Wednesday, November 24, 2010

කොටු පහරින් බඹර විෂ නැසු හැටි

සමහර මිනිස්සු සිත ශක්තිමත් කිරීමෙන් මෙහෙයවීමෙන් සාමාන්‍ය මිනිසකුට කළ නොහැකි දේ කරති. ජිම්නාස්ටික් ශිල්පියා අහසට පැන සරඹයක් කොට ආපසු පොළවට පනී. සර්කස් ශිල්පියා ද අහසේ සිට පිනුම් ගසා පොළවට පැමිණෙයි. කම්බියක් දිගේ ගමන් කරයි. නැටුම් ශිල්පියා මලක්කම් ගසයි. උඩ පිනුම් බඩ පිනුම් ගසයි. මේ කිසිවක් ඔබට කළ නොහැකි ය. මට ද නොහැකිය. එහෙත් සිත කය පාලනය කිරීමෙන්, පුහුණු කිරීමෙන් විශේෂිත පුද්ගලයෝ විශ්මිත දේ සිදු කරති.

එවැනි ක්‍රියා ලෞකිකය. එහෙත් භාවනාවෙන් ආධ්‍යාත්මය දියුණු කළෝ බොහෝ විශ්මිත දේ සිදු කරති. පරහිතකාමී සේවයේ යෙදෙති. කුරුණෑගල, වදාකඩ, නාගනේ, ශ්‍රී සීවලී විහාරාධිපති, මාතලේ පඤ්ඤානන්ද හිමියෝ එසේ කිසිම අය කිරීමකින් තොරව රෝගීන් සුවපත් කරති. ස්වකීය ආධ්‍යාත්මීය ශක්තියත් බෝධි පූජා ශක්තියත් යොදවා දැහැමි පිළිවෙත් මඟින් රෝගීන් සුවපත් කරති.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි, හමුදා මේජර්වරයකුට පිළිකාවක් වැළඳුණි. එය එක්වරම පිළිනොගත් මේජර්වරයා තවත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු ළඟට ගොස් පරීක්ෂාවට භාජනය වූයේය. ඒ දෙදෙනා කීවේ ද එය පිළිකාවක් ම බවය.

මේජර්වරයා පඤ්ඤානන්ද හිමියන් සොයා ආවේය. බෝධි පූජා කීපයකට සහභාගි විය. ඊට අමතර පිළිවෙත් කීපයක් ද උන් වහන්සේගේ උපදෙස් පරිදි සිදු කළේය. මාසයකට පසු නැවත වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් විය. පුදුමයකි. දැන් පිළිකාවක් නැත. සාමාන්‍ය මස් වැදැල්ලක් එතැන ඇති බව ප්‍රකාශ විය. දැන් මේජර්වරයා සම්පූර්ණයෙන් සුවපත්ව සිටී.

එවැන්නක් සිදුවන්නේ කෙසේ දැයි මම පඤ්ඤානන්ද හිමියන්ගෙන් විමැසුවෙමි.

මේ මිනිසා ය කියන පුද්ගලයා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධයෙන් යුක්ත යි. මෙයින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර “නාම” වශයෙන් හඳුන්වනවා. ඉතින් මේ නාම - රූප දෙකෙන් වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ රූපයට පමණයි. නාමයට අයත් ස්කන්ධ හතරට ම ප්‍රතිකාර කෙරෙන්නේ නෑ. ආධ්‍යාත්මීය ප්‍රතිකාරවලින් ඒ සතර ම ශක්තිමත් කරනවා. නාමය හෙවත් සිත සියල්ලට ම ප්‍රධානයි.

