී උපදිති.

කසල ගොඩවල කුණකටුවන් වී උපදිති. මෑත ඉතිහාසයේ එසේ මිය ගිය දේශපාලනඥයකු ගේ ආත්මය අද දුක් විඳින ආකාරය “මන්ත්‍රී ප්‍රේතයා හා භූතයෝ’ නමින් අප ලියූ පර්යේෂණ ග්‍රන්ථයෙහි සවිස්තරව දත්වා ඇත.

මතුගම මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/06/20/_art.asp?fn=aw1006201
Free HTML Blog 4u