Wednesday, November 24, 2010

මං වැඩිකලක් ඉන්නේ නෑ කවුදෝ මගේ පස්සෙන් එනවා....

බොහෝ දෙනකු මරණයට පත්වන්නේ වේදනාවෙනි. ඒ අසනීපයක් නිසා ඇතිවන දුඞඛිත වේදනාවෙනි. නැතහොත් නෑදෑ හිතවතුන් කෙරෙහි පවතින ආදරය ඇල්ම නිසා අතහැර යෑමට සිදුවීමේ වේදනාවෙනි. තවත් කෙනෙකු මිය යන්නේ ගේ දොර ඉඩකඩම් ආදී වස්තු අතහැර යෑමේ තණ්හාවෙනි. තවත් අයෙකු ද්වේෂයෙනි.

මේ හැම කෙනෙකු ම මරණයෙන් පසු උපත ලබන්නේ දුගතියෙහිය. මළ ප්‍රේත, මළ යක්ෂ ආදී අමනුෂ්‍යයකු ලෙසිනි. සතුන් මරණයට පත්වන්නේ ද බොහෝ විට එසේ ය. විශේෂයෙන්ම මසට මරණු ලබන ගවයන්, ඌරන්, එළුවන්, කුකුළන් හා මත්ස්‍යයන් මරණයට පත්වන්නේ දැඩි වේදනාවෙනි.

අකැමැත්තෙනි. තරහවකිනි. ඔවුන්ගෙන් නිකුත් වන සාපය ඊට දායක වන්නන් කෙරෙහි අනිවාර්යයෙන් ම පාරා වළල්ලක් මෙන් දුක් විපාක ගෙන දෙන්නේ ය.

කුරුණෑගල, නාගනේ, කැකුණගල බෝධීන් වහන්සේ අබියස බෝධි පූජා පවත්වමින් රෝගීන් සුවපත් කරන මාතලේ පඤ්ඤානන්ද හිමියෝ ආශිර්වාද පතා එහි පැමිණෙන අයට මස්, මාළු, කරවල,බිත්තර, පිළී ආහාරයෙන් වැළකී පැමිණෙන ලෙස අනිවාර්ය කරති.

පිළී ආහාර ගනිමින් මේ ස්ථානයට පැමිණ ආධ්‍යාත්මීය ප්‍රතිකාර ලබන්නට උත්සාහ කරන අයගේ දුක් කරදර දෙගුණ විය හැකි බැවින් පිළී ආහාරවලින් වැළකිය නොහැක්කේ නම් එහි නොපැමිණෙන ලෙස ද දන්වා සිටිති. අවවාද කරති.

නාගනේ පන්සලට පැමිණ පඤ්ඤානන්ද හිමියන් ගෙන් ආශිර්වාද ගැනීමට පැමිණි අවිස්සාවේල්ල, සමරුගම කේ.ජී.පාලිත වීරමන් මහතා ඔහු අත්දුටු සත්‍ය කතාවක් අප ඉදිරියේ අනාවරණය කළේය.

මේ කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක සිදුවූ සුවිශේෂී සිද්ධියකි.

සරත් හා අමරසේන ගජ මිතුරෝ ය. මේ දෙදෙනාම වනසතුන් දඩයම් කිරීම ආදායම් මාර්ගය කැර ගත්තෝ වූහ. සරත්ට ඔහුගේ සීයා කෙනෙකු විසින් මන්ත්‍රයක් දී තිබුණි. රාත්‍රියට ඔහු පාවිච්චි කරන තුවක්කුවට ඒ මන්ත්‍රයෙන් දෙහි ගෙඩි තුනක් කපා දඩයමේ ගිය විට කිසි දවසක දඩයම් වැරදුණේ නැත. එය රීරි යක්ෂයාගේ පාර්ශ්වයේ කළුවැදියකාගේ දිෂ්ටිය ලබා ගැනීමේ මන්ත්‍රයක් බව පාලිත කියයි.