සිත ශක්තිමත් කිරීමෙන් විශ්මිත දේ කරන්න පුළුවන් නම්, ධ්‍යාන ලබා පරසිත් දකින්නා, අහසින් ගමන් කරන්න පුළුවන් නම් රෝගී සෛල මර්ධනය කරන්න බැරි නැහැ. සාමාන්‍ය ආධ්‍යාත්මිකයන් සිතේ ශක්තියෙන් හැඳි - ගෑරුප්පු නවන බව අපි දන්නවා. ඉතින් සියුම් සෛලයක් මර්ධනය කරන්න බැරි නැහැ. හැබැයි රෝගියාත්, රෝගියාගේ භාර කරුවනුන් ඒ ආධ්‍යාත්මීය වැඩ පිළිවෙළට අනුගත වෙන්න ඕනෑ.

මස් මාළු කරවල බිත්තර පිළී ආහාර වලින් වැළකී සීලයක පිහිටා තමන් ශක්තිමත් වෙන්න ඕනෑ. තමන් ගේ අකුසල කර්ම යටපත් කරන්න බලවත් කුසල කර්මවල යෙදෙන්න ඕනෑ. අවංකව ම දාන - සීල - භාවනාවල ශක්තියෙන් “මනුන්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති” කියා තියෙන්නේ ඒකයි.

කෙනෙකු රෝගී වන විට, දුර්වල වන විට අමනුෂ්‍ය බලපෑම් ඉබේ ම සම්බන්ධ වෙනවා. බෝධි පූජා ආදියෙන් ඒ ආරක්ෂාව තහවුරු වෙනවා. පිරිතෙන් සිදු කැරෙන්නෙත් ඒ වගේ ම දෙයක්. අතීතයේ ජීවත් වූ සිත දියුණු කළා වූ සෘෂිවරු අතින් සකස් වුණු යන්ත්‍ර තන්ත්‍ර මන්ත්‍රවලිනුත් එවැනි ශක්ති පිහිටුවන්න පුළුවන්.

ස්වාමීන් වහන්ස! යන්ත්‍ර මන්ත්‍රවල බලය ශක්තිය ඔබ වහන්සේ පිළිගන්නවා ද?

ඔව්! ඒ යන්ත්‍ර මන්ත්‍ර නිවැරැදි නම්, නිවැරැදිව බල ගන්වනවා නම් ඒවායේ ශක්තිය පිහිටනවා. ඒ වගේ අවස්ථා මගේ ඇස් දෙකින් දැක තියෙනවා යැයි මාතලේ පඤ්ඤානන්ද හිමියෝ අත්දුටු දෙයක් පැවසූහ.

“මේ සිද්ධිය වුණේ 1960 දශකයේ දී විතර. එතකොට මගේ වයස අවුරුදු 13 - 14 ක් විතර ඇති. මගේ තාත්තා මාතලේ රත්තොට ජීවත්වුණේ. නම එච්. එම්. උක්කුබණ්ඩා. කුඹල්ඔලුවේ වෙද මහත්තයා, කුඹල්ඔලුවේ කපු මහත්තයා යන නම්වලින් ගමේ අය තාත්තා හැඳින්වූවා. තාත්තාට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් තිබුණා. සර්ප වෙදකමත් කළා.

මේ ගමේ රජයේ රැකියාවක් කළ වැදගත් මහත්මයෙක් හිටියා. බිරියත් ඉතා ගුණ යහපත්. ඒ අය තාත්තාට ඉතා ම හිතවත්. ඒ වගේ ම ගරු කළා. ලෙඩක් දුකක් වුණා ම තාත්තව හොයා ගෙන එනවා. ඒ අයට මොරිස් මයිනර් කාර් එකකුත් තිබුණා. මේ යුවලට වයස අවුරුදු 16, 18 හා 20 තරුණ පිරිමි දරුවෝ තුන් දෙනෙකුත් හිටියා. මේ දරුවෝ හරිම භෞතිකවාදීයි. නවීන විද්‍යාව ඉගෙන ගන්නා අය.

