Wednesday, November 24, 2010

දෙලොවක් අතර වෙසෙන නාමලී

මාතර රාහුල විද්‍යාලය අසල නිවෙසක පදිංචිව සිටි සුමිත් රාහුල විද්‍යාලයෙන් ම ඉගෙනුම ලැබුවේය. ඔහුගේ පියා දයානන්ද වතු ක්‍ෂේත්‍රයේ ඉහළ රැකියාවක් කළේය. මව සිහිපත් කළ විට හඬා වැළපෙනු මිසක නම සඳහන් නොකරයි. දයානන්ද මිය ගියේ පවුලේ ම හිතවතෙක් වූ හෙක්ටර් ගේ වාහනයේ ගැටීමෙනි. දයානන්ද ගේ මරණයත් සමඟ පැනනැඟුණු ප්‍රශ්න ඉදිරියේ පීඩාවට පත් මව දුම්රියට පැන සියදිවි නසාගත්තාය. සුමිත් ද මරණයට පත් විය. සුමිත් යළි ඉපිද සිටී. ඒ නාමලී නමිනි.

මිනිසා ජීවත් වන්නේ දවසේ පැය විසිහතරකි. එයින් අඩක් නින්දට ද නිකරුණේ ද කල් ගෙවයි. ඉතුරු පැය දොළහෙනුත් තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයට හෝ වැඩදායක අන්දමින් කටයුතු කරන්නේ කීයෙන් කී දෙනාද? ජීවත්වන කාලයෙන් තුනෙන් දෙකක් ම නිකරුණේ ය. ළමා ළදරු වියත් මහලු වියත් එසේ ම ය. ඉතින් මෙන්න මේ ඉතා ස්වල්ප වූ කාලය තුළ මිනිසා තමන් ගේ යහපත පිණිස ආධ්‍යාත්මීය දියුණුව පිළිබඳ සිතන්නට පවා නොවෙහෙසී ඇතුළතත් ගැටගැසුණු, පිටතත් ගැටගැසුණු මහා පටලැවිල්ලක් තුළ ගැට ලිහාගත නොහැකිව ජීවත් වෙනවා මදිවාට තව තවත් ගැට පටලවාගෙන මානසික අවුල් මැද මරණයට පත්වෙයි.

මරණයෙන් සියල්ල කෙළවර වේ යැයි කෙනකු සිතා සිටියහොත් එය මහා මුළාවකි. මිථ්‍යාවකි. සිතින් දැඩිව අල්ලාගෙන ඒ සියල්ලත් සමඟ යළි තවත් අම්බලමක උපදී. මේ එවැනි කතාවකි.

නාමලී රජරට උපත ලැබූවද පසුගිය ආත්ම භවයේ සුමිත් නමින් මාතර ඉපිද මුහුණදුන් කරුණු අපේ ගවේෂණයකදී අනාවරණය කළාය. ඒ පිළිබඳ විස්තර පසුගිය ලිපියෙන් අනාවරණය කළෙමු. මේ මාතර ජීවත් වූ තොරතුරු ය. නාමලී ගේ සිරුරට ආවිශ්ට වූ භූතාත්මය ප්‍රකාශ කළ තොරතුරුය.

සුමිත් ගේ පවුලේ අය ඇදහූයේ ජේසු සමිඳාණන් ය. ඔවුන් ගියේ මුහුදුකරයේ පිහිටි පල්ලියකටය.

ඒ පල්ලිය ඉදිරිපිට ගේට්ටුවේ වම් පස කන්‍යාමරිය තුමියගේ පිළිරුවක් පිහිටුවා තිබුණි. පල්ලියේ ඉදිරිපස විශාල අකුරින් ‘සයුරේ දිලෙන තරුව නමෝ මරියනි” යැයි සඳහන් පුවරුවක් සවි කොට ඇත. මේ පල්ලිය ඉදිරිපසට ගොස් ඒ දෙස බලා සිටින කෙනෙකුගේ දකුණු පසින් මහල් ගොඩනැඟිල්ලක් ඇත. එය ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයකි.