සරත් ගේ සහයට දිනපතා ම අමරසේන පැමිණෙයි. සෑම රාත්‍රියක ම කිලෝ 50-60ක් පමණ බර වල් ඌරන් තුන් හතර දෙනෙකු දඩයම් කොට මස් කොට වෙළඳපොළට සැපයීම කරති.

තුවක්කුවටත් දෙහි ගෙඩි තුනටත් පිහිට වෙන්නට කාලයක් ගත වෙනවිට සරත් ඉඩකඩම් ගෙන නවීන පන්නයේ නිවසක් හැදුවේය. වෑන් රථයක් මිලදී ගත්තේ ය. ඊට පසුව තම ආදායම් මාර්ගයේ පහසුව සඳහා කැන්ටරයක් මිල දී ගත්තේ්ය. සරත්ගෙන් ලැබුණු මුදලටත්, කසිප්පු වීදුරුවටත් අනුව අමරසේනගේ පූර්ව අනුග්‍රහය මේ වැඩ කටයුතුවලට නොඅඩුව ලැබුණි. දැන් ඌරු දඩයමේ මේ දෙදෙනා යන්නේ කැන්ටරයෙනි. සිය දඩයම් එහි පටවාගෙන එති.

2008 වර්ෂයේ එක්තරා දිනයක රාත්‍රි දඩයමේ යද්දී සරත්,

”අමරෙ; මම කවදා හරි මෙන්න මේ ගහේ තමයි එල්ලිලා මැරෙන්නේ” යැයි අමරසේන අමතා කීවේ ය. අමරසේන එය විහිළුවක් සේ සිතුවේය. යළිත් දිනක් සරත් නයිලෝන් ලණුවක් ගෙනැවිත් ඒ ගස ළඟ දී

”අමරේ; මම මෙන්න මේ ලණුවෙන් තමයි මේ ගහේ එල්ලිලා මැරෙන්නේ” යි කීවේය. එදා අමරසේන ඒ ලණුව උදුරාගෙන තමන්ගේ නිවසට ගෙන ගියේය. ගෙන ගොස් ඔහුගේ නිවසේ දමා තැබුවේය.

තවත් සතියක් ගත විය. දුර බැහැර ඥාතියෙකුගේ නිවසක දානයකට සහභාගිවීමට පවුලේ අය සමඟ යෑමට අමරසේනට අවශ්‍ය විය. ඔහු සරත් ගේ් වෑන් රථය ඉල්ලුවේය.

”වෑන් එක අරගෙන පලයං. හැබැයි මට හෙට උදේ විශේෂ ගමනක් යන්න තියෙනවා. උදෙන් ම වරෙන්” යැයි සරත්, අමරසේනට කීවේය. අමරසේන වෑන් රථයෙන් සිය ගමන පිටත්ව ගියේය. අමරසේන උදෙන් ම ආපසු ගමට ආවේය. ඔහු සරත් ගේ නිවසට යන විට එය මළ ගෙයකි. පෙර කී පරිදිම සරත් දඩයමට ගොස් කලින් දිනයක පෙන්නූ ගහේම එල්ලී සියදිවි හානි කැරගෙන තිබුණේය. සරත් කලින් දිනයේ අමරසේනට නොකියා කියූ ‘විශේෂ ගමන’ ගියේ එසේය.

තවත් අවුරුද්දකුත් මාස තුනක් ගෙවී ගියේය. දිනක් රාත්‍රි සරත් පැමිණ නින්දේ සිටි අමරසේන කූ®ද්දා “දඩයමේ යමු”යි කැඳවා ගෙන ගියේය. දඩයම් කොට සරත්ට ලේ ගොටුවක් දීමට ද අමරසේනට සිදු විය. මෙසේ සරත්ගේ භූතාත්මයේ බලපෑම නිසා අමරසේනට දඩයමේ නොගොස් සිටිය නොහැකි විය. එහෙත් “මේ විදහට ගියොත් මටත් සරත් ගිය පාරේම යන්නට වේවිදැ”යි බියක් ඔහු තුළ හටගත්තේය. ඔහු ස්වකීය ආරක්ෂාව පතා දේවාල ගානේ යන්නට පටන් ගත්තේය. ඔහු මරණ බියෙන් පෙළෙන්නට විය.