දවසක් මේ ගෙදර නෝනාට අසනීපයක් වෙලා දෙහි ටිකක් කපා ශාන්ති කර්මයක් කර ගන්න අපේ තාත්තා එක්කර ගෙන ගියා. ඒ ගමනට තාත්තා මාවත් කැඳවා ගෙන ගියා. ඒ වන විට මගේ වයස අවුරුදු 14 ක් විතර ඇති. තාත්තා මට කීවා මල්බුලත් තටුව හදන්න. මම ඒ කටයුත්තේ නිරත වුණා.

මේ අතරේ අර ළමයි තුන් දෙනා උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා.

“ඕවා බොරු වැඩ. ඕවා මිත්‍යාවන්. අපේ අප්පච්චිත් මේවට රැවටිලා. මේ විද්‍යාවෙන් දියුණු ලෝකයේ ඕවා බහු බූත.” මේ වගේ කතා කියන්න පටන් ගත්තා. අපේ අප්පච්චිත් මේවා නිශ්ශබ්දව නෑහුණා වගේ එයාගේ වැඩ කර ගෙන ගියා. ඒ ගෙදර වැඩිහිටි දෙන්නත් “එපා පුතේ එහෙම කතා කරන්න” කියා කිව්වාට ඒ තුන් දෙනා ඒවා ගණන් ගත්තේ නෑ. එයින් මද්දුමයා තමයි තදින් ම විවේචනය කළේ.

තාත්තා කතා නොකර ඉන්න කොට අර මද්දුමයා “ඔයාට ඕවායේ සත්‍යය ඔප්පු කර පෙන්නන්න පුළුවන් ද?” කියා ඇහුවා. තාත්තා කීවා “ඔව් පුළුවන්” කියලා. තාත්තා කීවා ඉදුණු දෙහි ගෙඩියක් ගේන්න කියලා. ඒ අය ගෙනත් දුන්නා තාත්තා පොඩි පුටුවක් අරගෙන පුටු ඇන්දට සමාන්තරව තව කෝටු දෙකක් බැන්දා. කෙසෙල් කොළයක් කපා ඒ පුටුව උඩ එළා තෙත පස් ගුලියක් අර ගෙන අර දෙහි ගෙඩිය කපා එයින් ඇටයක් අර පස් ගුලිය තුළට දමා පුටුව උඩින් තිබ්බා. මල් ටිකකුත් තිබ්බා. ඊට පසුව සුදු රෙද්දකින් පුටුව ආවරණය කළා. තාත්තා ශාන්ති කර්මවලට ගෙන යන වටාපතක් තිබුණා. ඊට පස්සෙ ඒ වටා පතෙන් අර පුටුව මත තියෙන මැටි පිඩට, සුදුරෙදි ආවරණයට පිට සිට පවන් සළමින් මතුරන්න පටන් ගත්තා. විනාඩි හතළිස් පහක් විතර මතුරා ආවරණය ඉවත් කර පෙන්නුවා. මෙන්න පුටුව උඩ අඟල් දොළහක් විතර උස දෙහි පැළයක් හට ගෙන තියෙනවා. ඒ ගසේ දෙහි ගෙඩි හතකුත් හැදිලා. ඒ දෙහි ගෙඩි හත කඩා පැත්තකින් තිබ්බා. දැන් පිළිගන්නව ද? කියා තාත්තා ඇහුවා.

ඒ ළමයි උපහාසයෙන් හිනැහෙන්න පටන් ගත්තා. මද්දුමයා කීවා “ඕවා මැජික්, ඔය වගේ වැඩවලින් අපිව රවටන්න හම්බ වෙන්නේ නෑ. අර මහ අක්බාර්ට කීවා නම් ඔයිට වඩා ලස්සන මැජික් පෙන්නනවා” කියලා කීවා. ඒ කාලෙ ඉන්දියාවෙන් ආපු මහ අක්බාර් නමැති මැජික් කාරයෙක් රට පුරා අරුම පුදුම මැජික් පෙන්වමින් හිටියා.

