Wednesday, November 24, 2010

අපි දහතුන් දෙනෙක් එල්ටීටීඊකාරයන්ට අහු වුණා.....



කෙනෙකු ගේ ජීවිතයට දුක් කරදර එළැඹීම සිදු වන්නේ බොහෝ විට පූර්ව අකුසල කර්ම විපාක ගෙවන කාලයටය. මෙවැනි කාල පරිච්ඡේදයක දී “සෘණාත්මක සිතුවිලි, ශෝකය හැඬීම්, වැළපීම්, ආර්ථික පාඩු, පසු තැවීම්, ලෙඩ රෝග නිබඳව ගලා එති. එවැනි කාලවල දී පුද්ගලයා ගේ ශරීරයෙන් නිකුත් වන කිරණ මාලාව ද ඉතා දුර්වල ය.

එවැනි නිෂේධාත්මක දුර්වල කිරණ ඇති අයගේ ශරීරයට අමනුෂ්‍ය බල ඇද ගැනීමේ ප්‍රවණතාව වැඩිය. ඒ වැනි අයගේ ශරීර අමනුෂ්‍යයන්ට මගීන්ට අම්බලමක් වැනි ය. සසර කරන ලද පාප කර්මයන්ගේ විපාක ගෙවමින් සිටින අවස්ථාවල පේ‍්‍රතයෝ හා යක්ෂයෝ මෙවැනි අයගේ ශරීර තුළට රිංගති.

ඒ ශරීරයෙන් ම යැපෙති. ඒ පුද්ගලයා තම ශරීරයට ගන්නා ආහාරවලින් යැපෙති. ඔහු ගේ ශරීරයේ ඇති ලේ සෙම් සොටු ඇට මිදුළු ආදියෙන් යැපෙති. තමන්ගේ ද පූර්ව පාප කර්ම විපාකයට මෙසේ අදෘෂ්‍ය මාන බලවේගවල බලපෑම් ක්‍රියාත්මක වේ. රෝගියෙකු බවට පත් වේ.

වෛද්‍යවරයකුට සෙනසුරු ග්‍රහයා ලැබූ විට කොයි තරම් දක්ෂ වුවද ඔහු වෙත වැඩිපුර එන්නේ මරණාසන්න ලෙඩුන් ය. ඒ සෙනසුරු අපල ලැබු වෛද්‍යවරයා අත ගැහුවත් ලෙඩාගේ අසනීප තත්ත්වය වැඩි වේ. රෝගීහු මිය යති.

රෝගීන් මැරෙන විට වෛද්‍යවරයා ගේ කීර්තිය හීන වේ. රෝගීන් ඔහු වෙත නොපැමිණේ. ආර්ථිකය කඩා වැටේ. ව්‍යාපාරිකයාට සෙනසුරු හා රාහු ලැබූ විට වෙළෙඳ සැල අපිරිසිදු වෙයි. ඔහුගේ මුහුණ, පෙනුම අප්‍රසන්න වෙයි. කලඑළිය නැති වෙයි. අපිරිසිදුකම නිසා යක්ෂ පේ‍්‍රත බැලිම වැටෙයි.

පිනට දහමට යොමු වීමට සිත් නොදෙයි. යහපත් ගමන් බිමන් වළක්වයි. පන්සලකට, බෝධි පූජාවකට යෑමට සූදානම් වුවහොත් එය වළක්වයි. අතීතයේ තමන් කළ වැරැදිවලට විපාක ගෙවන යුගය සෙනසුරු දශාවයි. සෙනසුරු ග්‍රහයා ලැබු විට දුක ම ලැබෙයි. රාහු ග්‍රහයා ලැබූ විට පින් දහම්වලට විරුද්ධ වෙයි.

බුද ග්‍රහයා බුද්ධිය ද ගුරු ග්‍රහයා පෙර පින ද ප්‍රකාශ කරයි. කේන්ද්‍රයක නව වැනි රාශිය ධර්මස්ථානය ලෙස ද දස වැනි රාශිය කර්මස්ථානය ලෙස ද හඳුන්වා ඇත. මෙහිදී ගුරු බලවත් වීමෙන් කෝටියක් දෝස භංග වන බව ඡ්‍යොතිෂයෙහි උගන්වයි.

අපල කාලයක ගුරු හොඳ ස්ථානයක සිටියොත් ජන්මියා ආගම දහමට යොමු කරයි. මෙයින් පැහැදිලි වන්නේ සසර සිදු කළ කුසල කර්මවල විපාක දීම් වශයෙන් අකුසල විපාක යටපත් කොට යහපත උදා කැර ගත හැකි බව ය. ඊට බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතුය.