සුමිත් ගේ පියා වැවිලි ක්‍ෂේත්‍රයේ වැදගත් රැකියාවක් කළ බව කලින් ද සඳහන් කළෙමු. ඔහු දයානන්ද නමින් හඳුන්වයි. දයානන්දගේ මිත්‍රයකු වූ හෙක්ටර් පවුලේ හිතවතෙකි. මේ භූ®තාත්මය පවසන පරිදි හෙක්ටර් පදවනු ලැබූ සුදුපැහැති මෝටර් රථයේ ගැටී දයානන්ද මිය ගියේය.

හෙක්ටර් විසින් උවමනාවෙන් ම මෝටර් රියේ හප්පා තම පියා මරා දමනු ලැබී යැයි සුමිත් තුළ අදහසක් විය. මේ අතර පැන නැඟුණු තත්ත්වය ඉදිරියේ කම්පාවට හා පීඩනයට පත් සුමිත් ගේ මෑණියෝ ද දුම්රියට පැන සිය පණ හානි කැර ගත්තාය. පියා අහිමි වූ සුමිත්ට මව ද අහිමිවීම පිළිබඳ වේදනාවක් හා කෝපයක් හට ගත්තේ ය. හෙක්ටර් සමඟ වෛරයක් ද හට ගත්තේය.

මේ සියලු කලබැගෑනි අතර හෙක්ටර් ප්‍රදේශය අතහැර ගොස් පදිංචිය වෙනස් කළේය. එහෙත් රිය අනතුර පිළිබඳ නඩු දිනයට නොවරදවා මාතර උසාවියට පැමිණියේය. වෛරයෙන් හා වේදනාවෙන් පීඩා විඳිමින් සිටි, සුමිත් දිනක් නඩු දිනයට උසාවි පැමිණ සිටි හෙක්ටර්ට පිහියකින් ඇන මරා දැම්මේය.

ජීවිතය අවුල් වී ගිය සුමිත් ද කෙසේ හෝ මරණයට පත් වී ඇත. ඔහු මියගියේ කෙසේදැයි භූතාත්මය සඳහන් නොකරයි. එසේ ඇසූ විට හඬා වැළපෙනවා මිස පිළිතුරු දෙන්නේ නැත. අම්මා ගැන අසන විට ද හඬා වැළපී පිළිතුරු දීම මඟහරී.

කෙසේ නමුත් මෙසේ මරණයට පත් අයගේ භූතාත්ම අපට හරිහැටි විෂය නොවන පරාසයක් තුළ සිට විවිධ ක්‍රියාකාරකම් කරමින් සිටී. දයානන්ද හෙක්ටර් පිළිබඳ අමනාපයකින් සිටි බව පෙනෙයි.

සුමිත් ද තම පියා ගේ මරණයට හෙක්ටර් වගකිවයුතු යැයි සිතා අමනාපයෙන් සිට මළේය. හෙක්ටර් මරා දැමීම පිළිබඳ සුමිත් කෙරෙහි දයානන්ද මහත් ප්‍රසාදයකින් සිටී. හෙක්ටර් මාතර අතහැර ගොස් පදිංචිව සිටි ප්‍රදේශයේම සුමිත් නාමලී නමින් උපත ලැබීම ද විශේෂ සිද්ධියකි. හෙක්ටර්ගෙන් තවදුරටත් පළිගැනීමේ චේතනාවෙන් එසේ උපත ලැබුවා දැයි සිතිය හැකිය.

එසේ සිතීමට ඉඩ ඇත්තේ හෙක්ටර් ගේ භූතාත්මය ද ඒ ප්‍රදේශයේ ම සැරිසැරීමය. සුමිත් ගේ මෑණියන්ගේ භූතාත්මය ලේනුන් වාහනය කැරගෙන අවශ්‍ය ස්ථානවලදී පෙනී සිටින බවද සිතාගත හැකිය.