තාත්තාට ඒ පාර නම් හොඳට ම කේන්ති ගියා. “පුතේ! පන්දමක් ඔතපං” කියා මට කීවා. මම ඒ පන්දම ඔතන අතරේ තාත්තගෙන් ඇහුවා “මේ මොකටද තාත්තේ?” කියා. “ඕක ඉක්මනින් ඔතපංකො මගේ දෙවෙනි’ මැජික් එකත් මේ ගොල්ලන්ට පෙන්වන්න” කියා කීවා. මම පන්දමක් ඔතා තාත්තගේ අතට දුන්නා. “පුතේ! අපේ බඩු ටික මල්ලට දාගෙන උඹ මිදුලට බැහැපං” කියල මට කීවා. ඒ ගෙදර මහත්තයාට කීවා “මහත්තයා අර දෙහි ගෙඩි හත නෝන ගෙ ඔලුවට තියා කපන්න. නෝනගෙ අසනීපය සනීප වේවි” කියා. එහෙම කියලා තාත්තා දුම්මල ටිකක් අතට අරගෙන මතුරමින් මිදුලට බැස්සා.

මෙන්න කොහේදෝ හිටපු දෙබර වළාවක් හෝ ගා ගෙන ඇවිත් ඒ ගෙදර ඉස්තෝප්පුවේ යට ලීයෙ වැහුවා. ලොකු කළ ගෙඩියක් තරම් දෙබරු රෑනක් එහි එල්ලී හිටියා. ගෙදර මහ ජෝඩුව පුදුමෙන් බලා ඉන්නවා. පුත්තු තුන් දෙනා උජාරුවෙන් බලා ඉන්නවා. තාත්තා මතුරමින් සිටි දුම්මල අහුර දැල්වෙමින් තිබුණු පන්දමට ගැහුවා. හොස් ගාලා ගින්න ඇවිලී දුම් රොටුව දෙබරුන් ළඟට ගියා. මෙන්න දෙබරු ඇවිස්සිලා අර තරුණයො තුන් දෙනාට අනින්න පටන් ගත්තා. ඒ තුන් දෙනා දෙබරුන් ගෙන් බේරෙන්න දඟලන්නත් දුවන්නත් වුණා. “ඉන්නවා, අපි තමුසෙව පොලීසියට අල්ලා දෙනවා” කියා මද්දුමයා කෑ ගැහුවා. තාත්තයි මමයි පයින් ම ගෙදර ආවා.

ඊට පහුවදා හැන්දෑවෙ තාත්තා කීවා “ඕකුං අද මාව හොයාගෙන ඒවි” යි කියලා.

ඒ වෙන කොට අර තුන් දෙනා දෙබර විෂට බෙහෙත් ගන්න රෝහලට ගිහින් තිබුණා. ඒ වුණාට මේක දෙබර විසෙන් සිදු වූ දෙයක් ලෙස වෛද්‍යවරු පිළිගෙන තිබුණේ නෑ. “දෙබරු ඇන්නා නම් ඒ දෙබරුන් ඇනපු තැන්වල දෙබරුන්ගේ ‘විත’ තියෙන්න ඕනැ. මේ අයගේ ශරීරවල දෙබර විත් නෑ” යි වෛද්‍යවරු කියා තිබුණා.

පොලිසියට පැමිණිලි කරන්න ගියා ම කියා තිබුණා දෙබරුන් විදපු බවට වෛද්‍ය වාර්තාවක් නැතුව පැමිණිල්ල බාර ගන්න බෑ කියා. කොහොම වුණත් තාත්තා කීවා වගේ ම අර තුන් දෙනා ගේ ඇඟේ විෂ බස්සවා ගන්න බැරුව පහුව දා හවස අපේ ගෙදරට ආවා. තුන් දෙනාව ම කාර් එකේ දාගෙන අම්මයි තාත්තයි ආවා. “අනේ! කපු මහත්තයෝ සමාවෙලා මේ තුන් දෙනා සනීප කැර දෙන්නැ”යි කීවා.