දන් දීමෙන් පරාර්ථය මෙන් ම අත්හැරීමේ කුසලතාවය වර්ධනය වීමත්, සිල් රැකීමෙන් තමන්ටත් අනුන්ටත් අයහපතක් සිදු නොවන ජීවිතයකට යොමු වී කය වචන සංවරය කැර ගැනීමේ කුසලතාවය වර්ධනය වීමක්, භාවනාවෙන් චිත්ත ශක්තිය ගොඩනගා ආධ්‍යාත්මය ශක්තිමත් කැර ගැනීමක් සිදු වේ.

බෝධි පූජාවක දී පුද්ගලයා යහපත උදා කැර ගත්තේ ය. ආගමික කටයුතුවල යෙදී ප්‍රසන්න සිහින් ආධ්‍යාත්මීය ශක්තිය ද සොබාවික යහපත් කිරණ වඩාත් නිකුත් කරන බෝධි වෘක්ෂයේ බාහිර බලපෑමෙන් ද ඊට අධිගෘහිත දෙවියන් ගේ ආශීර්වාදයෙන් ද අපල කාලයේ අසුබවාදී සෘනාත්මක ශක්තීන් යටපත් කොට වාසනාව මතු කරන බව ද පැහැදිලි ය. එහි දී පුද්ගලයා ආහාර පානයෙන් පවා කාරුණික විය යුතු ය. මෛත්‍රී සහගත විය යුතු ය.

එසේ ම දින විසි එකක් බෝධි පූජාවක් පැවැත්වීමට පටන් ගන්නා පුද්ගලයා දැඩි ආත්ම විශ්වාසයකින් එය සිදුකළ යුතුය. දින කීපයක් බෝධි පූජා පවත්වද්දී මේ උත්සාහය සාර්ථක වේවි ද අසාර්ථක වේවි දැයි අඩමාන සැක සහිත අවිශ්වාසයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය. දින කීපයක් බෝධි පූජා පවත්වද්දී තවමත් සුබ ලකුණක් නැතැයි සසල විය යුතු නැත. දැඩි විශ්වාසය, අචල බව හා ඉවසීම අවශ්‍යය.

කුරුණෑගල, කිරල බොක්ක හන්දියෙන් හැරී වදාකඩ දෙසට යන විට හමුවන නාගනේ ගම මැද විශාල පර්වතයක් මත පිහිටි බෝධීන් වහන්සේ අබියස මාතලේ පඤ්ඤානන්ද හිමියන් පැය දෙකක් පුරා පුද්ගලයාගේ ශ්‍රද්ධාව වඩවමින්, කය වචන සංවර කරවමින්, බුද්ධිය අමතමින්, සිත ශක්තිමත් කරමින් සිදු කරන බෝධි පූජාව සඳහා “සිළුමිණ” මඟින් දැනුවත් වී දිවයිනේ නන් දෙසින් පැමිණෙන දුකට පත් වූවෝ සුවපත් වෙති.

“ධම්මෝසධ සමෝ නත්ථි ඒතං ජිවන භික්ඛවේ” මහණෙනි! ධර්මය තරම් ඖෂධයක් නොමැත. මෙය පානය කරන්නැයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසා ය. බෝධි පූජා ක්‍රමයෙන් බලාපොරොත්තු ඉටු කැර ගත් සිද්ධියකි මේ.

දඹුල්ල, පුවක් අත්තාවල ගමේ පදිංචි කාන්ති මෙනෙවිය ශ්‍රද්ධා බුද්ධියෙන් යුත් තරුණියකි. ඒ යුද්ධය පැවති කාලයයි. ඇගේ මල්ලී යුද හමුදාවට බැඳී සටන් ප්‍රදේශවල ක්‍රියාන්විතයේ යෙදී සිටියේය. ඔහු සතියකට දෙතුන් වතාවක් යුද බිමේ සිට දුරකතනයෙන් සිය සහෝදරිය ඇමතීම නොවරදවා ම සිරිතක් ලෙස සිදු විය. එහෙත් හිටි හැටියේ ම ඔහුගේ ඇමතීම් ඇන හිටියේය.

සහෝදරිය වහාම බෞද්ධ පිළිවෙත්වල පිහිට පැතුවාය. මාතලේ පඤ්ඤානන්ද හිමියන් පවත්වන බෝධි පූජා වළට සහභාගි වූවාය.