දයානන්දගේ භූතාත්මය නාමලී වෙත පැමිණ නාමලීගේ මනසට විධානයන් දෙන බවද නාමලී පවසයි. සමහර අවස්ථාවල මේ තත්ත්වය තමන්ට හිරිහැරයක් යැයි සිතුණු විට “පලයං යන්න මට කරදර නොකර” යැයි මනසින් ම නාමලී තර්ජනය කරයි. එවිට දයානන්ද ගේ භූතාත්මය නිහඬ වන බව ද කෙසේ නමුත් එයා තමන් හා අමනාප නොවන බව ද ඇය පවසයි.

නාමලී සිය පෙර භවයේ සහෝදරිය වන නුවන්තිකා දැක ගැන්මට මහත් ආසාවකින් පසුවෙයි. නුවන්තිකා දැන් ජීවත්වන්නේ කොහේදැයි දැනගන්නට නැත.

ඇය තවමත් මාතර සමීපව ම ජීවත් වෙනවාද විවාහ වී වෙනත් ප්‍රදේශයක ජීවත්වෙනවාද විය හැකිය. මේ සිද්ධියට සම්බන්ධව දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා නුවන්තිකා පමණි.

මේ සිද්ධිය ගවේෂණය කිරීමේදී බුදුදහමට අනුව ඉතා සියුම් කාරණයක් පැහැදිලි වෙයි. සුමිත් මාතර දී මරණයට පත්වන විට යහපත් මානසිකත්වයකින් පසු නොවන්නට ඇතැයි අපට සිතෙයි. පියා මිය ගියේය. මව මිය ගියාය. මෙයින් අසරණ වූ සුමිත් තුළ පළිගැනීමේ චේතනාවක් හට ගෙන එයින් ම වරදකාරයා යැයි තමන්ට සිතුණු පුද්ගලයා පිහියෙන් ඇන මරා දැම්මේය. කෙනෙකු මරන්නට පටිඝ සිතුවිල්ලක් අවශ්‍යය.

ඔහු මරා දැමීමෙන් පසුව සුමිත්ට සිය මව් පිය දෙදෙනා නැවත පහළ වූයේ ද නැත. ඒ අතර මිනීමැරීමේ සිද්ධිය ද සිතේ හොල්මන් කරන්නට ඇත. මේ කාරණා නිසා සුමිත් ගේ මානසිකත්වය අයහපත්ව පවතින්නට ඇතැයි අපට සිතෙයි.

ඒ කෙසේ වෙතත් සුමිත් නැවත නාමලී නමින් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ඉපදී සිටී.

වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකළ ධර්මාශෝක අධිරාජයා ද මරණයෙන් පසු තිරිසන් ආත්මයක උපන්නේය.

ඊට හේතු වූයේ සියලු කුසල් සිත් යටපත් කැරගෙන අවසාන චුති චිත්තයේ දී අකුසලයක් අරමුණු වීමය. කෙනෙකු මරණයට පත්වන අවසාන මොහොතේ පංච ඉන්ද්‍රියයන් වූ ඇස - කණ- නාසය – දිව - ශරීරය අක්‍රියව ගොස් සය වැනි ඉන්ද්‍රියය වූ මනේන්ද්‍රියය හෙවත් සිත බලවත් වේ. ඒ අවස්ථාවේ දී සිතේ සාමාන්‍යයෙන් පවතින ශක්තියට වඩා සය ගුණයකින් චිත්ත ශක්තිය ප්‍රබල වේ.

ඒ සිතට ඈත අතීතයේ, පූර්ව භාවයන්හි පවා තමන් සිදු කළ කුසල අකුසල කර්ම චිත්‍රපටයකින් මෙන් මැවී පෙනෙයි.

ඒ නිසා මෙහිදී සුමිත්ට ද එවැනි කුසලකර්මයක් සිහිපත් වී ඇත. නැතහොත් ඔහුට නැවත මනුෂ්‍යාත්මභාවයක් ලැබෙන්නේ නැත.

සුමිත් මරණයෙන් පසු එදා මාතර සිටියාට වඩා යහපත් පරිසරයක ප්‍රසන්න ලෙස ඉපිද සිටී.

එහෙත් අද නාමලීගේ ශරීරයට බලපෑම් කරන දයානන්දගේ භූතාත්මය ක්‍රියාත්මක වන්නේ දරු ස්නේහය මිශ්‍ර වූ හැඟීමෙනි. තවමත් දයානන්දගේ භූතාත්මයේ මානසිකත්වය පවතින්නේ ක්‍රිස්තියානි සිතුම් පැතුම් සමඟය.