ඒ තුන් දෙනා බිම බලා ගෙන හිටියා. දෙබරු ඇන්න විදිහට ම මූණු අත පය ඉදිමිලා පිට්ටු ගෙඩි වගේ තිබුණා. ඇඟේ තිබුණ විසට ඇඹරි ඇඹරි හිටියා. ලැජ්ජාවයි අහංකාර කමයි දෙක ම තුන් දෙනා ළඟ තිබුණා. තාත්තා ගේ පිළිකන්නට ගිහින් කනේරු කෝටුවක් කපා ගෙන ඒකට මතුර මතුරා ආවා. ඇවිත් බාලයා අතට දුන්නා “උඹ මේ කෝටුවෙන් හොඳට රිදෙන්න පාරවල් විසි පහක් මූට ගහපං” කියා මද්දුමයා පෙන්නුවා. බාලයාත් ඒ විදිහට ම කළා. ඊළඟට කෝටුව මද්දුමයාට දුන්නා වැඩිමලාට ගහන්න. මද්දුමයා ගැහුවාට පසුව කෝටුව වැඩිමලාට දුන්නා “උඹ දැන් බාලයාට ගහපං” කියලා. අම්මයි තාත්තයි දෙන්න අහක බලා ගෙන හිටියා. ඊට පස්සේ “වෙච්ච දේට අමනාප වෙන්න එපා කපු මහත්තයෝ. අපි ගිහින් එන්නම්” කියා මව්පිය දෙපළ පිටත් වුණා. අර තුන් දෙනා ගේ දෙබර විස බැස්සත් කෝටු පාර වැදුණු තැන් රිදෙන නිසා ලැජ්ජාවෙන් බිම බලා ගෙන ගිහින් කතා නොකර ම කාර් එකට රිංගා ගත්තා. මේ කතාව රත්තොට කුඹල්ඔලුව ප්‍රදේශයේ අය තවමත් මතක් කරනවා. අපේ බාප්පාත් භූත විද්‍යා කටයුතු කරනවා. එච්. ඇම්. ජයසේන නම. ඒත් තාත්තා අන්ත්‍රා වුණාට පස්සෙ බාප්පත් බරපතළ වැඩවලට යන්නේ නෑ. දැනුත් බුදු ගුණවලින් සෙත් ශාන්ති කරනවා” යි පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

ඒ නිසා ඇදුරා ශාස්ත්‍රානුකූලව නියමිත පරිදි කටයුතු කරනවා නම් ආතුරයාත් ඒ ගෙදර නිවැසියෝත් පිළිවෙත්වලට අනුව පවතිනවා නම් ගුණ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශාස්ත්‍ර මේ තරම් කල් පවතින්නේ නෑ.

ඔය හැම දේකට ම වඩා බෞද්ධ පිළිවෙත්වලට අනුව කටයුතු කරනවා නම් මෙලොව දියුණුව, රෝග සුවය පමණක් නොවෙයි පරලොවත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් යැයි ද උන් වහන්සේ පැවසූහ.

පඤ්ඤානන්ද හිමියෝ බෝධි පූජාවෙන් හා භාවනා ශක්තියෙන් රෝගීන් සුව කරති. මාසයේ සෑම බදාදා - සෙනසුරාදා සහ ඉරිදා දිනවල මේ විශේෂ බෝධි පූජාව පැවැත්වේ. මේ බෝධි පූජාවට බොහෝ දුර බැහැර සිට පවා වදාකඩ නාගනේ පන්සලට රෝගීහු පැමිණෙති. මේ සියලු පිළිවෙත් සිදු කරනුයේ නොමිලයේය. කිසිදු අය කිරීමක් සිදු නොකරති.

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/10/03/_art.asp?fn=aw1010031

No comments:

Post a Comment

Free HTML Blog 4u