ඇය පදිංචිව සිටියේ තරමක් ඈත ගමක නිසා පන්සලට පැමිණියේ අත්ටැක්ටරයකිනි. (ලෑන්ඩ් මාස්ටර්) ඇය පඤ්ඤානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි බෝධි පූජාව කෙරෙහි සම්පූර්න විශ්වාසය තබා එක ම අධිෂ්ඨානයෙන් ඉතා පිරිසිදුව ශ්‍රද්ධාවෙන් බෝධි පූජාව ආරම්භ කළා ය. මල් පහන් සුවඳ දුම්, ප්‍රනීත ගිලන්පස සකස් කොට විශ්වාසයෙන් කටයුතු කළාය.

මේ කටයුතු කරන අතර වෙනත් තැන් සොයා ගියේ නැත. කාන්තිගේ අක්කා දස සිල් මාතාවක්ව සිට අපවත් වී දෙව්ලොව උපත ලබා සිටියාය. ඒ දේවතාවිය කාන්තිට මඟ පෙන්වීම් කළාය. කාන්තිට පඤ්ඤානන්ද හිමියන් වෙත පැමිණීමට මඟ පෙන් වූයේ ද මේ දේවතාවිය බව කියයි.

කාන්ති බෝධි පූජාවට ශ්‍රද්ධාවෙන් හා දැඩි වුවමනාවෙන් සහභාගි වූවාය. සමහරු දින 3 - 4 ක් පූජා පවත්වා “තවම විශේෂයක් දැන ගන්නට නැතැ”යි අවිශ්වාසය හා සැකය මිශ්‍රව කතා කළත් ඇය එසේ කීවේ නැත. එක ම අධිෂ්ඨානයෙන් උනන්දුවෙන් බෝධි පූජාව පැවැත්වූවාය. විසි එක් වැනි බෝධි පූජාව ද පවත්වා අවසන් කොට අත් ටැක්ටරයේ නැගී නිවෙස බලා යන්නට පටත් වූවාය. එසේ ගමන් කරන අතර මග දී ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි.

“අක්කේ!”

“ආ... නේ...! මගේ රත්තරන් මල්ලී! ඔයා කොහේද ඉන්නේ?”

“අක්කේ! අපි දහතුන් දෙනෙක් එල්ටීටීඊ කාරයන්ට අහු වුණා. මාසයක් උන්ගෙ හිර ගෙදරක දුක් වින්දා. එතන තවත් අපේ හමුදාවල අය ඉන්නවා. උන් එක දවසකට අපෙන් දෙන්නෙක් අරගෙන කකුල් දෙකෙන් එල්ලා ලේ ගන්නවා. අන්තිමේ මරලා දානවා. මා එක්ක හිටිය එකොළොස් දෙනෙක් ඒ විදිහට මැරුණා. අපි දෙන්නෙක් හොරෙන් පැනලා අපේ කෑම්ප් එකකට ආවා. මේ ආපු ගමන් ම තමයි අක්කට කතා කරන්නේ.”

“මල්ලී ඔයා බේරා දෙන්න කියා මම බෝධි පූජා තිබ්බා. මට ලොකු විශ්වාසයක් තිබුණා බෝධි පූජා බලෙන් ඔයා නිදහස් කැර ගන්න පුළුවන් කියා. අද අන්තිම බෝධි පූජාව. විසි එක් වැනි දවස බෝධි පූජාව තියල අපි ;ම් ගෙදර යන ගමන්. මගේ මල්ලිව මට බේරා ගන්න පුළුවන් කියලා මම මුලදී ම හිතුවා. මල්ලි තෙරුවන් සරණයට එහා තවත් බලයක් නෑ” යි කාන්ති සතුටු කඳුළු වගුරුවමින් පැවසුවා ය.

ඒ බෝධි පූජාවේ ආනිසංසයන්ය. මේ සෙනසුරු අපලය පිළිබඳ සිද්ධියකි. සෙනසුරු අපල කාලය යනු පෙර පව් පල දෙන කාලයක් බව කලින් ද සඳහන් කළෙමු.

මාතලේ ප්‍රදේශයේ, ලෙනදොර සී. ඩි. හන්දියේ හෝටල් හිමියෙක් විය. ඔහුට සෙනසුරු එරාෂ්ටක අපල කාලයක් උදාවිය. මුදලාලි අසනීප විය. දරුවා අසනීප විය. පවුලේ සමගියට බාධා, අමනාප, නුරුස්සන ගති පහළ විය. හෝටලයේ ප්‍රසන්න බව අතුරුදන් විය. දිනක් හෝටලය කුස්සියේ උයන ලද මස් ව්‍යංජනය දුම් දමමින් කෑම බෙදන ස්ථානයට ගෙනාවේය.