මේ ශරීරය පිළිකුල්ය. ගඳය. ක්ෂණයක් පාසා අනිත්‍ය ලෙස වෙනස් වේ. නාමලීගේ ශරීරය ද එසේම ය. එය ද කෙළ - සෙම් - සොටු - මළ - මූත්‍ර පිරි දෙයකි. මෙය අතහැර දිව්‍ය සම්පත් ඇති දිව්‍යාත්මයකට උසස්වීම සඳහා පින් අනුමෝදන් කරන්නට පොරොන්දු වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඒ ඔහුට ඒ ගැන අවබෝධයක් නැති නිසා ය.

ඔහු ජයශ්‍රී මහා බෝධිය ළඟ හෝ කතරගම හෝ උපදින්නට කැමැති නැත. ඒ නිසා අප ඔහුට යහපත් පල්ලියකට ගොස් ආගමික කටයුතුවලට අතහිත දී කටයුතු කරන්නැයි යෝජනා කළ විට පපුවේ කුරුසිය ඇඳ සිනා පහළ කරතත් තවමත් නාමලී අතහැර යන්නට කැමැති නැත. ඊට හේතුව බුදුදහමට අනුව උපාදානය හෙවත් දැඩිව අල්ලා ගැනීමයි. මේ සිතේ සියුම් ක්‍රියාකාරිත්වයයි.

නාමලී ඉපිද සිටින්නේ බෞද්ධ පවුලක ය. ඇය පවුලේ අය සමඟ පන්සල් යයි. පින්දහම් කරයි. එසේම ඇගේ යටි සිතේ පල්ලියට ගිය සැටිද සටහන්ව ඇත.

ඇය දෙවියන් වහන්සේට ද ජේසුතුමන්ට ද කන්නිමරියා තුමියට ද ගරු කරයි. සෑම දෙසැම්බර් මාසයක ම රට තොටේ ක්‍රිස්තු භක්තිකයෝ නත්තලට සැරසෙන විට නාමලීගේ පෙර භව පුරුද්ද ඉස්මතුවී එයි. ඇය ද හොඳ පළපුරුදුකාරියක් සේ නත්තල් ගස් හදයි. ඉටිපහන් දල්වයි. මේ සිතේ සියුම් ක්‍රියාකාරිත්වයයි.

මේ භූතාත්මයන් ගේ බලපෑම නිසා නාමලීට දෙලොවක් අතර ජීවත්වෙන්නට සිදුවී ඇත. පවුලේ මව්පිය සහෝදරියන් සමඟ ඇය පන්සල් යයි. බෝධි පූජාවලට සහභාගි වෙයි. ඒ අතර නාමලී වෙත පැමිණ සිටින පෙර භවයේ පියා වන දයානන්ද ගේ ක්‍රියාකාරකම් ද ඇය තුළින් ක්‍රියාත්මක වෙයි. නාමලීගේ නිවසේ මස් මාළු කරවල බිත්තර පුළුටු ව්‍යංජන බැදුම් නිතර සිදු කැරේ.

දයානන්ද ජීවත්ව සිටියදී ද මස් මාළු ආදියට වැඩි කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකි.

දයානන්ද දැන් පවතින්නේ මේ නිවසේ නිතර උයන පිහින තමන් කැමැති ආහාරපානයන්ගේ් සියුම් කොටස්වලිනි.

නාමලීගේ වර්තමාන මව ද මේවාට ගිජුකමක් දක්වයි.

මේවා නතර කරන තුරු දයානන්ද ඉවතට යවනු බොරු ය. මේ කරදරයෙන් මිදෙනතුරුවත් එවැනි ආහාර පානවලින් වැළකී නියමිත පිළිවෙත් නිවැරැදිව ඉටු කළොත් නාමලී සුවපත් කළ හැකි වනු ඇත.

මතුගම මහින්ද විජේතිලක

No comments:

Post a Comment

Free HTML Blog 4u