”මමත් වැඩිකලක් ඉන්නේ නෑ. කව්දෝ මගේ පස්සෙන් එනවා”යි කියමින් නින්දට ගියේ ද පිහියක් කොට්ටය යට තබාගෙනය. ඔහු ශාන්තිකර්මයක් කරවා ගත්තේය. මස් මාළු කරවල බිත්තරවලින්, සුරාපානයෙන් වැළකී සිටිය යුතු බවට උපදෙස් ලැබුණි. එහෙත් වැඩිකලක් ඔහුට ඒ පිළිවෙත් රකින්නට බැරි විය. මස් මාළු කන්නටත්, සුරා පානය කරන්නටත් ඔහුගේ සිත පොළඹවන්නට විය. ඔහු සිතට වහල් විය. මත්පැන් පානය කළේය. පිළිවෙත්වලට පටහැනි විය. දෙකකුල් ඉදිමී ආවේය. කිසිම ප්‍රතිකාරයකින් ඒ ඉදිමුම බැස ගියේ නැත. මේ ලිපිය ලියන අවස්ථාව වන විටත් ඔහු කළුබෝවිල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිතේ මෛත්‍රී කරුණා ගුණයක් නැත්තෝ බහුල වශයෙන් මසට මාළුවට ප්‍රිය කරති. සිත පමණක් නොව ඔවුන්ගේ ශරීර ද ඌෂ්ණාධිකය. දහදිය දුර්ගන්ධවේ. වේදනා කැක්කුම් බහුල වේ. මරණාසන්න අවස්ථාවේ දී ද භයානක දර්ශන දකිති.

එවැන්නෝ ප්‍රේතාත්මවල උපදිති. මිනිස් ලොව ඉපදුණ ද විකෘති කර්මභාව ගනිති. මෙවැනි සිද්ධීන් අප විසින් පුවත්පත්වලට ලියන විට සමහරු ඇත්තට ම මෙවැනි දේ සිදුවේ දැයි සැක පහළ කරති. සමහරු මේවා මනෝ විකාර යැයි උපහාසයෙන් ප්‍රතික්ෂේප කරති. එහෙත් අද විද්‍යාඥයෝ හා බටහිර වෛද්‍යවරු පවා මේවා ගැන අප සමඟ සාකච්ඡා කරති. තමන්ට බටහිර ක්‍රමවලින් විසඳා ගත නොහැකි වූ දුක් කරදරවලින් මිදීමට ආධ්‍යාත්මීය උපදෙස් පතති. භාවනා කරති. කර්මය හා කර්ම විපාකය පිළිගනිති.

මේ කතාවත් ඔබ උඩු යටිකුරු කරනු ඇත. එය නාගනේ, සිරි සීවලී විහාරාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියන් ගේ වචනයෙන් ම මෙසේය.

”සීවලී මහ රහතන් වහන්සේ අතීත ආත්ම භවයකදී රාජ කුමාරයෙක්ව ඉපිද රජකම් කරනුයේ යුද්ධයකට මුහුණ දුන්නා. ස්වකීය මව් බිසවගේ උපදෙස් අනුව යුද්ධ කළා. ඒ මව් බිසවත් යුද්ධ සේනාව සමඟ සටන් බිමට ගියා. සතුරු බලකොටුව කඩාගෙන ඇතුළට යන්න විදිහක් ලැබුණේ ම නැහැ. අම්මා පුත් කුමරුට උපදෙස් දුන්නා සතුරන්ගේ බලකොටුව ඇතුළට ආහාර පාන කිසි ම දෙයක් ගෙන යන්නට ඉඩ නොදී පිටතින් සිරකර ගෙන ඉන්න. අවුරුදු හතක් එසේ බල කඳවුරක සේනාව සිරකැර ගෙන සිටීමේ පාප කර්මයේ විපාක වශයෙන් මේ භවයේ අවුරුදු හතයි මාස හතයි දින හතක් මව් ගැබේ සිර වී සිටියා. මවත් පුතාත් දෙදෙනා ම ඒ විපාකය වින්දා.