මේ අවස්ථාවේ සී. ඩී. හන්දියේ කව්රුත් හඳුනන “මාස්ටර්” නමැති ත්‍රිරෝද රියැදුරු මහතා හෝටලය තුළ සිටියේය. ඔහු අරුම පුදුම, හා සාමාන්‍යයෙන් සිදු විය නොහැකි දෙයක් දුටුවේය. මේ උණු උණුවේ දුම් දමන මස් භාජනය තුළට ඉහඳ මැස්සෙක් පියාඹා ඇවිත් මතු වී තිබුණු මස් කැබැල්ලක වසා ඉහඳ තැබුවේ ය.

හැන්දකින් මිස අතින් අල්ලන්ට පවා නොහැකි උණුසුමකින් යුත් දුම් දමන මස් භාජනයට ඉහඳ මැස්සා නිරුපද්‍රිතව වසා සිටින අයුරු දුටු “මාස්ටර්” එය මුදලාලිටත් එතැන සිටි අනිත් අයටත් පෙන්නුවේය. මේ පුදුමය පිළිබඳ එදින රාත්‍රි නිවසේ අය සාකච්ඡා කොට මේ වන විට එළඹ ඇති අපල උපද්‍රව ලෙඩ දුක් ගැන ද සලකා පිළිවෙත් සොයන්නට තීරණය විය.

යන්ත්‍ර මන්ත්‍ර ආරක්ෂක විධි කරන්නට පටන් ගත්තේය. එවැනි ශාන්ති කර්ම ගණනාවක් සිදු කොට එයින් සතුටු දායක සහනයක් නොවූ බැවින් හිතවතකු ගේ උපදේසක් මත මාතලේ පඤ්ඤානන්ද හිමියන් සොයා ගොස් බෞද්ධ පිළිවෙත්වල නිරත වූහ. බෝධි පූජා පැවැත්වූහ. මුදලාලිගේ හඳහනට අනුව සෙනසුරු අපල කාලයක් බැවින් ඊට අවශ්‍ය පිළිවෙළත් කළහ.

රෝගී දරුවා සුවපත් විය. හෝටලයේ පරිහානිය වළක්වා ගත නොහැකි වූයේ හෝටලයටත්, භූමියටත් බරපතළ අමනුෂ්‍යයෙකුගේ බලපෑම් තිබුණු නිසා ය. මේ හෝටලය ඔවුන් කුලියට ගෙන තිබුණු එකකි. අයිතිය වෙනත් කෙනෙකුගේ ය.

අනුන්ගේ ඉඩ කඩම් ගොඩනැගිලි ආරක්ෂා කොට භූත දෝෂ ඉවත් කිරීමට විය පැහැදැම් කොට වෙහෙසීමට අවශ්‍ය නැති නිසා ඒ පවුලේ අය හෝටලය අතහැර ගියහ. බෝධි පූජාවේ අනුසස් වශයෙන් රෝගීහු සුවපත් වූහ.

සෙනසුරුට කරන්නට පුළුවන් මොනවා දැයි දෙවියන් අතර සාකච්ඡාවක් ඇති විය. “හොඳයි මට පුළුවන් දේ මම කරලා පෙන්නන්නම්” යැයි කී සෙනසුරු රත්තරනින් නයෙක් මැව්වේය. සෙනසුරු අපල පාප කර්ම විපාක ලැබූ පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් සිටිය දී මේ රත්තරන් නිර්මාණය ඔහු එන මගට දැමීය. මේ අතර පාරේ ඒ දෙසට ගමන් කරමින් සිටි සෙනසුරු අපල කාරයාට අමුතු සිතුවිල්ලක් ඇති විය.

“දෑස් ඇති අප මෙසේ හොඳින් මහ මඟ ගමන් කරනවා. අන්ධයන් පාරේ යන්නේ කොහොමදැ”යි සිතා අත්හදා බැලීමක් වශයෙන් දෑස් වසා ගෙන ගමන් කරන්නට විය. හරියට ම රත්තරන් නාග නිර්මාණය තිබුණු තැනින් ඔහු දෑස් පියා ගෙන ගමන් කළේ ය.

ඔහුට රත්තරන් නාගයා හමු වූයේ නැත. අන්ධයින් පාරේ ගමන් කරන්නේ කොහොමදැයි ඔහු තේරුම් ගන්නට යෑම නිසා වටිනා සම්පතක් අහිමි විය. මම කාටවත් දුක දෙන්නේ නැහැ. ඔහුට පින නැති නිසා මෙසේ දුර්විපාකවලට එළැඹේ” යැයි සෙනසුරු කීහ.

පින්තූර හා සටහන මතුගම
http://www.silumina.lk/2010/10/31/_art.asp?fn=aw1010311

No comments:

Post a Comment

Free HTML Blog 4u