මේ 1985 වර්ෂයේ පමණ මා අනුරාධපුර පදවියේ සිටිය දී අත්දුටු දෙයක්. පදවියේ පල්ලියේ සිටි බෙනඩික් පියතුමා මගේ හොඳ හිතවතෙක්. මේ පියතුමාට ජීප් රථයක් තිබුණා. කම්මැලි හිතුණා ම ඒ වාහනයෙන් අපි ටිකක් ඇවිදින්න යනවා.

දවසක් අනුරාධපුර දෙවැනි පියවරේ පදිංචිව සිටි හිතවතෙකුගේ නිවස්නට අපි ගියා. ඒ බෙනඩික් පියතුමාගෙ හිතවත් ගෙදරක්. අප එහි යනවිට ඒ ගෙදර ස්වාමි දුවත් වයස අවුරුදු 7 –8ක පමණ දියණියකුත් පමණයි. ඒ දියණිය තමන් ගේ දෙකකුල් මත කොට්ටයක් තබා එහි කුඩා දැරියක් නළවමින් සිටියා. දැරියගේ මව සිටියේ සාලයේ. දැරිය සිටියේ ඉස්තෝප්පුවේ. අපි දෙන්නා වාඩිවී සිටියෙත් ඉස්තෝප්පුවේ.

මම අර දැරිය නළවමින් සිටි සිඟිති දැරිය දැක්කා. මම දැරියගෙන් ඇහුවා බබා ඔය කාවද නළවන්නේ කියා.

”මේ අපේ අත්තම්මා”යි ඇය උත්තර දුන්නා.

ඒ සමඟ ම ෆාදර් බෙනඩික් මට කිව්වා “කෑ ගහන්න එපා” කියා.

එවිට ඒ කතාව ඇහිලා ද කොහේද දැරියගේ මව අපට ගිලන්පස හදන්න ගේ් ඇතුළට ගියා. හරියට අපට කතා කැරගන්න ඉඩදීලා වගෙයි ගියේ.

මම තවත් හොඳට බැලුවා මේ නැළවෙන දැරිය දිහා. ඇගේ හිස කෙස් තැනින් තැන සුදුවෙලා. සියයට පනහක් විතර කෙස් පැහිලා. ඇඟ රැළි වැටිලා. ඊට පස්සෙ ෆාදර් බෙනඩික් කතාව මා සමඟ කීවා.

මේ ගෙදර ගෘහණියගෙ (නළවන දැරියගෙ අම්මගෙ) අම්මා මියගිහින්. පුංචි අම්මා තමයි මේ නැළවෙන්නෙ. ඒ වන විට වයස අවුරුදු හැට හතක්. සම්පූර්ණ බර රාත්තල් දහයකට වඩා නැති තරම්. අවුරුදු 7 – 8 තරම් මිණිපිරිය තමයි අවුරුදු හැටහතේ අත්තම්මව කකුල් දෙක උඩ තියාගෙන නළවන්නේ. කතාකරන්න බැහැ. හොඳට ඇස් ඇරලා බලනවා. ආබාධිතයි. මන්ද බුද්ධිකයි. ඝන ආහාර දෙන්නෙ නෑ. බත් දෙන්නෙත් බ්ලෙන්ඩර් කරලා. අසූචි මහ මිනිහෙකුගෙ වගේලු. මේ වන විට (2010) නම් ඒ සිඟිති අත්තම්මා මියගිහින් ඇති. ඒත් මේ සිද්ධිය දන්නා අය තවමත් අනුරාධපුරේ දෙවැනි පියවරේ ඇති’ එදා ඒ අත්තම්මාව නළවපු දැරියට දැන් වයස අවුරුදු 32-33ක් විතර ඇති. මේවා තමයි පූරුවෙ කරුම කියන්නේ”යි පැවසූ පඤ්ඤානන්ද හිමියෝ තවත් කතාවකට මුල පිරූහ.

අතීත පාපකර්ම විපාක පල දෙන හැටි කියන මේ වගේ දේවල් සමහරු විශ්වාස කරන්නෙ නෑ. ඒකට අපට කරන්න දෙයක් නෑ. ප්‍රේතයින් අපේ සාමාන්‍ය පියවි ඇසට පෙනෙන්නේ නෑ. ඒත් මේ මනුස්සයන් අතරේම ඒ වගේ ම අයත් ඉතා ම කලාතුරකින් උපදිනවා. මේ සිද්ධියත් ඒ වගේ දෙයක්.

”දවසක් මම ගියා අනුරාධපුර ළමා නිවාසයේ අනාථ හා ආබාධිත ළමයින්ට දානයක් දෙන්න. මම ගියේ කපිතාන් ක්ලැරන්ස් දෙල්වල සමඟ ඔහුගේම වාහනයෙන්. දෙල්වල මහත්මයා හමුදාවෙ සිවිල් කටයුතු භාර නිලධාරි වශයෙන් සේවය කළ කාලයේ මේ දානය දුන්නේ. එතුමාත් ගුණයහපත් කෙනෙක්.”

”මේ ළමා නිවාසයේ සිටියා වයස අවුරුදු 17 – 18 ක විතර ගැහැනු ළමයෙක්. පුදුම දරුවෙක්. ඒ ළමයාත් ආබාධිතයි. කෑම කවන්න ඉඩ දෙන්නේ නෑ. එහෙම කවන්න ගියොත් ඈ පහර දෙනවා. ඒ නිසා පිඟානට බත් බෙදලා එයාගෙ අතට කන්න දෙනවා. පිඟාන අතට ගත් හැටියේම ඒ ළමයාගෙ දෑසින් කබ කඳුළු පිඟානට කඩාවැටෙනවා. නාසයෙන් සොටු ගලාගෙන එනවා. කටින් කෙළ සෙම පෙරෙනවා. පිඟානට බෙදපු බත්ටික වැහෙන තරමට කබ කඳුළු සෙම් සොටු වැටෙනවා. ඊට පස්සෙ ඒවාත් අනාගෙන ළමයා බත් කනවා. අතේ ඇඟිලිත් කොරවෙලා වගෙයි. බත් අහුර අතට අරගෙන කෙළින්ම අත කට ළඟට යන්නේ නෑ. පළමුවෙන් අනාගෙන අතට ගුලිකැර ගන්නා බත් අහුර නළලට ගෙනියනවා. ඊට පස්සේ ඇස් දෙකේ තවරා ගන්නවා. ඇස් දෙකේ නහයේ මුහුණේ තැවරිලා තමයි කට ළඟට බත් අහුර එන්නේ. ඒ වෙනකොට මළම මළ පෙරේතියකගෙ ස්වරූපයක් මුහුණ පුරා ම ඉඳුල් තැවරිලා.

කෑම කාලා ඉවර වුණා ම මුහුණ සෝදා පවිත්‍ර කරනවා. ඊට පසුව අර අප්‍රසන්න බව ඉවත් වී යනවා. කබ කඳුළු ගැලීමත් සෙම් සොටු කෙළ ගැලීමත් නතර වෙනවා. බලන්න පුදුම දේවල් කර්මයාගේ පල විපාකෙ” යැයි ඤාණානන්ද හාමුදුරුවෝ පැවසුවා.

නාගනේ බෝධි පූජාව බදාදා සිට ඉරිදා දක්වා දින පහේම සිදු කැරේ. මස් මාළු කරවල බිත්තර අහාරයෙන් සම්පූර්ණයෙන් වැළකී පැමිණිය යුතු බව මාතලේ ඤාණානන්ද හිමියෝ පවසති.
බෝධි පූජාව රාත්‍රි 6.00 සිට 8.00 දක්වා සීලය, සමාධිය, ප්‍රඥාව වඩවන ආකාරයෙන් පැවැත්වේ.

මතුගම මහින්ද විජේතිලක

No comments:

Post a Comment

Free HTML Blog 4u